ළිඳෙන් දේහය හමුවූ  11 හැවිරිදි දරුවාගේ  මරණය ගැන සැකයි – ලොකු අම්මා සාක්‍ෂි දෙමින් කියයි

777

ගෙදරින් හිරිහැර බවට  දරුවා ග්‍රාම නිලධාරීටත් පැමිණිලි කර තිබිලා

නිවස ඉදිරිපිට ළිඳ තුළින් සොයාගත් වයස අවුරුදු 11ක දරුවාගේ මරණය පිළිබඳව දැඩි සැකයක් මතුවන බව දරුවාගේ ලොකු අම්මා හඬා වැළපෙමින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් හා අතිරේක මහෙස්ත්‍රාත් මිහිල් චිරන්තන යන මහත්වරුන් ඉදිරියේ සාක්‍ෂි ලබාදෙමින් පැවසුවාය.

ළිඳෙන් දේහය හමුවූ  11 හැවිරිදි දරුවාගේ  මරණය ගැන සැකයි - ලොකු අම්මා සාක්‍ෂි දෙමින් කියයි

23 දා රාත්‍රියේ පටන් නිවසේ නැතැයි නිවැසියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ දරුවකුගේ සිරුර නිවස ඉදිරියේ ඇති ළිඳකින් 24 වැනිදා සොයාගැනුණි. එම මරණය පිළිබඳ වසම භාර ග්‍රාම නිලධාරියා ද පෙර සිදුවීම් රැසක් පිළිබඳ සාක්‍ෂි ලබාදෙමින් තොරතුරු රැසක් කීවේය.

කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති 11 හැවිරිදි ශෂිකුමාර් යෙහාන් අකලංක නමැති පිරිමි දරුවකු එසේ මියගොස් තිබිණ.

මියගොස් ඇති දරුවා නිවසේ නොමැති බවට කළ පැමිණිල්ලක් මත කුලියාපිටිය පොලිසිය හා ගම්වාසීන් එක්ව කළ සොයාබැලීමේ දී නිවස ඉදිරිපිට කැලෑවෙන් වැසී තිබුණ ආවරණය කර නොතිබූ ළිඳෙහි ජලය අස් කරමින් සිටිය දී අදාළ දරුවාගේ සිරුර මතුවී තිබිණි.

නිවසේ සිට ඇත්තේ දරුවාගේ මවත් සීයාත් බව එහි රැස්වූවෝ පොලිසියට පැවසූහ.

එහිදී මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ ප්‍රදේශවාසීන් හා ඥාතීන් මියගොස් සිටි දරුවා හා නිවැසියන් අතර තිබූ අතීත පසුබිම් අලලා අදාළ මරණය සම්බන්ධව සැක සහිත බව පවසා තිබීම හේතුවෙන් දරුවාගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයක් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් සිද්ධිය වූ ස්ථානයේ ස්ථානීය පරීක්‍ෂාවට ගිය කුලියාපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක මහෙස්ත්‍රාත්වරුන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කිරීමෙන් අනතුරුව කළ සාක්‍ෂි කැඳවීමේ දී මියගිය දරුවාගේ ලොකු අම්මා යැයි කියන අය ඉදිරිපත්ව දරුවා ජීවත්ව සිටියදී නිවසේ වැඩිහිටියන් විසින් නිරන්තරයෙන් දරුවාට පහර දෙන බවත් ඔවුන් කළ වෙනස්කම් අනුව මරණය හා සම්බන්ධ සිදුවීම පිළිබඳ ඇත්තේ ප්‍රබල සැකයක් බවත් පැවසුවාය. ඒ අතර වසම භාර ග්‍රාම නිලධාරිවරයා ද ඉදිරිපත් වෙමින් සාක්‍ෂි ලබා දෙමින් පැවසුවේ දරුවා නිවැසියන් පහර දෙන බැව් කියමින් දින කිහිපයක් තම කාර්යාලයට පැමිණි බවය. තමන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඒ අවස්ථාවේ වැඩිහිටියන් පොලිසියට කැඳවා පළමු හා අවසාන වතාව බව දැනුම් දෙමින් තරයේ අවවාද කළ පසුබිමක මෙවන් සිදුවීමක් වී ඇතැයි ද හෙතෙම පැවසීය.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහය කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකරන ලෙසද එහි දී මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිරංජය අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සුදේශ් අමරසේන යන නිලධාරීහු පිරිසක් සිද්ධිය වූ ස්ථානයේ පරීක්‍ෂණ සිදුකළහ. වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment