ෆතීමා අයීෂා – (සේයා සදෙව්මි)

2364

කොටදෙනියාවේ සේයා සදෙව්මි පිළිබඳ ශෝකජනක කතාව ක්‍රමයෙන් මතකයෙන් බැහැර වෙමින් පවතී. මෙයට අවුරුදු 7 ට පෙර, සිව් හැවිරිදි වියේ සිටි සේයා නිදි ඇඳෙන් සොරාගෙන ගොස් දූෂණය කර මරා දමන ලදී. ජීවතුන් අතර සිටියේ නම් අද ඇය 13 හැවිරිදි නව යෞවනියකි. සේයා දූෂණය කිරීම සම්බන්ධයෙන් කොණ්ඩයා නමැති තරුණයකු සැක පිට අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසියේදී එල්ලා නැව් ගුටි දෙන ලදුව තමා විසින් දැරිය දූෂණය කර මරණ ලද බව කොණ්ඩයා පිළිගත්තේය. එහෙත් ඇත්ත කතාව මෙසේය. සේයා දූෂණය කර මරණ ලද්දේ කොණ්ඩයා නොව ඔහුගේ අයියා සමන් ජයලත් විසිනි. මෙය කිසිවකුටත් නොකියන ලෙස දූෂක අයියා විසින් කොණ්ඩ මල්ලී පොරොන්දු කරගන්නා ලදී. කොණ්ඩයා කොතරම් මෝඩ ගොනකුද යත් පොලිසියෙන් ගුටිකෑමට ඇති බිය නිසා දැරිය දූෂණය කළේ තමන්ම බව කීය. නූතන ශ්‍රී ලංකා පොලිසිය යනු කිසිම දෙයක් හරියාකාරව කරගන්නට බැරි ගුබ්බෑයමකි. දැන් දැන් හරියාකාරව නඩුවක් ගොනු කරගැනීමට පවා ඔවුන්ට බැරිය. මේ නිසා ඔවුහු නිරතුරුවම අධිකරණය ඉදිරියේ අපහාසයට ලක්වෙති. කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉක්මනින් අවසන් කරන්නට පොලිසියට වුවමනා වූ විට ඔවුන් කරන්නේ මොකෙක් හෝ පාරේ යන මිනිහකු අල්ලා ගෙනවිත් ඇට කටු කැඩෙන සේ ඔහුට පහර දී බොරු පාපොච්චාරණයක් ලබා ගැනීමය. මේ පිළිබඳව සරල උපමා කතාවක් තිබේ. දිනක් මිනිහෙක් වනයට ගිය විට වලසකු විසින් මරාගෙන කන ලදී. වලසා අල්ලා ගෙනවිත් පාපොච්චාරණයක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට පැවරිණ. පොලිසිය වනාන්තරයට ගොස් හාවකු අත්අඩංගුවට ගෙන ඒ සතාට හොඳටම පහර දී මිනිසා මරාගෙන කෑ බව පිළිගන්නා ලෙස බල කළේය. පොලිසියට ගෙන ආ හාවා තමා විසින් මිනිසා මරාගෙන කන ලදැයි පාපොච්චාරණය කළේය. කොණ්ඩයාට වුණෙත් එයමයි. කොණ්ඩයාට මොළේ තිබුණේ නම් ඔහු කළ යුතුව තිබුණේ පොලිසියට විරුද්ධව නඩුවක් පවරා අලාභයක් අයකර ගැනීමය. සමන් ජයලත් අද එල්ලා මැරීමේ දඬුවමට නියම වී එසේ නොකරන බැවින් හිර ගෙදරට වී fun එකක් ගනිමින් ජීවත් වේ. ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම දීම අනිවාර්ය කළ යුතු බව අප මීට පෙරද ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. මරණ දඬුවම නියම වූ අය එල්ලා මැරීම සඳහා ජනාධිපති චන්ද්‍රිකාගේ කාලයේදී අලුත් කඹයක් පකිස්තානයෙන් ගෙනෙන ලදී. සමහරවිට එය දැන් දිරාපත් වී ඇතුවා වන්නට පුළුවන.

 පසුගිය 27 දා පෙරවරුවේදී බණ්ඩාරගම අටුළුගම කුකුළු මස් කඩයකට යමින් සිටි ෆාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ආපසු ගෙදර නොපැමිණි බැවින් ඇගේ මාපියෝ බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කළහ. ඊළඟ දවසේ උදේ වරුවේදී ඇගේ මළ සිරුර වෙල් යායක් ආසන්නයේ වූ මඩ ගොහොරුවකින් හමුවිය. අටුළුගම අල් ගස්සාලි විදුහලේ ශිෂ්‍යාවක වූ ඇය සුරූපී සුරතල් දැරියක් වූවාය. මෙවැනි කුඩා දැරියක් කුකුළු මස් ගෙන ඒමට කඩේට යැවීම සම්බන්ධයෙන් ඇගේ මවට හා පියාට මඩු වලිගයෙන් පහර දිය යුතු බවට අපි මුලින්ම යෝජනා කරමු. ඊළඟට මේ සිද්ධියේ අපරාධ ස්වරූපය ගැන විමසා බලමු. දූෂණය කර හෝ නොකර හෝ කුඩා දරුවකු මරා දැමූ විට එම දරුවාගේ හෝ දැරියගේ සිරුර ඔහුගේ හෝ ඇගේ නිවසට ආසන්නයේ වූ තැනකින් හමුවීමේ ප්‍රවනතාවක් ලෝක අපරාධ ඉතිහාසයේ තිබේ. එසේ නොවන අවස්ථා ඇත්තේ ඉතාම ස්වල්පයකි. එසේ නොවන අවස්ථාවලදී අතුරුදන් වූ දරු දැරියන්ගේ මළ සිරුරු කවදාවත් හමුවන්නේ නැත. මරා දමන ලද දරුවාගේ මළ සිරුර ගේ කිට්ටුවෙන් හමුවුණොත් එම මිනී මැරීම සිදුකළ අය යාබදව ජීවත් වන්නකු වීමට 75% ක පමණ ඉඩකඩක් තිබේ. ෆතීමා අයීෂා ගිය ගමන් මගේ ඉව කරමින් ගිය පොලිස් සුනඛයා කුකුළු මස් කඩය ළඟින් නැවතින. මේ නිසා අපට හැඟෙන පරිදි මුලින්ම අමාරුවේ වැටීමට ඉඩ ඇති අය අතර කුකුළු මස් කඩේ කට්ටිය සිටින්නට පුළුවන. දැරිය අතුරුදන් වීම පිළිබඳව ඇගේ පියාගෙන් සහ ඥාතියකුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර තිබේ. පොලිස් සුනඛයා ඉව කරන ලද්දේ දැරිය මිය යෑමට පෙර රාත්‍රිය ඇඳ සිටී ඇඳුමය. මෙය පොලිසියට ලබාගත හැකි හොඳම සහ ආසන්නතම ඉව සාම්පලය වේ. ඇය අතුරුදන් වූ පසු ෆේස්බුක් එකේ ඒ පිළිබඳ දැන්වීමක් පළවුණු අතර එමගින් කියවුණේ ඇය පිටකොටුවේ බස් නැවතුම්පළේ කාන්තාවක් සමග සිටින බවය. මේ මගින් පොලිස් පරීක්ෂණය යම් දුරකට අවුල් කිරීමට පුළුවන. සමහරවිට මේ දැන්වීම පළ කළ අය අපරාධයේ හවුල්කරුවකු නම්  (Perpetrators) දැරියගේ ගේ අවට පරීක්ෂා නොකර පිටකොටුවේ බස් නැවතුම්පළ දෙසට පොලිසිය යොමු කිරීම අපරාධකරුගේ අරමුණ වීමට පුළුවන. පළපුරුදු නොවන අපරාධකරුවෙක් අපරාධයක නියැලුණු පසු මහත් සේ ව්‍යාකූල තත්ත්වයට පත්වෙයි. උදාහරණයක් වශයෙන් මිනීමරුවා මරණකරුගේ මළගෙදර පැමිණි අවස්ථා බොහෝය. මරණකරුගේ ඥාතීන් සමග එක්වී ඔහු විසින් දුක බෙදා ගන්නා ලද අවස්ථා ද බොහෝය. මේ කතුවැකිය ලියන අවස්ථාවේදී දැරියගේ මරණ පරීක්ෂණය පිළිබඳ තොරතුරු අපට ලැබී තිබුණේ නැත. ඇය කෙළසා මරණ ලද්දේ ද යන්න අපට දැනගැනීමට ලැබී තිබුණේ නැත. සේයා සදෙව්මිගේ ඝාතනයට කොණ්ඩයා පටලවාගෙන කොටදෙනියාවේ පොලිසිය නැටූ නාඩගම හා සමාන නාඩගමක් අටුළුගම පොලිසිය නොනැටුවොත් ෆාතිමා අයීෂා ඝාතනය පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට පුළුවන. එය එසේම වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment