ෆයිසර් එන්නත්කරණය හමුදාවට භාරදීම ගැන GMO විරෝධය

108

ෆයිසර් එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ශ‍්‍රී ලංකා යුද හමුදාව වෙත ලබාදීමේ තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

එන්නත් ලබා දිය යුතු ක‍්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබාදීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක‍්‍රියාවක් බවත් හෙතෙම කීවේය.

ඊට අදාළ සියලූ තීන්දු තීරණ සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඞ් මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

එහෙයින් යුද හමුදාව වෙත ෆයිසර් එන්නත්කරණය සම්බන්ධ පූර්ණ බලය ලබා දීමේ තීරණයට දැඩි විරෝධය පළ කරන බව පැවසූ වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා මෙම අවිධිමත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ ලිඛිත දැනුම් දීමක් කළ බවද කීවේය.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සහ සෞඛ්‍ය අංශ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇත්තේ සෞඛ්‍ය අංශය විසින් ඊට ලබා දුන් නායකත්වය තුළින් බව ද හෙතෙම පැවසීය.

ප‍්‍රමාණවත් තරම් එන්නත් මාත‍්‍රා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ රෝහල්වලට නිකුත් කර නොමැති මොහොතක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු විවිධ පාර්ශ්ව මාධ්‍යයට පැමිණ සිදු කරන ප‍්‍රකාශවලින් ජනතාව දැඩි අපහසුතාවට පත් වී ඇතැයි සඳහන් කළ වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා එමගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ එන්නත්කරණය සඳහා යොමුව ඇති රෝහල් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් කීවේය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment