ෆවුසිට අධිචෝදනා භාර දෙයි

110

පුනරුත්ථාපන කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් පරිත්‍යාග කළ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන රජයට රුපියල් ලක්‍ෂ 10 කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට ඊයේ (24 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී අධිචෝදනා භාරදීම සිදුකෙරිණි.

නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කෙරිණි. විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසටත් නියෝග කරන ලදි. විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එකී චෝදනා යටතේ විත්තිකරුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් ඔහු නිදහස් කිරීමෙන් අනතුරුව නැවත මහාධිකරණය හමුවේ එම නඩුව පවරා ඇති බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කරන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට පැවසීය. ලිඛිත මූලික විරෝධතා ගොනු කිරීම සඳහා එම නඩුව ලබන මාර්තු 15 වැනිදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment