ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ වැලන්ටයින්ස් ඩේ සහ මේ ඩේ (1)

1067

(මැයි දිනය පිළිබඳ නොලියවුණු කතන්දරය)

මැයි දිනය පිළිබඳව හරියාකාර යමක් මේ තීරුව ඔස්සේ ලියා ගැනීමට බැරි වූයේ දිගින් දිගටම බලපැවත්වුණු නිවාඩු දවස් නිසාය. ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ, වැලන්ටයින්ස් ඩේ වැනි වාණිජ සැමරුම් දවස් ගණනාවක් මේ වනවිට මේ රටේ සංස්කෘතිය තුළට පිවිස තිබේ. මේ සියල්ලම බටහිරින් පැමිණි මාර්කටින් දවස් වෙති. මැයි දිනය ලංකාවට එන්නේ ද යුරෝපයෙනි. එහෙත් මැයි දිනය නමැති සංකල්පය තවදුරටත් මේ රට තුළ මාර්කට් කළ නොහැක. 1970 සිට 1977 දක්වා වූ මැයි දින සමූහයෙන් අප්‍රේල් කැරැල්ල පැවති 1971 අවුරුද්දේ මැයි දිනය හැර අනෙක් සෙසු මැයි දින හයම ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. එකල මේ රටේ වාමාංශික බලවේගය ඉතාම ඉහළින් තිබිණ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය ගිනි සිළු මෙන් දිලෙන අයුරු මැයි දින පෙළපාලිවලදී දක්නා ලදී. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද දැවැන්ත මැයි රැලි සහ පෙළපාලි සංවිධානය කළේය.

ඒ වන විට දේශපාලන වශයෙන් ඉතා දුප්පත් තත්ත්වයක සිටි නමුදු යූ එන් පී යද මැයි දින පෙළපාලි සංවිධානය කර හැකි අන්දමින් ස්වකීය මතය ප්‍රදර්ශනය කිරීම සඳහා ගේමක් ගැසුවේය. ඒ කාලයේදී මැයි දිනය නැරඹීමට යෑම වෙනම වැඩකි. වෙසක් බලන්නට යන එන මිනිසුන් මෙන් මැයි දින පෙළපාලි බැලීම සඳහා රටේ විවිධ පළාත්වලින් ලක්ෂ සංඛ්‍යාත පිරිස් එකල කොළඹට පැමිණියහ. 1977 න් පසු මැයි පෙළපාලිවල විභවය ක්‍රමයෙන් නෂ්ට වී යනු දක්නා ලදී. 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට එන්නේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ප්‍රමාණය 8 ට බැස්ස වීමෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්වෙයි. ජේ. ආර්. ජයවර්ධන කසිප්පු සහ බීඩි ගඳ ගහන එකල සිටි කම්කරු පංතියට ආසා කළ මනුස්සයකු නොවේ. ඔහුගේ කැමැත්ත විහිදී තිබුණේ මධ්‍යම පන්තියෙන් උඩහටය. සාමාන්‍යයෙන් ධනවාදී ආර්ථිකයක් තුළ සමාජයේ පංති පදනම බෙදී යන්නේ නිර්දන පංතිය සහ ධනපති පංතිය ලෙසය.

නිර්දන පංතිය තුළ සිටින්නේ දුප්පත්තුය. ගෙයක් දොරක් නැති මූලික ජීවන පහසුකම් නැති සාක්ෂරතාවක් නැති මේ පංතිය නූතන හිඟන පන්තියටත් වඩා පහළ මට්ටමක සිටි අතර කැපී පෙනෙන සමාජ ස්ථරයක් ලෙස එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලදී ප්‍රදර්ශනය විය. දුප්පත් ස්ථරයෙන් පසු ඊළඟ ස්ථරය වූයේ පහළ මධ්‍යම පන්තියයි. ඊළඟට ඉහළ මධ්‍යම පංතිය විය. ධනපති පංතිය පටන් ගන්නේ ඉහළ මැද පංතිය අවසාන වන තැනිනි. එයට සීමාවක් නොවූ අතර පෘථිවි කක්ෂය පසුකර අභ්‍යවකාශය දක්වාත් සෞරග්‍රහ මණ්ඩලය දක්වාත් ගමන් කිරීමේ හැකියාවකින් එය සන්නද්ධ විය. ජේ. ආර්. ජයවර්ධන ගේ සදාකාලික Love එක මේ පිරිස වෙතත් ආර්. ප්‍රේමදාස ගේ සදාකාලික Love එක පහළ මැද පංතිය සහ දුප්පතුන් වෙතත් පතිත විය. බලයට පත්වූ සැණින් ජනතාවගේ කම්කරු පංති හැඟීම විනාශ කිරීමට ජේ. ආර්. කල්පනා කළේය. එයට හේතුව මතුයම් දිනයකදී එම කම්කරු පංති හැඟීම වාතයක් වීමට ඉඩ ඇති නිසාය.

මේ සඳහා ජේ. ආර්. අපූරු වැඩක් කළේය. ඒ වූකලී යූ. එන්. පී. යේ සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය සහ රැලිය වෙනුවට ගෝල්ෆේස් පිට්ටනියේ සංගීත සංදර්ශනයක් පැවැත්වීමය. මේ සංගීත සංදර්ශනයේදී ඉන්දියාවෙන් පැමිණි සුපිරි හින්දි ගායක ගායිකාවෝ ගීත ගායනා කළහ. එම ගායක ගායිකාවන්ට ගෙවීම සඳහා එක්සත් ජාතික පක්ෂයට හෝ ආණ්ඩුවට තඹ සල්ලියක වියදමක් ගියේ නැත. ඒ සියලු වියදම් දරන ලද්දේ කොළඹ සිටි මුදලාලි පංතිය විසිනි. සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පිට පළාත්වලින් සෙනඟ ප්‍රවාහනය කරන ලද්දේ එජාප සංවිධායකවරුය. සංගීතය බැලීමට එන හැම කෙනකුටම අරක්කු භාගයකුත් රුපියල් 100 කුත් බත් පැකට් එකකුත් දෙන ලදී.

මේ කියන කාලයේදී අරක්කු භාගයක් රුපියල් 6 කි. බත් පැකට් එකක් රුපියල් 1.50 කි. පාන් රාත්තලක් සත 35 කි. ලංගම බස් එකේ පළමු වැනි සෙක්ෂන් එක සත 25 කි. එබැවින් රුපියල් 100 යනු මාසේ පඩියක් හා සම විය. මීට සමගාමීව ජේ. ආර්. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට පහර දී එය විනාශ කළේය. එවිට කම්කරු ජනතාව තුළ පංති හැඟීම පැතිරවීමේ කොන්ත්‍රාත්තුව සාම්ප්‍රදායිකව අතට ගෙන සිටි වම නිෂ්ක්‍රීය විය. ඒ අතර විවෘත ආර්ථිකය රට තුළට කඩා වැදුනේය. මෙය කිසිසේත්ම සෙල්ලම් කෙළියක් නොවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1990 වන විට ලංකාවේ කම්කරු පංතිය අතුරුදන් විය. එතැන් සිට රටේ තීරණාත්මක ඡන්ද දායකයන් බවට මැද පංතිය පත්විය. මේ ගමන කිසිසේත්ම හොඳ ගමනක් නොවේ. මීට දින කීපයකට පෙර පැවති සජබ රැලියේදී සරත් ෆොන්සේකා ට තරහ ගිය අතර ඔහු තමා සමග බහින් බස් වීමට ආ හරීන් ප්‍රනාන්දුගේ නරක තැනින් ඇල්ලුවේය. හරීන් බේරුනේ අනූ නවයෙනි. කට්ටිය මැදට පැන දෙදෙනා දෙපසට කළ නමුත් සරත් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දුගෙන් කුණුහරුප අසාගත් බව දැනගන්නට තිබිණ. මේ පිළිබඳ වීඩියෝව ඕනෑම වේලාවක නැරඹිය හැක. මේ තමයි 77 න් පසු රට තුළට ආ ගඳ ගහන ප්‍රවාහයේ අග්‍ර ඵලය. මීට එහා ඉතිරි ටික හෙට සාකච්ඡා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment