ෆිෆාට අපව එපා වුණේ ඇයි? – හිටපු සභාපති ජස්වර් හේතු කියයි

188

ෆිෆා පිළිගත් අවසන් සභාපති ලෙස මෙම තහනම ඉවත් කර ගැනීමේ ක්‍රියාවලියේදී
ජාත්‍යන්තරය සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ලෙස මම කටයුතු කරනවා….
ඉන්දියාවේ තහනම ලිහිල් කර ගන්න මෝදි මැදිහත් වුණා….
වසරකට ඩොලර් මිලියන දෙකක් අහිමියි….

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් ශ්‍රී ලංකාවට පනවන ලද පාපන්දු තහනම මෙරට පාපන්දු ක්‍රීඩාවට සිදු වූ ඉමහත් පාඩුවකි. එමතු නොව එය රටක් වශයෙන් ගත් කල ද අපට එල්ල වූ බලවත් කැළලකි. ඒ අනුව අප මේ මොහොතේ ජාත්‍යන්තරයෙන් කොන් වූ හුදෙකලා වූ පාපන්දු ක්‍රීඩා කරන රටකි. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ මෙරට මුහුණ දුන් බරපතළම ඛේදවාචකය එය වේ. ඒ අනුව පාපන්දුවලින් අපට දැන් නැති වෙන්නට දෙයක් නැත. ශ්‍රේණිගත කිරීම්වල 207ට වැටී තිබුණත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ එකල අපට තැනක් තිබුණි. නමක් තිබුණි. අප එහි ගෞරවනීය සාමාජිකයෙකුව සිටියේය. දැන් ඒ කිසිවක් නැත. ගෞරවනීය පිළිගැනීම නැත. මෙම තහනම නැති කර ගෙන එසේ නැති වූ ගෞරවය, පිළිගැනීම සහ නම යළි අපට ලබාගත යුතුය. ඒ සටනේ පෙරමුණ ගැනීමට තමන් ඉදිරිපත් වන බව මුලින්ම කීවේ හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතාය. ඒ අනුව ඔහු එම කටයුතු සිදු කරන්නේ කෙසේදැයි මෙන්ම අපට පාපන්දු තහනමක් පැනවුණේ කෙසේදැයි යන්නත් අපි හිටපු සභාපතිවරයාගේ විමසුවෙමු. මේ එම සාකච්ඡා සටහනයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තහනම පිළිබඳව හිටපු පාපන්දු සභාපතිවරයා ලෙස ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – මෙය අපට සිදු වූ විශාල කළු පැල්ලමක්. මෙම තහනම නිසා අප ජාත්‍යන්තරයෙන් කොන් වෙනවා. ජාතික කණ්ඩායමට නියමිතව තිබූ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි අවලංගු වෙනවා. ඔවුන් ලබන මාර්තු, ජුනි සහ ඔක්තෝම්බර් මාසවල එවැනි තරග සංචාරයන්හි නිරතවීමට නියමිතව සිටියා. ශ්‍රී ලංකාවට වසරකට ලැබෙන ඩොලර් මිලියන 2 ක මුදල මේ තහනම හේතුවෙන් අපට අහිමි වෙනවා. ඒ අනුව පාපන්දු සම්මේලනයද ඉදිරියේ දී මෙරටට බරක් වන ආයතනයක් වෙනවා. මෙතරම් කාලයක් අපි ආණ්ඩුවෙන් රුපියලක දෙයක් ගත්තේ නැහැ. ඒ වගේම අපේ විනිසුරුවරුන්ට මින් ඉදිරියට ජාත්‍යන්තර තරග ලැබෙන්නේ නැහැ. පිටරටවල ලීග ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට නැවත ලංකාවට පැමිණෙන්න වෙනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෝ ඊට අනුබද්ධිත රටවල් සමග කුමන ආකාරයක සම්බන්ධතාවක්වත් පැවැත්වීමවත් අපට තහනම්. එමෙන්ම ඔවුන් සමග ඊමේල්, ලිපි හුවමාරු, දුරකථන ඇමතුම් සියල්ල තහනම්. කොටින්ම ශ්‍රී ලංකාව කියලා රටක් දැන් ජාත්‍යන්තර පාපන්දු හිටියේ නැහැ.

ප්‍රශ්නය – තමන්ගෙ පාඩුවේ ක්‍රීඩාව කර ගෙන ගිය රටකට ඇයි මෙහෙම වුණේ ?

පිළිතුර – ක්‍රීඩාව පාඩුවේ කර ගෙන ගියාට මදි. අපි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය සමග බද්ධව සිටින ආයතනයක් ලෙස ඔවුන්ගේ නීතිරීති වලටත් යටත් වෙන්නත් ඕන. ඔවුන් කියන දේවල් ඉටු කරන්නත් ඕන. ඔවුන්ට පොරොන්දුවක් වුණානම් ඒක රකින්න ඕන. එසේ නොකරනවා නම් ඔවුන් සිතන්නේ අපි ඔවුන්ගේ නීතිරීති වලට ගරු කරන්නේ නැති බවයි. අපි ඔවුන්ට යටත් නැති බවයි. එහෙම වුණාම ඔවුන් තම නීතිය සහ බලය ක්‍රියාවේ යොදවනවා. ඒක තමයි අපට මේ තහනම පැනවුණේ. කියන දේ පිළි නොපදින රටකට එරෙහිව ඔවුන් තම බලය පාවිච්චි කළා.

ප්‍රශ්නය – මොනවද ඔවුන් අපගෙන් ඉල්ලුවේ? අපි ඔවුන් හමුවේ වුණු පොරොන්දුවලින් මොනවා ද ඉටු නොකළේ?

පිළිතුර – මම සභාපති වරයා කාලයේ නව ව්‍යවස්ථාවක් අනුමත කළා. 2/3ක බලයක් ඊට ලැබුණ. ඒත් එම ව්‍යවස්ථාව පිළිනොගෙන එය බැහැරට දමා ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළා. එය එක් හේතුවක්. ඒ වගේම පසුගියදා පැවැත්වූ පාපන්දු නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලධර්මවලට හා මූලික ආචාර ධර්මවලට පටහැනිවයි පැවැත්වූවේ. එනිසා නව නිලධාරි මණ්ඩලය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනුමත කළේත් නැහැ. තවද තෙවැනි පාර්ශ්වයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතුවලට අත දැමීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනුමත කරන දෙයක් නොවෙයි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදනය සහ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට ලබාදුන් මාර්ග සිතියම උල්ලංඝනය කරමින් තමයි ශ්‍රී ලංකාව කටයුතු කළේ.

ප්‍රශ්නය – අපි දැන් මොනවද මේ තහනමෙන් නිදහස් වීම වෙනුවෙන් ගතයුතු ක්‍රියා මාර්ග?

පිළිතුර – ශ්‍රී ලංකා ක්‍රීඩා රෙගුලාසි හා ෆිෆා රෙගුලාසි එකිනෙක නොගැටී නිවැරදි කර ගන්නා ආකාරය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම්දිය යුතුයි. ඒ වගේම පසුගිය සැප්තැම්බර් මාසයේ බහුතරයකින් සම්මත කරගත් පාපන්දු ව්‍යවස්ථාව පිළිගන්නා බවට පොරොන්දු විය යුතුයි. තවද පාපන්දු සම්මේලනයේ පරිපාලනය වැටුප් ලබන නිලධාරීන් යටතට පත්කළ යුතුයි. මේවා දිගුකාලීන ක්‍රියාමාර්ග. ඒ වගේම කෙටි කාලීන ක්‍රියාමාර්ග ලෙස අමාත්‍යාංශය මට්ටමෙන් මෙම ප්‍රශ්නයට මැදිහත් වී ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයේ බේරුම්කාර කමිටුවක් පත් කර ගන්න පුළුවන්. අන්තර්කාලීන කමිටුවක් ලෙසත් එය දක්වන්න පුළුවන්. එය සතියකින් හෝ කළ හැකි කාරණයක්. ෆිෆා එකෙන් එම කමිටුවට යම් කාලයක් ලබා දෙනවා. එම කාලය මත ඉදිරි අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්න පුළුවන් පූර්ණ නිදහසක් ලබා ගැනීම උදෙසා. ෆිෆා කොන්දේසි මත පත් වන එම කමිටුව පවතින කාලයේදී ද ශ්‍රී ලංකාවට යම් සීමාවක් මත මුදල් ලබා ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය- ඔබ මේ ප්‍රශ්නය විසඳන්න එන්නෙ ඇයි? ඔබ දැන් සභාපති නොවෙයි.

පිළිතුර – ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවෙන් අන්තිමට පිළිගත් සභාපති මමයි. මට තමයි ජාත්‍යන්තරය සමග මේ ගනුදෙනුව හොඳටම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම දූෂිත නිලවරණ වලින් ආපු අයව ෆිෆා එක පිළිගන්නෙ නැහැ. තවත් දෙයක් කියන්න ඕන. මේ ප්‍රශ්නය හිටපු සභාපතිට හෝ වත්මන් සභාපති ට හෝ ලේකම් ට හෝ පමණක් සීමා වන ප්‍රශ්නයක් නෙවෙයි. මේක රටටම බලපාන ප්‍රශ්නයක්. ඒ නිසා පාපන්දුවට ආදරේ හැමදෙනාම මෙහිදී එකා වගේ හිට ගන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ දැන් මේ ප්‍රශ්නය විසඳන්න හැදුවට ඇතැමුන් චෝදනා කරන්නේ ඔබයි මේ ප්‍රශ්නය ඇති කළේ කියලා.

පිළිතුර – මොකක්ද මගෙ අතින් වුණ වරද?

ප්‍රශ්නය – පාපන්දු ව්‍යවස්ථාව සම්මත වීම ප්‍රමාද වුණේ ඔබේ වරදින් කියලයි ඔවුන් චෝදනා කරන්නේ.

පිළිතුර – ෆිෆා එකෙන් අපේ ව්‍යවස්ථාව හදන්න කියලා මුලින්ම දැනුම් දුන්නේ 2014 වසරේදී. ඒ කාලේ හිටපු නිලධාරීන් කිසිවක් ඒ වෙනුවෙන් කරේ නැහැ. 2019 දී කරෙත් නැහැ. හැබැයි යම් යම් පියවර 2019න් පසුව ආරම්භ වුණා. මං සභාපති වුණේ 2021 වසරේදී. එකල කොරෝනා අර්බුද හා පළාත් සංචරණ නීතිය තිබුණත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ කටයුතු වේගවත් කළා. ඒ අතර ගම්පොල හා රාජ්‍ය සේවා සංගම් නඩුවක් දාලා දින 42 ක් කිසිම දෙයක් කරන්න දුන්නේ නැහැ. මේ බව ඇමැතිවරයාට මං පැහැදිලි කළා. ඒ අතරේ පසුගිය සැප්තැම්බර් මාසයේ මං විශේෂ සභාවක් කැඳවා තුනෙන් දෙකකින් නව ව්‍යවස්ථාව සම්මත කළා. ඇතැම් නිලධාරීන් පැරණි පාපන්දු ව්‍යවස්ථාව අනුව නිලවරණ පැවැත්වීමට උපදෙස් දුන්නා. පැරැණි ව්‍යවස්ථාව අනුව නිලවරණයට ගියා. ෆිෆා නිලධාරීන්ට ඇමැතිතුමා දුන් පොරොන්දුව එතනදී කඩ වුණා. ඇමතිතුමා ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තිබුණේ නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීමටයි. ඒ වගේම පාපන්දු මාර්ග සිතියම පිළිබඳ අමාත්‍යාංශය දුන් පොරොන්දුවත් වෙනස් වුණා.

ප්‍රශ්නය – මෙරට පාපන්දුව යටත් වෙන්නේ කුමන නීතියකටද?

පිළිතුර – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රටේ ක්‍රීඩා නීතියට වගේම ෆිෆා නීතියටත් යටත්. ඒ වගේම ආසියානු පාපන්දු සම්මේලනයේ නීතියටත් යටත්. මේ අංශ තුනම සමබරව පවත්වාගෙන යන්න ඕන.හැබැයි මේ සිදු වුණු වරදින් දැනෙන්නේ අපේ පාපන්දු අවුරුදු විස්සක් ආපස්සට ගියා වගේ දෙයක් තමයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තහනමෙන් නිදහස් කර ගන්න දේවල් ඔබට තනිවම කරන්න පුළුවන් ද?

පිළිතුර – තනිවම බැහැ. රටේ හැමෝගෙම සහයෝගය ඕනා. මේ ප්‍රශ්නය අපට පෙර අන්තිමට බලපෑවෙ අසල්වැසි ඉන්දියාවට. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මැදිහත් වෙලා තමයි ඉන්දියාව ජාත්‍යන්තර පාපන්දු තහනමින් නිදහස් වුණේ. ඒ නිසා මෙය රටේ ප්‍රශ්නයක් ලෙස සලකා එම තහනම ඉවත් කර ගැනීම පිණිස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමද අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මේ වන විටත් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. රටක් වශයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ තහනම් වීම රටටම කැලලක්. ඒ නිසා මේ අපකීර්තිය මකා ගැනීම සඳහා කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ ද වගකීමක් විදිහටයි මම හිතන්නේ. කොටින්ම රටක් වශයෙන් සියලු දෙනාම එකට එකතු විය යුතුයි. පසුගිය නිලවරණයෙන් පත්වුණා යැයි කියන විධායක කමිටුවටත් ඒ සඳහා ආරාධනා කරනවා.මේ සියලු පාර්ශවයන් හා ජාත්‍යන්තරය සම්බන්ධ කර ගැනීමේ කටයුතු සඳහා පාලමක් වෙන්න මං කටයුතු කරනවා.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment