ෆුජිමාරු ස්නේහය

197

ජගත් තරුණ නෞකා වැඩසටහනට ලංකාවෙන් තෝරාගත් තරුණ තරුණියන් 13 දෙනාගෙන් කෙනකු වූ සෙංකඩ, නෞකාවේදී චිසතෝ නම් ජපන් ළඳගේ ඇසුරට වැටෙයි. ඇය විවාහයකය. එක්දරු මවකි. ඇයත් ඇයට වඩා වසර කිහිපයකින් බාල තනිකඩ තරණයකු වූ සෙංකඩත් අතර ඇති වන්නා වූ බැඳීම, නවකතාව ගෙත්තම් කරන හුය වේ. මේ බැඳීමෙහි කාලසීමාව මාස දෙකකි.

කර්තෘ: සචිත්‍ර මහේන්ද්‍ර
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ

සචිත්‍ර මහේන්ද්‍ර, පාඨක ප්‍රජාව හඳුනන්නේ පත්‍ර කලාවේදියකු ලෙසය. එහෙත් ඔහු මීට පෙර ‘දිදුළන දුහුවිල්ල’ නමින් නවකතාවක් රචනා කර තිබේ. මට එය කියවන්නට ලැබී නැත. මට කියවන්න ලැබුණු ‘ෆුජිමාරු ස්නේහය’ ඔහුගේ දෙවැනි නවකාතවයි. එසේ වුවත් සචිත්‍ර ‘ෆුජිමාරු ස්නේහය’ රචනා කරන්නේ නවකතාකරණයෙහි මනා පරිචයක් ඇති පරිණත ලේඛකයකු ලෙස බව මගේ හැඟීමයි. චරිත නිරූපණය, කතා වින්‍යාසය, රචනා මාර්ගය ආදියෙහි ඒ පරිණත භාවය නොඅඩුව දකින්නට ලැබේ.

ෆුජිමාරු ස්නේහය

ජගත් තරුණ නෞකා වැඩසටහනට ලංකාවෙන් තෝරාගත් තරුණ තරුණියන් 13 දෙනාගෙන් කෙනකු වූ සෙංකඩ, නෞකාවේදී චිසතෝ නම් ජපන් ළඳගේ ඇසුරට වැටෙයි. ඇය විවාහයකය. එක්දරු මවකි. ඇයත් ඇයට වඩා වසර කිහිපයකින් බාල තනිකඩ තරණයකු වූ සෙංකඩත් අතර ඇති වන්නා වූ බැඳීම, නවකතාව ගෙත්තම් කරන හුය වේ. මේ බැඳීමෙහි කාලසීමාව මාස දෙකකි. ඒ වනාහි ෆුජිමාරු නෞකාවේ යාත්‍රා කාලයයි. මේ කාලපරාසය තුළ සෙංකඩ චිසතෝ දෙදෙනා තුළ හටගන්නා සම්බන්ධය වචනයට හසුකර ගත නොහැකි හැඟීම් සමුදායකි. මේ හැඟීම් සමුදායට නවකතාකරුවා ‘ස්නේහය’ යැයි නම් තබන්නට ඇත්තේ ඒ සඳහා වෙනත් වචනයක් සිංහල භාෂාවෙහි නැති නිසා විය යුතුය.

මහ මුහුද මැද යාත්‍රා කරන මහල් ගණනාවකින් යුකත් ෆුජිමාරු නෞකාවේ කුටියකදී ඇතැම් රාත්‍රියක ඔව්හු හමුවෙති. සෙංකඩ, චිතසෝගේ ආරාධනයෙන් ඇයගේ සයනයෙහිද සැතපෙයි. එහෙත් උනුන් අතර ලිංගික එක්වීමක් සිදුවන්නේ නැත. විවාහක සැමියා සිටින අතර වෙනත් ජපන් ජාතිකයකු සමග තමා ලිංගිකව හැසිරෙන බවද එය සැමියා පවා දන්නා බවද පවසන චිතසෝ සිය සොඳුරු මිතුරාගෙන්

සිය කය සනසාගන්ට තැත් දරන්නේ නැත. ඇය සිප වැළඳ ගන්නා සෙංකඩද එබඳු ප්‍රතිචාරයන් ඇයගෙන් අපේක්‍ෂා කරන්නේ නැත. මේ අතර විවාහයෙන් පසු සමන් මල්දමක් දෙදෙනා අතර තබාගෙන ඒ මල්දම නොතැළෙන්නට එක යහනේ සැතපුණු බුද්ධකාලීන අඹු සැමි යුවළකගේ කථාන්තරය ද සෙංකඩ ඇයට කියා දෙයි. පාඨකයෝ තුෂ්ණිම්භූතව මේ අපූර්ව හැසිරීම දෙස බලා සිටිති.

චිතසෝගේ ස්වාමිපුරුෂයා වූ තකායි සෙංකඩට හමුවීම නවකතාවෙහි නාටකීය බව තීව්‍ර කර තිබේ. සෙංකඩ චිතසෝ හමුව ප්‍රේම සම්බන්ධයක් කරා ගමන් නොකරන්නේ යම් සේද එසේම සෙංකඩ-තකායි හමුව වීරයකුගේ සහ දුෂ්ටයකුගේ හමුවක් බව පත්වන්නේ නැත. ඊට හේතුව සෙංකඩ හා චිතසෝ අතර දැඩි සම්බන්ධතාවක් ඇති බව අවබෝධ කර ගන්නා තකායි, එය මිත්‍රත්වයෙන් ඔබ්බට ගොස් නැති බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමයි. ඒ නිසා හේ සෙංකඩට ගෞරව කරයි. සෙංකඩ-තකායසි දෙදෙනා අතර ඇති වන අන්‍යොන්‍ය බැඳීම හේතුකොටගෙන තකාසි-චිතසෝ දෙදෙනාගේ දෙදරා ගිය කුටුම්බයට ද ආලෝක ධාරාවක් පතිත වේ.

ප්‍රේමයේ විවිධ පැතිකඩ විදහා දැක්වෙන නවකතා අප ඕනෑ තරම් කියවා තිබේ. එහෙත් ‘ස්නේහය’ පාදක කරගත් නවකතාවක් තබා කෙටි කතාවක්වත් අප කියවා ඇත්නම් ඒ ඉඳහිටය.

ජපන් ළඳක් පිළිබඳ කතාන්තරයක් වුවත් මේ නවකතාවේ ජපානය නැත. ජපන් සංස්කෘතියක් නැත. සෙංකඩ නම් තරුණයකු සිටියත් ලංකාව හෝ සිංහල සංස්කෘතියක් නැත. ඇත්තේ මහසයුර මැද තනිවූ දෙරටක දෙදෙනකුත් පමණි.

සචිත්‍රගේ කාව්‍යමය බස් වහර පාඨකයා ප්‍රමුදිත කරන සුළු වේ. නිදසුන් 02 ක් දක්වනු ලැබේ. (1) මිතුරන් ප්‍රේමවන්තයන් වූ කල මිත්‍රත්වය විනාශ වන බව මට දැනෙන්නට පටන් ගෙන තිබේ. අප මිත්‍ර ස්නේහය එලෙසින්ම තබාගෙන මෙම ගමන යමු. අප ළං වී සිටින විට අපට අප නොපෙනේ. එහෙත් දුරස්වී සිටින විට අප හොඳින් පෙනේ. (2) කිසිදු රැල්ලක් නොසිටින සේ මනා ලෙස සකසා තිබෙන ඇගේ යහන දෙස මම බලමි. ජීවිතයේ සුන්දරම පාඩම මට ඉගැන්වූ ඒ යහන දෙස මම ආදරයෙන් බලමි. ආදරණීය අනිමිසලෝචනයකින් මට මේ යහන සමග වෙළෙමි. මම පිටුපා සිටින චිසතෝ මා දෙසට හැරෙන්නට පෙර යම්තම් තෙත්වූ දෑස වහා පිසදා ගනිමි’ ‘ෆුජිමාරු ස්නේහය’ එක හුස්මට කියවාගෙන යෑමට අප පොළඹවන්නේ සචිත්‍ර මහේන්ද්‍රගේ මේ රචනා මාර්ගයයි.

ෆුජිමාරු ස්නේහය

සම්මාතිත මහාචර්ය
● සුනිල් ආරියරත්ත

advertistmentadvertistment
advertistmentadvertistment