ෆේස්බුක් හරහා නිළියක් යාළු කරගෙන විවාහ පොරොන්දු දී ලක්ෂ 65ක් වංචා කළ මනමාලයාට ඇප

1604

සැකකරු මීට පෙරත් ගම්පහ නීතිඥවරියක් රවටා ලක්ෂ 49කට විදලා

ෆේස්බුක් ගිණුමක් හරහා රංගන ශිල්පිනියක් සමග හිතවත් වී ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී එම රංගන ශිල්පිනියකගෙන් වරින් වර රුපියල් ලක්ෂ 65 ක මුදලක් ලබා ගෙන වංචා කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරු දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 05 වෙනිදා නියම කළාය.

සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර දී ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන අංශයහමුවේ පෙනී සිටින ලෙසට ද ඇප නියම වූ සැකකරුට නියම විය.

සැකකරුට විදේශ ගමන් තහනම් කෙරුණ අතර එම විදේශ ගමන් තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් ලබා දෙන ලෙස අධිකරණ රෙජිස්ටාර්වරිය වෙත නියම කෙරුණි.

රත්නපුරය, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බොරාල ලියනගේ වසන්ත ලියනගේ නමැති සැකකරුට මෙසේ ඇප නියම කෙරුණි . සාක්ෂිකරුවන්ට තර්ජනය කළ හොත් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඇප අවලංගු කර නැවත රිමාන්ඩ් භාරයට පත් කරන බවට සැකකරුට පැනවූ තවත් ඇප කොන්දේසියක් විය.

මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ 22 හැවිරිදි ආර්.එච්. අනුෂ්කි කසුනිකා ප්‍රේමරත්න නමැති රංගන ශිල්පිනිය පැමිණිලිකාරිය බවට අධිකරණයේ සඳහන් විය.

සමාජ සුබසාධන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව පවසා සැකකරු ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නළු නිළියන් එක්ව සිටින ඡායාරූප ඇතුළත් ෆේස්බුක් ගිණුමක් විවෘත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු එම ෆේස්බුක් ගිණුමෙන් හඳුනාගෙන ඇති පැමිණිලිකාරිය සමග හිතවත්කමක් පළමුව ගොඩනගා ගෙන ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

දෙදෙනා අතර ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව පැමිණිලිකාරියගේ දෙමාපියන්ද විවාහ මංගල්ලයට ආශිර්වාද පතා ඇති බව අධිකරණයේ දී තවදුරටත් සඳහන් විය.

ඉන් අනතුරුව සැකකරු විවිධ අවශ්‍යතා පෙන්වමින් සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 65 ක මුදලක් පැමිණිලිකාරිය ලවා බැර කරගෙන මුදල් වංචාව සිදු කර ඇති බව පොලීසිය පැවසීය. සැකකරුගේ බැංකු ගිණුමට සැකකාරිය ලවා රුපියල් ලක්ෂ 65 ක මුදලක් බැර කරවාගෙන ඇති බව බැංකු වාර්තා මගින් සනාථ වී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. ෆේස්බුක් ගිණුමෙන් හිතවත් වී ගම්පහ ආධුනික නීතිඥවරියක් රවටා විවාහ කරගන්නා බවට පොරොන්දු ලබාදී රුපියල් ලක්ෂ හතළිස් නවයක මුදලක් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර ඇති බව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සඳහන් විය.

ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ උපදෙස් මත සැරයන් ගුණරත්න (10769) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය. නඩුව නැවත ජුලි මස 31 දින කැඳවීමට නියම කෙරුණි.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment