ෆොන්සේකා අරගලයට දින දීම කුමන්ත්‍රණයක්: සර්වපාක්‍ෂික අරගලකරුවෝ

844

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ‘අරගලයට දින දීම’ ආණ්ඩුවේ කුමන්ත්‍රණවල එක් දිගුවක් පමණකැයිද එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇද දැමීමක් යැයිද පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත අරගලය පණ ගන්වන තෙක් ‘පාලකයා’ දෙස විමසිලිවත්ව සිටින ලෙසත් ඉල්ලා සිටින්නේ යැයිද සර්වපාක්‍ෂික අරගලකරුවෝ ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

සරත් පොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ කතාවකදී ලබන 9 වැනිදා අරගලයට සහය දෙන බවට ප්‍රකාශයක්ද කර තිබිණි.

ව්‍යාජ පෙළඹීවීම්වලට හසුව අරගලය පිළිබඳව වූ විශ්වාසය පළුදු කර නොගන්නා ලෙසද ඉල්ලා සිටින බවද එහි සඳහන් විය.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටුකරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින අතර, අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොලොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති ආකාරයද හාස්‍යජනකය.

උත්තරීතර නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙසද අපි ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකර සිටිමු. තවද ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන්ද අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට දරන උත්සාහයන් අප මාතෘ භූමිය තවත් අඳුරු යුගයකට ඇද දැමීමට පෙරමං සකසන්නකි. එම නිසා පාලකයන් අරගලයේ සැබෑ උවමනාවන් වෙත තම අවධානය යොමු කරනවා මිස එය මර්දනය කිරීමට කටයුතු නොකළ යුතු අතර එවැනි මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට ද සර්වපාක්‍ෂික අරගලකරුවෝ ලෙස අපි සක්‍රීයව කටයුතු කරමින් සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment