ෆෝග්මෝර් කන්දක් නායයයි මස්කෙළියේ පවුල් 42ක් අවදානමේ

73

වෙන තැන්වල නිවාස ලැබුණු අයත් ඉන්න බෑ කියලා ආයෙත් ඇවිත්

මීට පෙරත් මෙතන නාය ගිහින්

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ වතු නිවාසවලට ඉහළින් පිහිටි කන්දක් ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග 11 දා අලුයම සිදු වූ නාය යෑමක් නිසා එම වතුයායේ කම්කරු පවුල් 42ක සාමාජිකයෝ පිරිසක් දැඩි අවදානම් තත්ත්වයක පසුවෙති.

මීට ප්‍රථම 2014 වර්ෂයේ දී මෙම ස්ථානයේම නාය යෑමක් සිදුවුණි. පසුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනයේ නුවරඑළිය කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදු කළ ස්ථාන පරීක්ෂණයේ දී නාය යෑමට ලක්ව ඇති ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් බවට නම් කර වතු කම්කරුවන්ට එම නිවාසවලින් ඉවත් වීම සඳහා උපදෙස් ලබා දී තිබුණු බව ගාඩ්මෝර් වසමේ ග්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මහතා පැවසීය.

මෙම අවදානම් නිවාසවල පදිංචිව සිටින වතු කම්කරුවෝ වර්ෂාධික දිනවලදී ඥාතීන්ගේ නිවෙස්වල ආරක්ෂාවට රැඳී සිට වර්ෂාව පහව යෑමත් සමග නැවත තමන්ගේ නිවෙස්වල පදිංචියට පැමිණෙති.

නාය යෑමේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශයේ පදිංචි වතු කම්කරු පවුල් 23ක් සඳහා 2014 වසරේ දී එවකට සිටි මෙම වතුයායේ (පුද්) පාලනාධිකාරිය මගින් එම වතුයායේම ආරක්ෂිත භූමියක තාවකාලික නිවාස ඉදිකර දීමට අවශ්‍ය කටයුතු සලසා දුන්න ද එහි ප්‍රමාණවත් පහසුකම් නොමැති බව පවසමින් කෙටි කාලයක් රැඳී සිටි එම වතු කම්කරුවන් නැවත ඔවුන්ගේ නිවෙස්වලට පැමිණ පදිංචි වූ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඒ. රවීන්ද්‍රරාජා මහතා පැවසීය. ජීවිත අවදානම් තත්ත්වයක සිටින මෙම වතු කම්කරුවන්ගේ නිවාස ගැටලුව සඳහා කඩිනම් විසඳුමක් රාජ්‍ය මැදිහත්වීමෙන් ලබා දෙන ලෙස මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඒ. රවීන්ද්‍රරාජා මහතා වගකිවයුත්තන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි ෆෝග්මෝර් තේ වතුයායේ වතු කම්කරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව ග්‍රාම නිලධාරි කේ. ජී. ගුණතිලක මහතා පැවසීය.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment