ෆෝන් එකෙන් මල් කැඩුවොත් බිල් එන්නේ  තරු විසිවෙන්න

534

සූම් ගිහින් ඉගෙන ගත්ත අයත් ඔන් ලයින් වැඩ කරපු අයත් අමාරුවේ…

තම අත රැඳි ජංගම දුරකථනයට ඇස යොමා ගෙන මොන මොනවාදෝ “කොටන’ මිනිසුන් වෙසෙන රටක් ලෙස කලක පටන් මෙරට ප්‍රකටය. කාර්යාලීය රාජකාරී වේලාවන් තුළ බස් රිය දුම්රිය තුළ පමණක් නොව, තැනක් නොතැනක් පිළිබඳ මෙලෛා් අවබෝධයකින් තොරව “කෙටීම” හුරුවූ රටක් ලෙස කෙටි පණිවිඩයේ සිට අන්තර් ජාලයේ නන් විසිතුරු සොඳුරු තැන් දක්වාත් තෙරතුරු සන්නිවේදන කටයුතු ආදියත් පිණිස ඩිජිටල් තාක්‍ෂණයේ සරණ ගිය මෙරට ජනතාවගේ ඉහ මොළ රත්වන කෙටි පණිවිඩයක් ඉකුත් දිනක තම තමන් අත රැඳී ජංගම දුරකථන තිරය මත දිස්වන්නට විය.

එම කෙටි පිණිවිඩය හරහා කියවුණේ 2022.09.05 සිදුවූ දුරකථන ගාස්තු සංශෝධනයත් සමග ඒ ඒ දුරකථන සමාගම්වලට අයත් සේවා පහසුකම් සපයන ගාස්තු අහවල් මිල ගණන් දක්වා ඉහළ යන බවත් ඩොලරයේ අගය දිගින් දිගට ම වැඩිවීම හේතුවෙන් දුරකථන සමාගම්වල මෙහෙයුම් පිරිවැය ඉහළයෑම හේතුවෙන් විදුලි සංදේශ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගාස්තු ඉහළ දැමීමට විදුලි සංදේශ කොමිෂන් සභාවේ අවසරය හිමිවීම මත අදාළ දුරකථන සමාගම් විසින් එම තීරණය ගත් බවත්ය.

ඒ අනුව දුරකථන, අන්තර් ජාල හා රූපවාහිනී සේවා ගාස්තු ඉකුත් 05 දා සිට ඉහළ ගොස් ඇත. එම “ගණන් ඉස්සීම” සිදුවන්නේ දුරකථන, ස්ථාවර බ්‍රෝඩ් බෑන්ඩ්” සඳහා සියයට 20ක් ද පියෝ ටී වී සේවා ගාස්තු සියයට 25ක් ලෙසින්ය.

ඒ අනුව ඉකුත් සැප් 05 දා සිට මෙරට සියලුම දුරකථන සමාගම්වල අදාළ දුරකථන ඇමතුම් ගාස්තු 20%කින් සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25% කින් ද ඉහළ ගොස් ඇත. සාගින්න ඇතුළු නහුතයක් ප්‍රශ්න සහිත ජනතාවක් වෙසෙන රටක මෙලෙස දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු ඉහළ යෑම හේතුවෙන් සමාජයේ සෑම ස්ථාවරයකට ම මේ වනවිට එය දැඩිව දැනෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. කුඩා දරුවාගේ අධ්‍යාපනයේ සිට එකි නොකී සෑම ක්‍ෂේත්‍රයක්ම යාවත්කාලීන කරවීම පිණිස නැතිවම බැරි අන්තර් ජාල පහසුකම් සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවීම බොහෝ දෙනෙකු විසින් හඳුන්වන්නේ තම තමන්ගේ මුදල් පසුම්බියට තවත් හෙණ ගෙඩියක් පාත් වීමක් ලෙසින්ය.

අන්තර් ජාල පහසුකම් යනු මෑත කාලීනව මරට නව ප්‍රවණතාවයක් ලෙස මතුපිටට පැමිණි සේවාවක්ය. ඉකුත් වසංගත සමයේදී මෙන්ම මේ වනවිටත් මෙරට රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ Online තාක්‍ෂණය ඔස්සේය. සාකච්ඡා සම්මන්ත්‍රණ ආදිය ගත් කළ ද එකිනෙකා මුණ ගැසෙන්නේ සන්නිවේදන තාක්‍ෂණයේ නව සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසය. එපමණක් නොව කොත්තු රොටිය පවා ඇනවුම් කිරීම පිණිස පවා Online තාක්‍ෂණය භාවිත කරන්නන් බහුලය. ඒ අනුව රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදයට විකල්පයක් ලෙස භාවිත කළ ඔන් ලයින් සේවාවන් ඉකුත් 05 දා සිදු කළ මිල සංශෝදනය හමුවේ යම් පසුබෑමකට ලක්ව තිබෙන අතර ඒ පිළිබඳව පාර්ශ්ව කීපයක් ඔස්සේ අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අන්තර් ජාලය භාවිතය මේ වනවිට තරමක් දුරට අඩාලව පවතින බවය. එහිදී අදහස් දැක්වූ පිරිසෙන් වැඩි දෙනෙක් සඳහන් කර සිටියේ අන්තර් ජාල සේවා ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට දරු පරපුරේ දැනුම පිණිස මරු පහරක් වැදෙන බවත් ලෝකය තාක්‍ෂණය සමග පෙරට ගමන් කරමින් සිටින වටපිටාවක රටක් ලෙස අප පසුපසට ගමන් කරන බවත්ය.

“රටේ අනාගත දරු පරපුර දැනුමින් බුද්ධියෙන් පොහොසත් කරන්න ලෝකයේ වෙනත් රටවල් සෑම උත්සාහයක්ම ගන්නවා. එහෙම තත්ත්වයක් තුළ අපේ රටේ රුපියල් 107ට තිබුණ ඩේටා කාඩ් එක මේ මිල සංශෝධනයත් එක්ක රුපියල් 134ක් කරලා. ඒක ලොකු මිල වැඩිවීමක්. හරිනම් මේ පැකේජ් එක ළමයින්ට නොමිලේ ලබා දිය යුතුයි. මොකද මේ තියෙන අර්බුදයක් එක්ක පාසල් අධ්‍යාපනය වෙනද වගේ සිද්ධ වෙන්නේ නෑ. රුපිල් 107ක් දීල මේ කාඩ් එක දාගත්තට පස්සේ යූ ටියුබ් ඇතුළු තවත් පහසුකම් කීපයක් ගන්න පුළුවන්කම තිබුණි. යූ ටියුබ් හරහා ආධ්‍යාපනික පැත්ත ආවරණය කර ගත්ත දරුවන්ට මේ මිල වැඩිවීම හරහා ඒ කටයුතු කරගන්න බැරි තත්ත්වයක් තමයි දැන් උදාවෙලා තිබෙන්නේ. රුපියල් 49ක කාඩ් එකක් දාගන්න බැරි වැඩි පිරිසක් ඉන්න රටක මේ මිල ඉහළ දැමීම කොහොමටවත් දරා ගන්න බෑ.”

අන්තර්ජාල පහසුකම් සේවා ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් පීඩාවට පත් දරුවන් මේ වනවිට මුහුණදී සිටින්න් එවැනි තත්ත්වයකටය. එය පුළුල් අරුතින් ගත් කළ සාමාන්‍ය ජන ජීවිතයේ එදිනෙදා සන්නිවේදන කටයුතු පිණිස ද බලපාන්නෙ ඒ ආකාරයෙන්මය. ඒ බව තහවුරු වන්නේ මේ වනවිටද දුරකථන හා අන්තර් ජාල පහසුකම් කාඩ්පත් අලෙවි කරන ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී සිටින තත්ත්වය පිළිබඳ විමසිලිමත්වීමේදීය. නම සඳහන් කිරීමට අකමැති අලෙවිසැල් හිමිකරුවකු ඒ පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්ය.

“පසුගිය 05 වැනිදා ඉඳල ක්‍රියාත්මක මිල ඉහළ යෑමත් එක්ක දුරකථන පෙර ගෙවුම් කාඩ් පත් සහ ඩේටා කාඩ් අලෙවියේ යම් අඩුවීමක් දැනටමත් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය පිණිස අවශ්‍ය තොරතුරු ලබා ගන්න අනර්තර් ජාලයට පිවිසීමට අවශ්‍ය කාඩ්පත් අලෙවියේ ලොකු අඩුවක් දකින්න ලැබෙනවා. වට්ස් ඇප්, සූම් තාක්‍ෂණය වැනි පහසුකම් ලබාදෙන පැකේජ් මිල ලොකු ගාණකින් වැඩිවීම ඊට හේතුව වෙන්න පුළුවන්. නමුත් ෆේස් බුක් වැනි සමාජ ජාලා වෙත පිවිසෙන මිල ගණන්වල ලොකු වැඩිවීමක් නෑ. මේ මිල වැඩිකිරීම කුමන පදනමක් යටතේ කරලා තියෙනවාද කියලා අපටවත් අවබෝධයක් නෑ. මෙච්චර දුෂ්කර තත්ත්වයක් තුළ ජීවත්වෙන මිනිසුන්ට කොතැනකින්වත් සැනසීමක් නෑ කියලා.”

නහුතයක් අර්බුද මැද කරවටක් ගිලී සිටින මෙරට මිලියන 22ක ජනතාවගෙන් වැඩි පිරිසකට දුරකථනය පරිගණකය, රූපවාහිනිය ද මේ වනවිට මහ බරක් බවට පත්වන්නේ ඒ ආකාරයෙන්ය. යම් භාණ්ඩයක හෝ සේවාවක මිල ගණන් කුමන හේතුවක් මත වැඩි වුවද යළිත් පෙර පැවැති මිලට පහළ නොබසින රටක් වේ නම් එය ශ්‍රී ලංකාව බව ඕනෑම කෙනෙක් තම තමන්ගේ අත්දැකීමෙන් පසක් කර ගත් සත්‍යයක් බවට පත්ව ඇත. අප මෙම සටහන මගින් අවසන් වශයෙන් ද අවධාරණය කර සිටින්නේ රටක අනාගතය වන දරු පරපුරට තම තමන්ගේ අධ්‍යාපන කටයුතු අඩුපාඩු මැද වුවද සිදුකර ගෙන යෑම පිණිස මෙතෙක් කලක් පිහිට වූ ඔන් ලයින් තාක්‍ෂණය මෙම මිල ගණන් යටතේ තව දුරටත් සිහිනයක් නොකොට ඒ සඳහා හෝ සහනයක් ලබාදීම බලධාරීන්ගේ වගකීමක් සහ යුතුකමක් වන බවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment