ෆෝන් රූපවාහිනි ඇතුළු ලිස්ට් එක දිගයි.. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේදී 100 ක තැන්පතු තියන්න වෙයි…

247

ජංගම දුරකථන, රූපවාහිනී, ඔරලෝසු, ශීතකරණ, රබර් ටයර්, පලතුරු වර්ග, වායුසමීකරණ, බීම වර්ග සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ණයවර ලිපි හා ප‍්‍රතිග‍්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

මේ බව මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නව චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (08 දා) පැවැති රැුස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යවත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැුක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව පවසයි.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩ ද මහ බැංකුව විසින් සියලූම බැංකුවලට දැනුම් දී ඇත.

මේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවට යටත් වන ආනයනික භාණ්ඩ වන්නේ විදුලි සංදේශ උපකරණ (ජංගම දුරකථන සහ ස්ථාවර දුරකථන වැනි), ගෘහ උපකරණ (විදුලි පංකා, රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර, ඩිජිටල් කැමරා, කොණ්ඩය සකසන උපකරණ, ජලය උණු කරන උපකරණ, විදුලි ලාම්පු, උදුන් වැනි), රෙදිපිළි සහ උපාංග (ළදරු ඇඳුම්, සංකුචික මේස්, ජර්සි, රාත‍්‍රී ඇඳුම් සහ පිජාමා, කබා, කමිස සහ බ්ලවුස්, ඇඳුම් කට්ටල, ජව ඇඳුම් කට්ටල සහ පිහිනුම් ඇඳුම්, ටී ෂර්ට්, යට ඇඳුම්, පාවහන්, අත් ඔරලෝසු, අව් කණ්ණාඩි, වෙනත් උපාංග වැනි), ගෘහ උපකරණ සහ ගෘහ භාණ්ඩ (ගෘහ භාණ්ඩ, ලාම්පු සහ ආලෝකකරණ උපාංග, විසිතුරු නිෂ්පාදන, පිඟන් භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ, ඇඳ ඇතිරිලි වැනි), රබර් ටයර්, වායු සමීකරණ යන්ත‍්‍ර, පලතුරු (නැවුම් ඇපල්, මිදි, දොඩම් සහ වියළි පලතුරු, පලතුරු යුෂ වැනි), සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය (සුවඳ විලවුන්, වේශ නිරූපණ උපාංග වැනි), පාන වර්ග (බියර්, වයින්, බෝතල් කළ ජලය සහ වෙනත් බීම වැනි), වෙනත් ආහාර සහ පාන වර්ග (ධානය සැකසීම, පිෂ්ඨය, චොකලට්, මෝල්ට්, කටු ගැලවූ මාළු, චීස්, බටර් වැනි) වෙනත් ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ (සංගීත භාණ්ඩ, දුම්කාළ නිෂ්පාදන, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය වැනි) යන ඒවාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment