● උසස් පෙළට සිංහල -2

594

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් අද සිට දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වන්නෙකි. ඊට අමතරව ඔහු කවියෙක්, විචාරකයෙක් ලෙසද කටයුතු කරන්නෙකි.

මිනිස් වටය – එරික් ඉලයප්ආරච්චි

● මිනිස් වටය කෙටි කතාවේ හරය

මිනිස් වටය කෙටි කතාවේ එන සමාජය ධීවර සමාජයක් වුව ද සතයා එම ධීවර සමාජයෙන් පිටස්තරයෙකි- ධීවරයකු නො වන සතයා මඟින් දිග හැරෙනුයේ සමාජය විසින් අමතක කර දැමූ මිනිසකු ගේ කතාවකි- සතයා එම සමාජයේ පිළිගැනීමට ලක් නො වන්නේ ඇයි? සතයාගේ චරිතය වෙළා ගෙන පවතින්නේ සිල්ලර බවකි- අරුන්දතී රෝයි ගේ The God of Small Things කෘතිය කියැවීමෙන් එරික් ඉලයප්ආරච්චි ලද අවබෝධය මිනිස් වටය කෙටි කතාවේ හරය හා සසඳා බැලීම වැදගත් වේ-

අන්තර්ගතය

මිනිස් වටය කෙටි කතාවේ අන්තර්ගතය විමසන විට ඔබට හෙළි කළ යුතු වැදගත් ම කරුණ වනුයේ මේ කතාව සැබෑ අත්දැකීමක් වටා ගෙතී ඇති බව යි- බෝලවලාන ගුරු විදුහලේ ඉංග්‍රීසි කථිකාචාර්යවරයකු කියූ සැබෑ කතාවක් පදනම් කර ගෙන මේ කෙටි කතාව නිර්මාණය කර ඇත- කතාව ඇතුළට කැවී ඇති ඒ සැබැවි පුවත නිසාවෙන් මේ කෙටි කතාව වඩාත් සමාජයට සමීප වූ සෙයකි දිස් වනුයේ-

කතා ප්‍රවෘත්තිය

මේ කතාව නිර්මාණය කර ඇත්තේ සතයා ඉතාලි යාම පිළිබඳ පුවත ඇසුරිනි. සමාජය විසින් නො තකා හරින ලද චරිතයක් නො ලද ප්‍රේමය මැද නීති විරෝධී සංක්‍රමණිකයකු ලෙස ඉතාලියට යන අදහසින් මීගමුවේ ධීවර තොටුපළකින් පිටත් ව යාම මෙහි කතා ප්‍රවෘත්තිය යි.

රචනා උපක්‍රම ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය

සතයාගේ චරිතය ප්‍රධාන චරිතය කර ගනිමින් ඔහු ගේ දෘෂ්ටිකෝණයෙන් කතාව විවරණය කෙරේ-

ශෛලිය

මිනිස් වටය කෙටි කතාව නිර්මාණය කරනුයේ යථාර්ථවාදී ශෛලිය අනුව යි- සැබෑ ලෝකයේ සිදු වන ආකාරයෙන් ම කතාව දිග හරිමින් සැබැවි අත්දැකීමක් පාදක කර ගෙන තිබේ- ඔරු නිර්මාණය කිරීමේ දී සතය තබා ඇණ ගැසීම කතුවරයා ලද සැබෑ අත්දැකීමකි- කෙටිකතාකරුවාට හුරු පුරුදු අත්දැකීම් යොදා

ගැනීමෙන් යථාර්ථවාදී ශෛලිය වඩාත් සාර්ථක ව යොදා ගැනීමට ඔහු සමත් වේ-

පරිසරය රූපකයක් කර ගැනීම

ලංකාවේ බටහිර වෙරළේ මැද පරිසරය වැනුමට ලක් කරන කෙටි කතාකරුවා ඒ ඇසුරෙන් මිනිස් ජීවිතය විවරණය කරයි-

සංකේත

මිනිස් වටය කෙටි කතාවේ එන සාගරය මිනිස් ජීවිතය දක්වන සංකේතයකි- ඒ සයුර තරණය කිරීමට අදිටන් කිරීම ජීවිතය ජය ගැනීමට දරන තැතක් බඳු ය- බෝට්ටුව අහිමි වූ ප්‍රේමය දක්වන තවත් සංකේතයකි- සමාජ පරිසරය තහවුරු කිරීමට සංකේත භාවිත කිරීම මේ කතාවේ දැකිය හැකි ලක්‍ෂණයකි- සතයා යන නම ද සමාජය විසින් නො සලකා හරින ලද දුප්පතුන් දක්වන සංකේතයකි-

විස්තර සහ දෙබස්

මිනිස් වටය කෙටි කතාවේ කූට ප්‍රාප්තිය (climax) සිදු කරන්නේ දෙබස් මඟිනි- යථාර්ථවාදී විස්තර කථනයක් (Realistic Description) දැකිය හැකිය-

කතා වින්‍යාසය

චරිත ස්වභාවය මුල් කර ගත් කතා වින්‍යාසයෙහි ක්‍රියාකාරීත්වය සහ චිත්ත ස්වභාවයට වැදගත් තැනක් හිමි කර දී තිබේ- ඇරිස්ටෝටල් ගේ නාට්‍ය කලාවේ සන්දර්භය පිළිබඳ ව කළ විශ්ලේෂණය අනුව මේ කෙටි කතාවේ වින්‍යාසය විමසුවහොත් ජීවිතය පැහැදිලි කිරීමෙන් අනාවරණය (Exposition) මුල් ඡේදයෙන් දැකිය හැකිය- නො ලද පෙම සංකීර්ණත්වය ලෙස ගත හැකිය- සතයාට ඇඳුම් අන්දවන අවස්ථාව කූටප්‍රාප්තිය (climax) වන අතර ගමන පිටත් වීම නිරාකරණය (Resolution) වන අවස්ථාව යි-

චරිත

සතයා ගේ මානසික තත්ත්වය සංකීර්ණ ය- සතයා ගේ චරිතය සංකීර්ණ චරිතයකි- චරිත නිරූපණයේ දී කූටප්‍රාප්ති අවස්ථාවේ බහු ආත්ම දෘෂ්ටිකෝණය නාට්‍යමය ආකාරයෙන් දිග හැරේ-

● උසස් පෙළට සිංහල -2

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment