● පෙරඹර – රටේ අනාගතය, බුද්ධිගලනය,  ප්‍රතිපත්ති හා අරගලය

411

ශ්‍රී ලංකාවේ ජනතාව සාක්ෂරතාවය අතින් ඉහළ වන අතර නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෝකයට ආදර්ශයක් ලෙස පෙන්වූ රටකි. ඒ හරහා උගත් තරුණ පරපුරක් රටට දායාද කිරීමට හැකියාව ලැබී ඇත. අද වන විට රටේ ඇති වී තිබෙන අරගලයේ ප්‍රධාන භූමිකාවක් මෙම තරුණ පරම්පරාව විසින් අතට ගෙන ඇති අතර එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ තමන්ගේ තාරුණ්‍යය හා තම අනාගතය පාලකයින් විසින් අත්තනෝමතික ලෙස විනාශයට ලක් කර ඇති බව, තමන්ගේ රට පාලකයින් විසින් අගාධයට ඇද දමා ඇති බව සාක්ෂි සහිතව දැකිය හැකි වීමයි. මෙහිදී රටේ සියලුම වැඩිහිටියන්ට මෙම තරුණයින්ගේ සාමකාමී අරගලය ජයග්‍රහණයකින් අවසන් කරවීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලබා දීමත් ඔවුන් ආරක්ෂා කර ගනිමින් එම ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කිරීමත් අත්‍යවශ්‍යව ඇත. එසේ නොවුණහොත් අවසානයේදී මේ රට භාර ගැනීමට උගත් තාරුණ්‍යයක් රටට අහිමි වනු ඇත.

 රටේ අනාගතය භාර ගැනීමට සිටි උගත් විශ්ව විද්‍යාල පරපුරක් 88 – 89 භීෂණ යුගයේදී රටට අහිමි වීම නිසා දශක ගණනාවක් අපව පාලනය කළේ කිසිඳු දර්ශනයක් නොමැති රටට සෙතක් නොකරන දේශපාලනඥයින් කිහිපදෙනෙක්ය. එහි ප්‍රතිඵලයක් ලෙස අද අපට දූෂිතයන්ගේ පාලනයෙන් සැදුම් ලත් රටක් හා පාර්ලිමේන්තුවක් හිමි වී ඇත. 88 – 89 භීෂණ යුගයේ දිගුවක් ලෙස දශක තුනකට පසු නැවතත් රටට ආදරය කරන බුද්ධිමත්, දර්ශනයක් කළමනාකරණය කර ගත හැකි තරුණ මෙන්ම උගත් දේශහිතෛශීන් රට හැරදා යමින් ඉදිරි දශක කිහිපයකට ද රටට සැබෑ නායකත්වයක් කළමනාකරණය කර ගත හැකි පුද්ගලයින් අහිමි වන යුගයක් ආරම්භ වී ඇත.

 රටක් ප්‍රතිපත්තිගරුක ලෙස සංවර්ධනය වීමට නම් දර්ශනයක් කළමනාකරණය කළ හැකි බුද්ධිමත් නායකයින් සහ දේශහිතෛශි වැඩපිළිවෙළක් කළමනාකරණය කළ හැකි නායකත්වයක් රටකට අවශ්‍යයි. රටට ආදරය කරන බුද්ධිමතුන්ගේ නායකත්වයක් අහිමි වුවහොත් රටක සංවර්ධනය අඩාලවනවා පමණක් නොව, භූ දේශපාලන වටපිටාව තුළ විදේශ බලපෑම්වලටම නතු වී රට අධිරාජ්‍යවාදයට නැවතත් යටත් විය හැක.

 භූ දේශපාලන වටපිටාව තුළ බලවත් රටවල් උගත් මානව සම්පතින් පිරුණු හෝ තාක්ෂණයෙන් දියුණු හෝ ස්වභාවික සම්පතින් පරිපූර්ණ රටවල් නතු කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් ස්ථාපිත කිරීම ඉතිහාසය පුරා අප දැක ඇත. ස්වභාවික සම්පත්වලින් ඉතාමත් පරිපූර්ණ විද්වත් මානව සම්පතක් සහිත ශ්‍රී ලංකාව ඉතිහාසයේදී ගිවිසුම් මඟින් බලවත් රටවල් අත්පත් කරගෙන ඇත. වර්තමාන භූ දේශපාලන සංදර්භය තුළ ගිවිසුම් මඟින්, සිවිල් කෝලාහල ඇති කිරීම මඟින් හෝ රටක් හමුදා පාලනයට නතු කිරීම තුළින් බලවත් රටවල් සම්පත් බහුල අනෙකුත් රටවල් තම ග්‍රහණයට නතු කර ගැනීමේ නිදසුන් මෑත අතීතයේ අප හොඳින් දැක ඇත.

 අද වන විට ශ්‍රී ලංකාව භූ දේශපාලන වටපිටාව තුළ උද්ගත වූ දේශපාලනික අස්ථාවරත්වය සහ ඒ සඳහා වටපිටාව සකසන අසමත් දේශපාලන නායකත්වයක් නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. සමාජ කැලඹීමක් දක්වා

 ගොඩනැගුණු මෙම අස්ථාවරත්වය, නූතන තාක්ෂණය සමඟ පැමිණි සමාජ මාධ්‍ය වටපිටාව තුළ බුද්ධියෙන් තීරණ ගන්නවා වෙනුවට හැඟිම් මත ජනතාවගේ තීරණ හැසිරවීමට හැකි වටපිටාවක් ගොඩනැඟී ඇත.

 මෙම වටපිටාව තුළ උද්ගතව ඇති අවාසනාවන්ත කාරණය වනුයේ රටට ආදරය කරන බුද්ධිමත්, දර්ශනයක් කළමනාකරණය කර ගත හැකි, රටක අනාගත නායකත්වයට අත්‍යවශ්‍ය දාර්ශනිකයන් විවිධ අපහාස අවලාද මධ්‍යයේ කලකිරී රට හැරදා යෑමයි. එහිදී මෑත අතීතය තුළ රට ප්‍රතිපත්තිගරුක රටක් ලෙස නඟා සිටුවීමට සටන් කළ, රටේ ජනතාව නිරෝගී කිරීමේ අදිටනින් සංකල්ප නිර්මාණය කළ, නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය සුරැකීමට දාර්ශනික නායකත්වය ලබා දුන් නායකයන් පවා රට අතහැර දා යමින් සිටියි.

 මෙහිදී වර්තමාන පාලකයන් සහ දේශපාලනඥයන් ඉතාමත් සූක්ෂම ලෙස රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව, ප්‍රතිපත්තිගරුක රටක් සෑදීමට මෙන්ම යම් දර්ශනයක් කළමනාකරණය කිරීමට දායකත්වය ලබා දුන් බුද්ධිමතුන් සහ එම දාර්ශනික යහපත් සංකල්ප නූතන මාධ්‍ය භාවිතය හරහා ජනතාවගේ අපහාසයට හා විහිළුවට පත් කර ඇත. එහි අවසන් ප්‍රතිඵලය ලෙස අපට සිදු වනුයේ භූ දේශපාලනය තුළ බලවත් රටවල්වලට අවශ්‍ය ලෙසම රටේ අනාගතය වෙනුවෙන් වැඩපිළිවෙළක් දර්ශනයක් කළමනාකරණය කළ හැකි බුද්ධිමත් දේශප්‍රේමි නායකත්වයන් අහිමි වීමයි. එමගින් ස්වභාවික සම්පතින් පරිපූර්ණ, බුද්ධිමත් මානව සම්පතක් සහිත ශ්‍රී ලංකාව ගිවිසුමක් මඟින් හෝ වෙනත් ආකාරයකින් නැවතත් අධිරාජ්‍යවාදයට කෙදිනක හෝ යටත් වීමේ බරපතල අර්බුදයකට මුහුණ පාමින් සිටියි. මෙම අර්බුදයෙන් මිදීමට නම් කළ යුත්තේ රටට හිතවාදී ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කළ හැකි රටට ආදරය කරන දාර්ශනික නායකත්වයන් රට තුළ රඳවා ගනිමින් ආරක්ෂා කිරීම සහ ඔවුන් හට රටේ අනාගතය භාර කිරීමයි.

 තාරුණ්‍යයේ අරගලය ප්‍රතිපත්ති තුළින් දිනවමු.

 අරගලයට ජය.

● පෙරඹර - රටේ අනාගතය, බුද්ධිගලනය,  ප්‍රතිපත්ති හා අරගලය

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
 සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment