● ලොවම කම්පා කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 35යි  – සොහොන් බිමේ ඉදිවුණ එකම පුද බිම

381

● හිමිවරුන් 30 වැඩ සිටියත් දානෙත් නැහැ
 

 කුල දරුවන් 300කට අධික පිරිසක් සසුන් ගත කරමින් ගම් නියම්ගම් පුරා ධර්මය ප්‍රචාර කරමින් දිගාමඩුලු ශාසනික දියුණුවේ නායකත්ව ගෙන හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දශක කිහිපයක් පුරා නොනිමි මෙහවරක් සිදු කරමින් ගම් නියම් ගම් පුරා ධර්මය ප්‍රචාරය කරන්නට විය.

● ලොවම කම්පා කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 35යි  - සොහොන් බිමේ ඉදිවුණ එකම පුද බිම

එලෙස මහඟු මෙහෙයක් කළ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් වෙනදා මෙන් සිදු කරන වාර්ෂික ධර්ම චාරිකාවද 1987 ජුනි 02 වැනිදා සිදු කිරිමට යොදා ගෙන තිබුණි. මෙලස අම්පාරෙන් පිටත්ව මහනුවරට ගොස් දළදා සමිඳු ද වැඳ පුදාගෙන කැලණියට ගොස් එකල තිබූ කතරගම ගම්උදාවට පිණ්ඩපාතයෙහි වැඩම කරමින් ධර්මය ප්‍රචාර කරමින් පා ගමනින් කතරගම දක්වා වැඩම කිරීම උන් වහන්සේගේ අභිපාය වූහ. මෙම නායක හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ එවකට අධ්‍යාපනය හදාරමින් සිටි කිරිඳිවල සෝමරතන හිමියන් කැලණියට පැමිණිමට නියමිතව සිටි මෙම සඟරුවනට ඇවසි දේ ඒ වන විටත් සූදානම් කර තිබුණි. මෙම ගමන පිළිබඳව නායක හිමියන් ගමනට සහභාගි වීමට කැමැත්තෙන් සිටි අනෙකුත් කුඩා සාමනේර හිමිවරු ඇතුළු සඟරුවන ද දැනුවත් කරන ලදි.

● ලොවම කම්පා කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 35යි  - සොහොන් බිමේ ඉදිවුණ එකම පුද බිම

 පසුදාට රැය පහන් වන තුරු නම් මෙම කුඩා සාමනේර හිමිවරුන් නින්දත් නොනින්දත් අතර ගත කරන ලදි. පාන්දර 3. 00 පමණ වන විට සියල්ලෝම පිබිද ගමනට සූදානම් වන්නට වූහ. හිමිදිරි උදෑසනම ගමන පිටත්ව යෑමට සිටි නිසාවෙන් මහියංගණයේදි හීල් දානය වැළඳීමට ලහි ලහියේ අවශ්‍ය ආහාර පාන ද සකසා ගන්නා ලදි. ඒ වන විටත් අම්පාර ලංගම ඩිපෝවේ 60 ශ්‍රී 3599 දරන තනි දොර කුඩා බස් රිය මහවාපි විහාරය ඉදිරිපිට නවතා තබා තිබුණි. රියදුරු අසුනේ සිටි සමරපාල මහතා සහ කොන්දොස්තර ජිනදාසත්, වසන්ත ජයවර්ධන තරුණ මහතා සහ කුඩා භික්ෂුවකුගේ පියෙකු වූ දේවාලහිඳ පදිංචි රත්නායක මහතා සමගින් ගිහියන් 04 දෙනකු සහ සාමනේර හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 40 කට අධික පිරිසක් එම බස් රියට ගොඩ වූහ. පිරිත් හඬ මැද බස් රථය අම්පාරෙන් පිටත්ව යද්දි ඔරලෝසුවේ වේලාව උදෑසන 6.00 සනිටුහන් වී තිබුණි.

● ලොවම කම්පා කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 35යි  - සොහොන් බිමේ ඉදිවුණ එකම පුද බිම


මෙම බස් රථය තනි දොර කුඩා බස් රථයක් බැවින් ඇතැම් ආසනවල කුඩා හිමිවරුන් තිදෙනෙකු අසුන් ගෙන සිටින ලදි. ඇතැම් හිමිවරුන් සිටගෙන සිටින්නට වූහ. රියදුරු සමරපාල මහතා උහන මාර්ගය ඔස්සේ මහනුවර දළදා මාළිගයට ගොස් කැලණියට යෑම සඳහා තමනට කවදත් සුපුරුදු සුක්කානම කරකවන්නට වූවේය.

 පිම්මේ ඉදිරියට ඇදෙන මෙම බස් රිය උහන නගරය පසු කරත්ම බස් රථය තුළ සිටි අය තුළ යම් තැතිගැන්මක් ඇතිවන්නට වූහ. නුවරගලතැන්න ගම්මානයට සහ අම්පාර මහඔය මාර්ගය දෙපස සිටි ජනතාවට විටින් විට රුදුරු කොටින්ගේ ප්‍රහාරයන් එල්ල වීම නිසාය. නමුත් ජනයාගේ වන්දනා මානයට සහ ගෞරවයට පත්වන මහා සඟරුවනට කොටියන් කිසිවිටකත් කිසිදු කරදරයක් නොකෙරෙනු ඇතැයි ඔවුනට සිතෙන්නට ඇත. මංගලගම යුද හමුදා කඳවුර ද පසු කරමින් පිම්මේ ඇදෙන බස් රිය දැන් දැන් ලංව සිටින්නේ අරන්තලාව 28 කණුව ආසන්නයට ය.

 එක් වරම යුද හමුදා ඇඳුමෙන් සැරසුනු අයෙක් මහ මාර්ගය මැදට පැන බස් රිය නවතන ලෙසට සංඥා කරන්නට වූවේය. හමුදාවෙන් යැයි සිතු කිසිවෙකුත් වැඩි කලබලයට පත් නොවුණි. ගතවූයේ තප්පර කිහිපයකි. බස් රථයට ගොඩවූ ඔහු ගිනි අවිය රියදුරු සරණපාල දෙසට අමෝරා බස් රිය මාර්ගයෙන් ඉවතට ගෙන වනය තුළට ගන්නට අණ කරන ලදි. “හාමුදුරුවෝ ටික වන්දනා ගමනක් වඩින්නේ කරදර කරන්න එපා” රියදුරු සමරපාල ගිනි අවිය අමෝරා ගත් ත්‍රස්තවාදියා හට පැවසුවේය.

 මෙලෙස බස් රථය නතර කරන්නට වූයේ යුද හමුදාවෙන් නොවන බවටත් නිසැකවම මහ වනයේ සැඟව මෙම ප්‍රදේශයේ අපරාධයන් සිදු කරනු ලබන ලේ පිපාසිත කුරිරු ත්‍රස්තයින් බව බස් රථය තුළ සිටි කාහටත් පසක් වන ලදි. හෑගොඩ ඉන්ද්‍රසාර නායක හිමියන් බස් රථයේ ඉදිරිපස අසුනේ වාඩිවී සිදුවන්නේ කුමක්දැයි විමතියෙන් බලා සිටින්නට වූහ. බස් රථයේ සිටි කුඩා සාමනේර හිමිවරුන් උගුලකට හසු වූ මුව පොව්වන් සේ ගැහෙන්නට වූහ. දැන් ටිකෙන් ටික බස් රථය මාර්ගයෙන් හැරී තේක්ක කැලය දෙසට ධාවනය වන්නට විය. ඒ සමගම ගොදුරකට පනිනා වෘකයන් රැලක්සේ තවත් කොටි සහචරයන් රැසක් බස් රිය වටකරන්නට වූහ.

 සෙමින් සෙමින් බස් රිය සැතැපුම් කාලක් පමණ කැලෑව දෙසට යන්නට විය. බස් එක නවතන්නට අණ ලැබුණි. එහි සිටි කොටියා ඉන් බැස යන ලදි. “අපිව බේර ගන්න, අනේ අපිව මරන්න එපා” බස් රථය තුළින් මහා හඬක් නැගුණි. දැන් මුළු බස් රිය තුළින්ම නැගෙන්නේ මහා අඳෝනාවකි. අවි දරා මෙලෙස බස් රිය වට කොට තිබියදි කෙසේ නම් බස් රථය තුළ සැනසීමෙන් සිටින්නද? තවත් මොහොතක් ගත විණි. බස් රථයට යළිත් ගොඩවූ ත්‍රස්තයෙක් ‘මනි, වොච්’ යැයි පවසමින් බස් රථය තුළ සිටි හිමිවරුන්ගෙන් සහ

 ගිහියන්ගෙන් මුදල් සහ ඔරලෝසු එකතු කරලන්නට වූ ත්‍රස්තයා බසයෙන් බැස යන ලදි. ඒ සමගම මහ මගට පැන බස් රිය නැවතූ ත්‍රස්තයා නැවතත් බස් රියට ගොඩවන්නට විය.

 දැන් සියලුම දෙනා බියෙන් භීතියට පත්වී ඇත. එක්වරම රියදුරු අසුනේ සිටි සමරපාල වෙත සිත් පිත් නැති ගිනි අවිය මෙම නරුමයා මානන්නට වූවේය. “අනේ මාව මරන්න එපා. මම ළමයි 06 දෙනකුගේ තාත්තා කෙනෙක්” යැයි රියදුරු සමරපාලට කියා නිම කරන්නට නොහැකි වූවේය. එක් වරම තේක්ක වන පෙතම දෙවනත් කරමින් එක පිට එක නිකුත් වූ වෙඩි පහරින් රියදුරු සමරපාලගේ සිරුර පසාරු වී රතුවන් රුධිරයෙන් තෙත්වී බස් රථයේ කළුවන් පැහැති රළු යකඩ රත් පැහැයට හැරෙද්දි ප්‍රාණය නිරුද්ධ ඔහුගේ සිරුර සූක්කානම මතටම වැටිණි.

 ඒ සමගම බස් රථයට ගොඩ වූවේ මිටි මහත භයංකර පෙනුමැති ත්‍රස්තවාදියෙකි. බස් රියෙහි විළාප තබමින් සිටි පිරිසට දැනෙන්නට වූවේ ආලවක යක්ෂයා බස් රියට ගොඩවුණ සෙයකි. දැන් බස් රියෙන් නැගෙන්නේ එකම මර ළතෝනියකි. බියට පත්වූවෝ මහ හඬින් විළාප තබති. තවත් පිරිසක් මරන්නට එපා යැයි කෑගසති. “අනේ අපිව බේරා ගන්න කවුරුවත් නැද්දෝ” යනුවෙන් තවත් පිරිසක් මොර දෙති.

 “ඕන නම් මාව මරා දමපල්ලා හැබැයි මගේ දරුවෝ ටික මරා දමන්න එපා” නායක හිමියෝ පවසත්ම නායක සමිඳුන්ගේ හිසට එල්ලවූවේ මාරක කඩු පහරකි. තවත් ජීවත් වන්නට වරම් තිබුණ නිසාදෝ එම කඩු පහර බස් රියෙහි වහලෙහි මහත් හඬක් නංවමින් වැදිණි. ඉන් නොනැවතිනු මෘගයා නැවතත් තිරිසනෙක්සේ බුදු සසුනේ චිරස්ථිතියට මහඟු මෙහෙයක් සිදු කළ කුරා කූඹියකුට පවා හානියක් සිදු නොකරන මෙම නායක සඟරුවනට තවත් මාරක කඩු පහරක් එල්ල කරන්නට විය. එම කඩු පහරින් නායක හිමියන්ගේ සිරුරෙන් ලේ විසි වෙද්දි කන සහ බෙල්ල ප්‍රදේශයෙන් සිරුරෙන් වෙන් වන්නට විය.

 ඉන්ද නොනැවතුණු මෙම යක්ෂයෝ වන සතුන්ටත් අන්ත තිරිසනුන්සේ නායක සමිඳුගේ සිරුර කෙසෙල් කඳක් කපා දමන්නාසේ පෙත්තෙන් පෙත්ත කපා දමන්නට වූහ. එක ත්‍රස්තයෙක් එලෙස නායක හිමියන් කපා කොටද්දි තවත් අයකු ටී 56 වර්ගයේ ගිනි අවියක් අමෝරා එක පිට එක පිට වෙඩි තබමින් නායක හිමියන්ගේ සිරුරට දිගින් දිගටම වෙඩි තබන්නට වූවේය. මෙලෙස නායක සමිඳුන්ට වේදනාකාරී මරණයක් හිමි වෙද්දි අනෙක් හිමිවරුන් අසරණ මුව පොව්වන් සේ බියෙන් බියට පත්වී විළාප තබමින් බලා සිටින්නට වූහ. ඇතැම් හිමිවරුන් බස් රථයෙන් පවා හිස එළියට දමා උදව් ඉල්ලා නිහඬ වන අරණ සසල වන සේ කෑ මොර දෙන්නට වූහ.

 “මට කරන්න දෙයක් තිබුණේ නැහැ. බස් රථයෙන් ඇහෙන්නේ එකම මර ළතෝනියයි. මට ඒ මොහොතේ මගේ අම්මා තාත්තා මතක් වුණා. මම මගේ ඔළුව ඔඩොක්කුවේ ගසා ගත්තා. කෙසෙල් කඳන් කපනවා වගේ හාමුදුරුවන් කපා දමන අයුරුත් චිරිස් ගාලා ලේ විසි වන අයුරුත් ඇසුනා. ඒ එක්කම භික්ෂුන් වහන්සේලා වේදනාවෙන් කෙඳිරි ගාන ශබ්දයත් ඇසුනා. එළියේ සිටි කොටින් එක දිගට බස් රථය වටේටම වෙඩි තියන්නට වුණා. මෙලෙස සිරුරේ පෙත්තෙන් පෙත්ත කැපී රක්ත වර්ණ ලේ දහරාවන් සිරුරෙන් ගලා යද්දි එය දරා ගැනීමට නොහැකිව භික්ෂුන් වහන්සේලා කෙඳිරි ගාන ආකාරය වේදනාවෙන් කෑ මොර දෙන ආකාරය මට දරා ගැනීමට නොහැකි වුණා. මගේ කකුලට වෙඩි 03ක් වැදුනා. මම දැඩි කම්පනයට පත් වුණා යැයි අද ද එම ප්‍රහාරය නිසා ගිලන්ව සිටින හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් එදා සිදු වූ එම බිහිසුණු සිදුවීම පවසන්නට වූහ.

 ඒ වන විටත් මෙම සිත්පිත් නැති අමන තිරිසනුන්ගේ අහස පොළව නුහූලන මහා අපරාධයට ගොදුරුව හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළුව හිමිවරුන් 31 නමක් සහ බස් රියෙහි රියදුරු සමරපාල, කොන්දොස්තර ජිනදාසත්, වසන්ත ජයවර්ධන යන මහත්වරුන් සමගින් 34 දෙනකුගේ පණ නළ වා තළයට එක් කරලීමට මෙම කොටි රකුසන් සමත් වී තිබුණි.

 තම නායක හිමියන් සහ අනෙකුත් භික්ෂුන් වහන්සේලා කපා කොටා ඝාතනය කරමින් සිටිද්දි දම්බරාවේ සෝනුත්තර හිමියන් සිය හිස පාත්තරයට දමා ගන්නා ලදි. එය දුටු ත්‍රස්තයින් පාත්තරයට වෙඩි තබා තිබුණද එම වෙඩි උණ්ඩ පාත්තරය ද සිදුරු කර සෝනුත්තර හිමියන්ගේ හිස කෙස් පුච්චා දමා ගියද උන් වහන්සේට දිවි ගලවා ගන්නට හැකි විණි. මේ අයුරින් මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්, ආඳාඋල්පත බුද්ධසාර හිමි, හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන්ද අදට ද ප්‍රතිකාර ලබා ගනිමින් සිටිති. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ආඳාඋල්පත බුද්ධසාර හිමි සදාකාලිකවම ආබාධයට ලක්වී බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසනු ලබයි. පුඤ්ඤසාර හිමියන්ද මේවන විට අම්පාර සාම විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරනු ලබයි.

 දිවි ගලවා ගත් හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියන් මෙලෙස පවසා සිටියහ.

 “මම මේ වන විට අසනීපයෙන් පසුවන නිසා අම්පාර මහාවාපි මහා විහාරයේ වැඩ වාසය කරනවා. මට එදා වෙඩි තුනක් වැදුනා. ඒ නිසා අදටත් මා ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ වෙනුවෙන් මට රජයෙන්වත් මේ වෙනකම් කිසිම සහයක් ලැබලා නැහැ. එදා සිට මේ දක්වා සෝමරතන නායක හිමියන් මාගේ අඩුපාඩු සොයා බලා ප්‍රතිකාර කිරීමට උදව් උපකාර කරනවා. ඒ  වාගේම දෙමටැල්ලේ දයාසාර හිමියන්, ගම්පහ නාරද හිමියන් ඇතුළු හිමිවරුන් මා හට උදව් උපකාර කරනවා. එම ප්‍රහාරයෙන් එදා හිමිවරුන් දස දෙනෙක් බේරුණා. ඒ අතරින් ගොඩක් අය උපැවිදි වෙලා රට බේරා ගන්න යුද්ධයට ගියා. එදා තුවාල ලබා සිටි පණ්ඩිත වලල්ලාවිට විමලඥාන හිමි 2017 වසරේදී අපවත් වුණා. අදටත් ඒ බිහිසුණු සිදුවීම මාව කම්පනයට පත් කරවනවා යනුවෙන් පවසා සිටියේය.

 නැගෙනහිර ජාතික උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ගම්පහ නාරද හිමියන් මෙලස පවසා සිටින්නට වූහ.

 එදා මෙම සාහසික අපරාධය වුණ සොහොන් බිම අද අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙසින් ලොවටම ධර්මය බෙදන ධර්ම මධ්‍යස්ථානයක් බවටත් සාමනේර භික්ෂුන් වහන්සේලා සිප් සතර හදාරන පිරිවෙන් භූමියක් බවටත් පත් කරන්නට අපේ නායක හිමියන් වන සෝමරතන නාහිමියන්ට මහත් දුෂ්කරතා මැද හැකිව තිබෙනවා. අද මෙම පුද බිමේ හිමිවරුන් 30 දෙනෙකු වැඩ සිටියත් ඔවුනට කිසිම දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැඩි අපහසුවෙන් දාන වේල විහාරස්ථානය තුළම සකසා ගන්නට සිදුව තිබෙනවා. ඒ සමගම මෙම පුදබිමේ ඉදිකරමින් තිබෙන භික්ෂු නේවාසිකාගාරයේ වැඩ අතරමග නතර වෙලා. මෙම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සහ දිගාමඩුල්ලේ වැඩ වාසය කරන වයෝවෘද්ධ හිමිවරුන්ගේ පහසුව වෙනුවෙන් වැඩවාසය කිරීම සඳහා පසුගිය ආණ්ඩුව සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල් මගින් ආරම්භ කර මෙම පුද බිමේ වැඩ කටයුතු ඉදි කරන්නට පටන් ගත් භික්ෂූ ගිලන් හලේද අද වැඩ කටයුතු නැවතිලා. අපහසුවෙන් තමයි අපේ නායක හිමියන් මෙම පුදබිම රැකගැනීමට කටයුතු කරන්නේ. එම නිසා සුසාන භූමියේ ඉදිවුණ ලංකාවේ එකම පුදබිම පවත්වාගෙන යෑමට සහ දියුණු කිරීමට ඔබගේ සහය අවශ්‍ය වෙලා තියෙනවා. පවතින වත්මන් තත්ත්වය නිසා අපහසුතාවට පත්ව තිබෙන මොහොතක යම් තරමින් හෝ සහයක් දෙන්නට හැකි නම් 071 8333322 යන දුරකථන අංකයෙන් අපගේ සෝමරතන නායක හිමියන් ඇමතිය හැකියි යනුවෙන් පූජ්‍ය ගම්පහ නාරද හිමියෝ පවසා සිටියහ.

 හෑගොඩ නාහිමිගෙන් පසුව දිගාමඩුල්ලේ බොදු උරුමය වෙනුවෙන් මහත් මෙහෙයක් ඉටු කරනු ලබන උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක පූජ්‍ය කිරිදිවෙල සෝමරතන නාහිමියන් මෙසේ අදහස් දැක්වූහ.

 02 වැනිදා උදෑසන හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දක්වනවා. ඒ වාගේම මෙම වැඩසටහනට සමගාමීව කුල දරුවන් සසුන් ගත කිරීම, පිරිත් දේශනා, සංඝගත දක්ෂිණාවන් ඇතුළු වැඩ සටහන් රැසක් අරන්තලා පුදබිමේදි පවත්වනු ලබනවා. ලංකාවේ භික්ෂූන් වහන්සේලාට සිදුවන දැවැන්තම හානිය පිළිබඳව මතු පරම්පරාව දැන ගත යුතුයි.

 රණවිරුවන් දිවි පූජා කර ආරක්ෂා කළ භූමිය ඉදිරියටත් ආරක්ෂා කර ගත යුතුයි. ඒ වාගේම කොටින් විසින් ඝාතනයට ලක්වුණ ලංකාවේ සියලු හිමිවරුන් සහ ජනතාව දිනපතාම දිවා රාත්‍රි සිහි කරමින් පිං පෙත් අනුමෝදනා කරමින් මෙම පුද බිමේ වැඩ කටයුතු සිදු කරගෙන යනු ලබනවා.

 ඒ වාගේම මෙම පුද බිමේ පිරිවෙන් මධ්‍යස්ථානය තුළින් උගත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් රටට දායාද කිරීමේ අරමුණින් අපි මෙම පුද බිම පවත්වාගෙන යනවා. මෙම පුද බිමේ ධර්ම ශාලා භාවනා මධ්‍යස්ථාන, පිරිවෙන් ගොඩනැගිලි, චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඇතුළු බොහෝ ඉදි කිරීම් කළ යුතුව තිබෙනවා. වසර 03 සිට රටේ පවතින තත්ත්වය නිසා බැතිමතුන් පැමිණෙන්නේ නැති නිසා ඉතා අපහසුවෙන් තමයි මෙම පුද බිම පවත්වාගෙන යන්නේ. උදේ දවල් දානය තනිවම සකසා ගන්නට මෙම හිමිවරුන්ට සිදුව තිබෙනවා යයි සෝමරතන නාහිමියන් ‘දිවයින’ට අදහස් දක්වමින් පැවසූහ.

 ● සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment