116 වැනි උපන් දින සමරුව යෙදෙන ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන

134

දැනට වසර 44 කට පෙර මෙරට බිහිවූ විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූයේ එවකට අගමැති ධුරය හෙබවූ එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාය. නිදහසින් පසු මෙරට නව දේශපාලනික, ආර්ථික, සමාජීය අධ්‍යාපනික දිශානතියකට යොමු කිරීම තම ඒකායන පරමාර්ථය වශයෙන් ගෙන සිය රාජ්‍ය පාලනය ඉදිරියට ගෙන ගිය මෙතුමා ජන්ම ලාභය ලැබ වසර 116 ක් මෙම සැප්තැම්බර් 17 වැනි දිනට සම්පූර්ණ වේ.

කොළඔ අධිකරණයේ සේවය කළ නීතිඥයන් අතර ඉතා දක්ෂයකුවූ ජේම්ස් ඇල්ප්‍රඩ් ජයවර්ධන මහතා ජීවත්ව සිටියේ ඉතා කෙටි කාලයකි. වසර 44ක් සපිරෙද්දී ඔහු මියගියේ දරුවන් හය දෙනකුගේ පියෙකු වශයෙනි. දරුවන් හය දෙනාගෙන් පස් දෙනකුම පියා මෙන් නීතිඥ වෘත්තියට පිවිසියේ කීර්තිමත් නීතිඥ පවුලක සමාජිකයන් ලෙසිනි.

මෙම දරුවන් සය දෙනා අතරින් දෙවැන්නා වූයේ නීතිඥයකු වශයෙන් සේවය කර පසුව විනිසුරුවරයකු වූ ඉයුජින් විල්ප්‍රඩ් ජයවර්ධන හෙවත් ඊ. ඩබ්ලිව්. ජයවර්ධන මහතාය. කළුතරදී උපන් මෙතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙන පසුව නීතිඥයකු වී විවාහ දිවියට පත්වූයේ එකළ අප රටේ විසූ ධනවතෙකු හා දෑහිතකාමියකු වූ කොළඹ සේදවත්තේ වලව්වේ විසූ දොන් පිලිප් විජේවර්ධන මුදලිතුමාගේ දෙටු දියණිය වූ හෙලන් ඇග්නස් විජේවර්ධන මෙනවිය සමගය. මෙම දෙපළට දරුවන් එකළොස් දෙනෙක් විය. එම දරුවන් අතර වැඩිමහල් දරුවා උපන්නේ 1906 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහු නමින් ජූනියස් රිචඩ් ජයවර්ධන විය. නම එසේ වුවත් මුළු ලෝකයක් ඔහු හඳුන්වන්නේ ජේ. ආර්. ජයවර්ධන යන නාමයෙනි.

116 වැනි උපන් දින සමරුව යෙදෙන ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන
1981 එළිසබෙත් රැජින මෙරට කළ සංචාරයේදී ගාලු මුවදොරදී මෙරටට සර්ව ජන ඡන්දය බලය ලැබීමේ ස්වර්ණ ජයන්ති උළෙල අමතද්දී. එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා පසෙක සිටී. – ‘දිවයින’ ඡායාරූපය – රියන්සි විජේරත්න

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා මීට වසර 90කට පෙර 1932 වර්ෂයේ දී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී නීති වෘත්තියට යොමු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට යොමුවූයේ 1943 වසරේ කැළණිය අසුනට පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟය.

නීති විදුහලේ උගෙන ගන්නා සමයේ සිටම ජේ. ආර්. අධිරාජ්‍ය විරෝධියකු විය. ඒ බව හොඳින් පසක් වන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහිව මහා අහිංසාවාදී සටනක යෙදෙන මහත්මා ගාන්ධිතුමාගේ සේයාරුවක් නීති විද්‍යාලයේ විවෘත කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා නීති සිසුවකු වශයෙන් ගත් ඓතිහාසික පියවර නිසාය.

දිනෙන් දින බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය තරුණ ජේ. ආර්. සිය ජීවිතය ගත කළේ කිතු දහමට අනුවය. තම මෑණියන්ගේ සොහොයුරු වෝල්ටර් විජේවර්ධන මහතා ජේ. ආර්.ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙන ඥාතියකු විය. මෙතුමා ජේ. ආර්. වූ තම බෑනණුවුවන්ට උපදෙස් දුන්නේ බුදු දහමත් සිංහල භාෂාවත් උගෙන ගන්නා ලෙසය. ඒ අනුව ජයවර්ධන මහතා තම මාමාගේ

උපදෙස් අනුව වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය පැලැනේ වජිරඤාණ මා හිමියන් හා වජිරාරාමවාසී නාරද මා හිමියන්ගෙන් බුදුදහම උගත්හ.

පසුව බුදු දහම වැළඳගත් තරුණ ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියානු නිදහස් සටනේ නායකයාණන් වූ මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවාදී දර්ශනයෙන්ද සිය ජීවිතය මනා උත්තේජනයක් ලබා ගනිමින් සිය ජාතික ආගමික දේශපාලනික ගමන් මඟ සකසා ගත්තේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1938 වසරේදී ලංකා ජාතික සංගමයේ සමාජිකත්වය ලබා ගත් මෙතුමා පසුව ඩඩ්ලි සේනානායක මහතා සමඟ එම සංගමයේ සම ලේකම් පදවිය දැරුවේය.

මෙකළ අප රටේ විසූ කීර්තිමත් උගත් දේශපානඥයකු වූයේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාය. 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති හා ස්වදේශ කටයුතු ඇමැතිවරයාවූ ජයතිලක මහතා කැලණිය ඡන්ද කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ද විය. 1942 දී එතුමා දේශපාලනයෙන් සමුගෙන ඉන්දියාවේ ලංකා මහා කොමසාරිස් පදවිය භාරගෙන ඒ රටට යෑම නිසා එතෙක් එතුමා දැරූ කැලණියේ මන්ත්‍රී පදවිය හිස්විය. මේ සඳහා පැවැති අතුරු මැතිවරණයට තරුණ ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් වූයේ එවකට ලංකාවේ සිටි සුවිශේෂී දේශපාලන නායකයකුට එරෙහිවය. ඔහු නමින් කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිය ලත් රාජ නීතිඥ ඊ. ඩබ්. පෙරේරා මහතාය. 1943 වසරේ අප්‍රේල් 17 වැනි දින පැවැති මෙම අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රාහණයක් ලබාගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා දේශපාලනයේ යෙදුනේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වශයෙනි.

එතැන් සිට රට පුරාම ඔහු ජනප්‍රිය වන්නට විය. ලංකා ජාතික සංගමයේ මෙහෙයවීමෙන් රටේ අනෙකුත් දේශපාලන සංවිධාන එක්වී 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලද අවස්ථාවේදී එම නව පක්ෂයේ සම භාණ්ඩාගාරික පදවියට පත්වූ ජයවර්ධන මහතා 1947 වසරේ පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය රජයේ මුදල් ඇමැතිවරයා බවට පත්වී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙසද ඉතිහාසයට එක් විය.

1943 සිට වසර 13ක් මැතිසබය නියෝජනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතාට පරාජයේ නීරස විඳින්නට සිදුවූයේ 1956 මහ මැතිවරණයේදී කැලණිය අසුනෙන් පරාජය වීමත් සමඟය. එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුවා යැයි කියමින් ජයග්‍රාහකයෝ කිරිබත් කමින් සිටියදී ඇතැම් එක්සත් ජාතික පක්ෂ නායකයෝ දේශපාලනයෙන් ද සමුගෙන විදේශ රටවල පදිංචියට යමින් සිටියදී ජේ. ආර්. ජයවර්ධන මහතා පැමිණියේ වසා දමා තිබූ පක්ෂ මූලස්ථානය වූ සිරිකොතටය. යළි පක්ෂ මූලස්ථානයේ දොර ජනෙල් ඇර මකුළු දැල් කඩා පරිසරය පිරිසිදු කර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු යළි ආරම්භ කිරීමට ජයවර්ධන මහතා මුල්විය.

බොහෝ දෙනා ජේ. ආර්.ට පිස්සු යැයි කියා විහිළු කළහ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නව මෙහෙයුමට ආර්. ප්‍රේමදාස, ජිනදාස නියතපාල, ආනන්ද තිස්ස ද අල්විස්, ජේ. ආර්. පී. සූරියප්පෙරුම ආදී තරුණ නායකයන් රාශියක් එකතු වූහ. ඇම්. ඩී. බණ්ඩා, විජයපාල මෙන්ඩිස්, පාරිස් පෙරේරා, වී. ඒ. සුගතදාස, ඊ. ඇල්. බී. හුරුල්ල, ඊ. ඇල්. සේනානායක ආදීන් ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ ඉදිරි ගමනට සූදානම් විය. පළමුවෙන් පැමිණියේ කොළඔ නගර සභා මැතිවරණයයි.

මෙම මැතිවරණයට ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළේ දෙගිඩියාවෙනි. ඡන්ද සටන උණුසුම් විය.

බලයට පත්වූ බණ්ඩාරනායක රජයේ සියලු පැතුම් බොඳකරමින් කොළඹ නගර සභාවේ බලයට එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. එය මියගියා යැයි පැවසූ එක්සත් ජාතික පක්ෂයට නැවත පණ ඒමක් බඳුවිය. 1959 සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය වන විට රජය මහජන අප්‍රසාදයට පත්වී තිබුණි. යළි එක්සත් ජාතික පක්ෂය රජයක අවශ්‍යතාව ජනතාවට වැටහී ගොස් තිබුණි. දහනායක මහතා අගමැති වූයේ නොසිතූ වීරු අන්දමිනි. මෙම පදවි ප්‍රාප්තිය සමඟ රජයේ විවිධ හැල පැප්පිලිවලට බඳුන් විය. දහනායක මහතා රජය විසුරුවා හැරියේ තවත් ඉදිරියට කාලය තිබියදීය.

මේ යුගය වන විට යළි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පැමිණ සිටියේය. එසේ පැමිණියේ ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂයට ගොඩනැඟූ ශක්තිමත් වටපිටාවත් සමඟය. 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ඉතා විශිෂ්ට නොවුනත් රජයක් පිහිටුවීමට යම් ශක්තියක් එක්සත් ජාතික පක්ෂයට උදාවී තිබුණි.

ඒ අනුව ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවීමට හැකියාව ලැබුණත් මසකට මදක් වැඩි කාලයක් එම රජය පැවැතුණි. 1960 ජුලි මාසයේ යළි මහ මැතිවරණයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජයක් පිහිටුවීමට බලය ලැබිණ. සිරිමා බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය විය. එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ වාඩි විය. 1964 වන විට එම රජයද මහජන අප්‍රසාදයට ලක්වී තිබුණු අතර රජයේ මැති ඇමැතිවරු බොහොමයක් රජයට එරෙහිව ඇතුළත සංවිධානය වෙමින් තිබුණි.

මේ තත්ත්වය හොඳින් වටහා ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා නියමිත කාලයට කලින් එම රජය විශ්වාසභාංග යෝජනාවකින් පරාජය කර වසර 04 ක් ගතවන විට නව රජයක් පිහිටුවීමට හැකියාව ඇති කර ගත්තේය. ඒ අනුව 1965 සිට 1970 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව රජයක් බිහිවිය. එම රජයේ නව අමාත්‍ය ධුරයක් වූයේ රාජ්‍ය අමාත්‍ය පදවියයි. එයට පත්වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය.

මේ අනුව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මඟපෙන්වීම මත තරුණයන්ගේ ප්‍රගතිය හා අනාගත දියුණුව වෙනුවෙන් පිහිටුවන ලද විශේෂ ආයතනයක් වූයේ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමය. එතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය යනුවෙන් පවත්වාගෙක ගිය ආයතනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්විය. මුළු රටම සහලින් ස්වයංපෝෂිත කිරීමේ මහා වගා ව්‍යාපාරයකට ගොවි හමුදාව ඇරඹිණ.

කැළණියේ ටයර් සංස්ථාව ඇරඹීම, තුල්හිරිය පෙහෙකම්හල විවෘත කිරීම, පරමාණු බලශක්තිය අධිකාරිය පිහිටුවීම, අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කිරීම, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිහිටුවීම, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පිහිටුවීම, රාජය දැව සංස්ථාව පිහිටුවීම, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය පිහිටුවීම, ඔරුවල වානේ සංස්ථාව පිහිටුවීම, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කිරීම ආදී අති විශාල සංවර්ධන වැඩසටහන් ලංකාව පුරා ක්‍රියාත්මක කිරීම සිදුවිය.

දුප්පත් ජනතාවට සති පතා නොමිලේ සහල් සලාකයක් නිකුත් කිරීම, රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට නොමිලේ ආහාර ලබා දීම, පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරයක් කිරි වීදුරුවක් ලබා දීම ආදී වැඩසටහන් මෙම රජයෙන් ක්‍රියාත්මක කළත් 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට හොඳින් හෝ හාල් සේරු දෙකක් ගෙනැවිත් දෙන බවට සිදුකළ ප්‍රචාරයක් නිසා එම රජයද බලයෙන් පහව ගියේ නොසිතූ ලෙසය.

1970 මැයි මස 27 වැනි දින පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වූයේ යාන්තම් මන්ත්‍රී කොට්ඨාස 17ක පමණි.

මැති සබයේ විපක්ෂ නායක පදවිය ජේ. ආර්. ජයවර්ධන මහතාට පිරිනැමීමට ඩඩ්ලි සේනානායක මහතා තීරණය කළෙත් පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකයා ලෙස ජයවර්ධන මහතා සිය වගකීම සියතට ගත්තේ 3/2 ක බලයක් හිමි දැවැන්ත ආණ්ඩුවක පක්ෂ නායකයා ලෙසය.

ඒ අතරතුර 1973 අප්‍රේල් 13 වැනි දින සිදු වූ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයත් සමඟ පක්ෂයේ නව නායකයා ලෙස ජයවර්ධන මහතා පත්විය.

එතැන් සිට එක්සත් ජාතික පක්ෂයේ ගමන් මග වෙනස් විය. පක්ෂය පොදු ජනතාවගේ පක්ෂයක් බවට පත්කිරීමේ යෝධ පිම්ම එතුමා ඇරඹුවේ ඕනෑම අයකුට රුපියලක් ගෙවා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට මඟ පාදමිනි. පක්ෂයේ පැරණි නායකයන් සමඟ පෑහෙන තරුණ නායකයන් බිහි කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා ඉටා ගත්තේය.

ගාමිණී දිසානායක මහතා එවකට පක්ෂයේ සිටි ඉදිරිපෙළේ එකම තරුණ නායකයා විය. අලුතින් ලලිත් අතුලත්මුදලි, රනිල් වික්‍රමසිංහ සමරවීර වීරවන්නි, ගාමිණී අතුකෝරාළ, රේණුකා හේරත්, ජයවික්‍රම පෙරේරා, ප්‍රේමරත්න ගුණසේකර, ඇම්. ජී. ප්‍රේමචන්ද්‍ර, වින්සන්ට් ඩයස් ආදී තරුණයන් ආසන සංවිධායකවරුන් බවට පත්කර ඔවුනට පක්ෂයේ වගකීම පැවරුවේය. වෙනමම කථික පිරිසක් පුහුණුකර ගම් දනව්වලට යවා සියලුම සති අන්තවල ජනතාවට දැනුවත් කිරීමට රැස්වීම් පැවැත්වූහ. සියරට, දිනපතා, ද ජනරල්, නම්දේශම් ආදී වශයෙන් සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පත්තර නිකුත් කර රට පුරා පාඨකයන් බිහි කළහ.

පවතින රජයේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව සත්‍යග්‍රහ, පාගමන්, රැස්වීම් පවත්වා ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව සිය විරෝධතාවයන් දැක්වීමට මඟ විවර කළේය. මේ නව පිළිවෙත් නිසා ජේ. ආර්. ජයවර්ධන මහතා වටා ජනතාව රැස්වූයේ පොදිකමිනි.

නායකත්වය වෙනුවෙන් සටන් වදින හෝ ඒ සඳහා පිරිස් උසිගන්වන අය පක්ෂයෙන් පළවාහැරියේ රටටත් ජාතියටත් සිදු කරන්නට යන මෙහෙවරට අභ්‍යන්තර ආරවුල් හරස්වන බව වටහාගෙනය.

1977 ජුලි 21 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රාහණයක් ජයවර්ධන මහතා ලබා ගත්තේ 6/5ක බලයක් නව ආණ්ඩුවට හිමිකර ගනිමිනි. එතෙක් රට පාලනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසරක් ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් කළේය.

බලය ලබා වසර 05ක් යන විට රටේ අගනුවරද වෙනස් කර එහි නව පාර්ලිමේන්තුවක් ගොඩනඟා එයට ගෙවැදුණි. පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් ලබා දීම, කඩිනම් මහවැලි ව්‍යාපාරය වසර 06ක් ඇතුළත නිමවී අවසන් කිරීම, නිදහස් වෙළෙඳ කලාප බිහි කිරීම, නව ගොවිජනපද හා නගර බිහි කිරීම, සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම, හෙළ සිරිතට වප් මඟුල් පවත්වා ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම, රාජ්‍ය සාහිත්‍ය උත්සවය වාර්ෂිකව පැවැත්වීම, එතෙක් පාසල් පොත්වල නූගන්වා සිට ඉතිහාසය, සාහිත්‍ය පාසල් විෂය ධාරාවට එක් කිරීම ජයවර්ධන රජයේ ප්‍රතිපත්ති විය. ලංකාව දියුණුවන ලෝකය සමඟ මිශ්‍ර කළේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි.

ඔහුගේ මෙහෙවර මල්ඵල දරන්නේ ඔහුගේ ප්‍රයෝජනය පිණිස නොව මතු පරපුරේ අනාගතය පිණිස බව ජයවර්ධන මහතාගේ ප්‍රසිද්ධ කියමනක් විය.

යමෙක් නිවැරදි තීරණයක් ගත් විට තාවකාලික බැනුම් ඇසීමට සිදුවීම සිරිතක් බවත් නිවැරදි නොවන ජනප්‍රිය තීරණ ගතහොත් ඔහු අඩි හතරක් පොළොව යටට යන බවත් ජයවර්ධන මහතා පැවසුවේ නිකමට නොව ලෝක ඉතිහාසය මැනවින් හදාරා තිබුණු නායකයකු ලෙසය.

“ඔබට පාලනය කිරීමට ලංකාව පොඩි වැඩියි, ඔබට හොඳ ඇමෙරිකාව වැනි විශාල රටක් පාලනය කිරීමයි,” ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජනපතිවරයා වරක් ජනාධිපතිවරයාට පැවසුවේ ජේ. ආර්. ජයවර්ධනයන් ගැන හොඳට හදාරා තිබුණු නිසාය.

නමුත් ලංකාවේ බොහෝ දෙනා ජයවර්ධන මහතා හඳුනාගෙන තිබුණේ නැත. එවන් නායකයකු අප රටට හිමිවී ඇත්නම් ඔහු වර්තමානයේ අප රට පාලනය කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. මීට වසර 44 කට පෙර මෙරට පාලනයේ සුක්කානම ප්‍රථම වරට අතටගත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ලාබාලම ඇමැතිවරයා එතුමන් ජනපති වී වසර 44ක් සපිරෙන විට රටේ ජනපතිවරයා වී තිබීමෙන් අපට පෙනී යන්නේ ජේ. ආර්. යනු රජුන් තනන්නකු බවය. එය ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයකු මෙරට ජන්ම ලාභය ලබා වසර 116ක් සපිරෙන මෙම උතුම් අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී නාමය අනාගතයේදී තවත් සුදිලෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

වජිර අබේවර්ධන (පා.ම.),
සභාපති – එක්සත් ජාතික පක්ෂය.

advertistmentadvertistment
advertistmentadvertistment