120 දැන් හරි – ආණ්ඩුවට සතියක් කල් දෙයි

254

ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක ගේ සහයෝගය ඇති බැවින් යුග පුරුෂයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් සඳහා සතියක් ඉඩ ලබාදෙන ලෙස එතුමා වටා සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

 ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (25දා) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

 සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න හදන විට අපි කිව්වේ 113 හදාගන්නේ නැතුව විශ්වාසභංග යෝජනා ගෙනැවිත් එය ආණ්ඩුවට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් වේවි කියලා. දැන් ඔන්න 113ට 120 ක්ම හරි. අපි ගණන් හදලා බලමු. විපක්‍ෂයට හිටියේ මන්ත්‍රීවරුන් 65 යි. අපි 42ක් විපක්‍ෂයට ආවත් තුනක් ආපසු ගියා. දැන් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ 39 එකතු කළාම 104 යි. අන්තර්කාලීන ආණ්ඩුවකට අවස්ථාව සලසමින් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 10ක් ලිඛිතව ප්‍රකාශ කළා. දැන් 114 යි. ඒ අතරේ 20 වන සංශෝධනයේදී ආණ්ඩුවට සහයදීමට තීරණය කළ මුස්ලිම් මන්ත්‍රීවරුන් 3ක් ආණ්ඩුවට ලබාදෙන සහාය ඉවත් කරගෙන තම පක්‍ෂ වෙත යෑමට තීරණය කළා. දැන් 117 යි. ඒ වගේම නාලක ගොඩහේවා ඇමතිතුමාත්, ඩලස් අලහප්පෙරුම හිටපු ඇමැතිතුමාත්, චරිත හේරත් කෝප් සභාපතිතුමාත් අන්තර්කාලීන ආණ්ඩුවකට සහාය දක්වා ආණ්ඩුව ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. දැන් 120යි. ඒ වගේම තම මතය දැනට ප්‍රසිද්ධ නොකළ තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විශ්වාසභංගයකදී සහාය දැක්වීමට සිටින බව ඉතාම විශ්වාසයෙන් කියන්න කැමතියි.

 අගමැතිතුමාට සහාය පළ කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීම පෙරේදා ආරම්භ කළා. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් දුරකථනයෙන් කතා කරමින් අනිවාර්යයෙන්ම අත්සන් කළ යුතු බවට පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නා. නමුත් එකතු කරන්න පුළුවන් වුණේ අත්සන් 46ක් පමණයි. ඒ නිසා ඒ උත්සාහය අත්හැර දැමීමට පොහොට්ටුවේ නායකයන්ට සිදුවුණා. එය එසේ නොවේ නම් අගමැතිට සහාය පළ කරමින් එකතු කළ අත්සන් ලේඛනය වහාම ප්‍රසිද්ධ කරන්න කියා මම ප්‍රධාන ලේකම්ට අභියෝග කරනවා.

 ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් මේ අර්බුදය මැද බල පොරයක් හදනවාට වඩා කළයුතු දේ වන්නේ අන්තර්කාලීන සර්ව පාක්‍ෂික ආණඩුවට ඉඩ දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්වීමයි. අගමැතිතුමා ඉල්ලා අස් වුණොත් ඇමැති මණ්ඩලය ඉබේම විසිර ගොස් අන්තර්කාලීන ආණ්ඩුවට අවස්ථාව සැලසෙනවා.

 මහින්ද රාජපක්‍ෂ කියන්නේ මේ රටට දැවැන්ත ජයග්‍රහණ ලබාදුන්නු යුග පුරුෂයෙක්. ජනතාව විසින් හෝ මන්ත්‍රීවරුන් විසින් එළවා දමනවා වෙනුවට ගෞරවනීය සමුගැනීමක් ලැබිය යුතු නායකයෙක්. එතුමාට උරුම ඒ ගෞරවනීය සමුගැනීම අහිමි කරලා එතුමාව විනාශ කරන්න එපා කියා එතුමා වටකරගෙන සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනගෙන් අපි ඉල්ලා සිටිනවා.

 මෙම මාධ්‍ය හමුව සඳහා පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතා සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝණාර මහතාද එක්වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment