13ට එරෙහි විරෝධතා නවත්තපල්ලා – අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැතක්

433

කොටි යුද්ධය දරුණු කාලයේවත් පන්සලට එක වෙඩිල්ලක් තිබ්බේ නැහැ
දුරකථනයෙන් මරණ තර්ජන ආවා

මඩකලපුව කෙවිලියාමඩුව අභිනවාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් එම විහාරස්ථානය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ඊයේ (13 වැනිදා) අලුයම ව්‍යර්ථ විය. විහාරස්ථානයට ඊයේ අලුයම කඩාවැඳුණු නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් සුමනරතන හිමියන් සැතපී සිටි කුටියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර උන්වහන්සේ අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත.

සන්නද්ධ පුද්ගලයන් එල්ල කළ වෙඩි ප්‍රහාර 06 ක් සුමනරතන හිමියන් සැතපී සිටි යහනට ඉහළින් බිත්තියේ වැදී තිබූ බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය එල්ල වීමට දින කීපයකට පෙර සිට සුමනරතන හිමියන්ගේ ජංගම දුරකථනයට නාඳුනන පුද්ගලයන් කීපදෙනකුම ඇමතුම් ලබාදෙමින් එම හිමියන්ට මරණීය තර්ජන එල්ල කර තිබේ.

13ට එරෙහි විරෝධතා නවත්තපල්ලා - අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැතක්

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ගෙන යන අරගලය නතර කරන ලෙස කියමින් එම පිරිස උන්වහන්සේට තර්ජනය කළ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අම්පාර සහ මංගලගම පොලිස් ස්ථාන ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් නිල සුනඛයන් යොදාගෙන පරීක්‍ෂණ පැවැත්වුව ද ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් පළාගිය ප්‍රදේශ හඳුනාගැනීමට හැකි වී නැත.

මෙම සිද්ධිය සම්බන්ධයේ ‘දිවයින’ කළ විමසීමකදී සුමනරතන හිමියෝ මෙසේ පැවසූහ.

උතුර – නැගෙනහිර යුද්ධය දරුණු කාලෙ එල්.ටී.ටී.ඊ.කාරයො ගම්මාන පිටින් කැතිගාන කාලෙ අවුරුදු 30 ක් තිස්සේ මම මඩකලපුව මංගලාරාම පන්සලේ හිටියා.

ඒත් එක දවසක්වත් මගේ පන්සලට එක වෙඩිල්ලක් තිබ්බේ නැහැ. 13 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමෙ පෙළපාලිය මෙහෙයවන්න ගිය දවසෙ ඉඳලා මට දිගින් දිගටම දුරකථනවලින් මරණ තර්ජන එනවා.

මම ඔය තර්ජන ගර්ජන ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මීට වැඩිය දරුණු යුද්ධ කාලෙත් මම මඩකලපුවෙ අහිංසක මිනිස්සු එක්ක හිටියා. ඊයේ පාන්දර පන්සලේ ආවාස ගෙයි සැතපිලා ඉන්නකොට එක පාරටම වෙඩි වරුසාවක් එල්ල වුණා. මගේ අවාස කුටියේ එක පැත්තක වීදුරු ජනේලයක් තියෙනවා. ඒ ජනේලේ කුඩු කරගෙන ආව වෙඩි උණ්ඩ මං සැතපිලා හිටිය ඇඳට උඩින් බිත්තියට වැදුණා. තව දශමයක් එහා මෙහා වුණා නම් මගේ ඔළුවට වෙඩි වදිනවා. විනාඩි කීපයක් යනකොට වෙඩි තියපු කට්ටිය පැනලා ගියා. පස්සේ මං මේ ගැන පොලිසියට දැනුම් දුන්නැයි අම්පිටියේ සුමනරතන හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

“මම කෙවිලියාමඩුව පන්සලේ රැඳී සිටින්නේ මඩකලපුවේ තියන මේ දුෂ්කර ගම්මානයේ මිනිස්සුන්ව ජීවත් කරවන්න අවශ්‍ය නිසා. මේ ගොවිපළ පවත්වාගෙන යෑමට මම වැව් දෙකක් හැදුවා. ගොවිපළේ 10 – 12 ක් වැඩ කරනවා. ඊයේ රාත්‍රි 10 ට පමණ මම සැතපෙන්න කුටියට ගියා. අඩ නින්දෙන් වගේ මට වෙඩි ප්‍රහාර 03 ක් පමණ ඇහුණා.

මගේ කුටියට එළියෙන් තිබුණු ලොරියට එහා පැත්තේ ඉඳලා ජනේලයෙන් තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ. මාව මරා දමන්න අවුරුදු 30 ක ඉඳලා උත්සාහ ගන්නවා. කෙවිලියාමඩුව අභිනවාරාමයට පොලිස් ආරක්‍ෂාව තිබුණාට මට ආරක්‍ෂාවක් නැහැ. පසුගිය 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවට සහභාගි වුණාට පස්සේ මට මරණ තර්ජන වැඩි වුණා. සුමනරතන උඹ මරණවා කියලා දිගින් දිගටම දුරකථනයෙන් තර්ජන කළා.

පොලිසියට, නියෝජ්‍ය පොලිස්පතිට සහ ආරක්‍ෂක ලේකම්වරයාටත් මම මට ඇති ජීවිත තර්ජන පිළිබඳව දැනුම් දී තිබුණා. නමුත් මට ප්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කළේ නැහැ. මම මේ හැම දෙයක්ම විඳදරා ගනිමින් ජනතාවට හා ශාසනයට මගෙන් වියයුතු යුතුකම කළා. මට තිබෙන ජීවිත තර්ජනය ගැන දැන් මම කාටද කියන්නේ….?
හේමන්ත රන්දුණු සහ සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment