13 ද 13+ද?

201

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් ගෙන ඇති තීරණය, ඒ සම්බන්ධව අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ පැවැත්වෙන සාකච්ඡා සහ ජාතීන් අතර සංහිඳියාව පෙබරවාරි 01 දින එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මියව දැනුවත් කළේය. ඇමෙරිකාව අමුතුවෙන් දැනුවත් කිරීමට කිසිසේත් අවශ්‍ය නැත. ඒ ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ඇමෙරිකානු න්‍යාය පත්‍රයට අනුව නිසාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවාසය ඉදිරිපිට ‘අරගලය’ ආරම්භ වූයේ නූලන්ඩ් ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් දින කීපයකට පසුවය. පැඟිරිවත්ත පිපිරීම මාර්තු 31 දින සිදු විය. නූලන්ඩ් වසරක් යෑමටත් පෙර නැවතත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වෙන රාජකාරියක් නැතුව නොවන බව අවධාරණය කළ යුතුය. යුක්රේනය අස්ථාවර කිරීමට මීට වසර 10කට පමණ පෙර ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක ලෙස කළ කාර්ය ලෝකයම දනී. යුක්රේනය සම්බන්ධව බටහිර ආණ්ඩු අතර ‘ගනුදෙනුවේදී’ යුරෝපීය සංගමය සමඟ සංසර්ගයේ යෙදෙන්න (‘Fuck the EU’) කියා ඇය දුරකථන සංවාදයකදී කළ ප්‍රකාශය ලෝකයේ දැඩි අවධානයට ලක් විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදය චීනයට එරෙහි බටහිර මෙහෙයුමේ ඉන්දියාව ස්ථානගතවීම මත තීරණය වනු ඇත. ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව නූලන්ඩ් වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් දැඩි ලෙස දොස් පවරන්නේ චීනයටය. ඒ තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේය. ඉන්දු – බටහිර න්‍යාය පත්‍රය පැහැදිලිය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය එම න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති බව ශ්‍රී ලංකාව හසුරුවන ආකාරයෙන් තේරුම්ගත හැක.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉඩම් සහ පොලිස් බලතල ඇතුළුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවට කර ඇති අභියෝගය සුළුපටු නොවේ.

එජාප නායක වික්‍රමසිංහ එම අභියෝගය ජනවාරි 26 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී එල්ල කළේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සහ දෙවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දකුණු පසින් තබාගෙනය. ජනාධිපතිවරයාගේ වම් පසින් මහින්ද යාපා කථානායකවරයා සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද විය.

එම හතර දෙනාම වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ය. ජනාධිපතිවරයාගේ අභියෝගය එල්ල වූයේ කාටද කියා තේරුම් ගැනීමට අපහසු නැත. එම ජනතා නියෝජිතයන් සියලු දෙනාම වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමට තම ඡන්දය පාවිච්චි කළ බව නොසලකා හැර එජාප නායකයා ප්‍රධාන වශයෙන් ඔවුන්ට ඇතුළුව සමස්ත පාර්ලිමේන්තුවටම කළ අභියෝගය විමසා බැලිය නොහැක.

තමන් ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලබන බදාදා (පෙබරවාරි 08) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ සම්බන්ධව පක්ෂ නායකයන්ට යෝජනා තිබෙනවා නම් ඒවා සෙනසුරාදාට (පෙබරවාරි 04) පෙර තමන්ට ලබා දෙන ලෙසට දැනුම් දීමක් කළේය.

එම ප්‍රකාශය කෙතරම් ආන්දෝලණාත්මක වුවත් එය නිර්භීත ස්ථාවරයකි. තම දේශපාලන අනාගතය පරදුවට තබා පාර්ලිමේන්තුවට කළ අභියෝගයකි. මෙවැනි අවදානමක් මින් පෙර කිසිදු විධායක ජනාධිපතිවරයකු/ජනාධිපතිවරියක ගෙන නැත.

අතිශය ගැටලුකාරී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා පළමුවෙන්ම ප්‍රකාශ කළේ ජනවාරි 15 දින තෛපොංගල් සැමරීමට යාපනයේ සංචාරය කළ අවස්ථාවේදීය. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාද එම අවස්ථාවට සහභාගි විය.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ගේ රැස්වීම කැඳවූයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ නිල නිවේදනය කිරීමට දිනකට පෙරය. ජනවාරි 26 දින රැස්වීමට සහභාගි වී සිටි සියලුම මන්ත්‍රීවරුන් ඊට පසුදින පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කර තිබූ බව දැන සිටි බව අමුතුවෙන් කිව යුතු නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් පක්ෂ 15 තම ස්ථාවරය හෙළි කළ යුතුය. ජනාධිපතිවරයා එම පක්ෂවලට මෙලෙස අනතුරු ඇඟවීය. “දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා පාර්ලිමේන්තුවට තවදුරටත් තීරණයක් ගැනීමෙන් වැළකී සිටිය නොහැකියි. ඕනෑම මන්ත්‍රීවරයකුට අවස්ථාව තිබෙනවා පාර්ලිමේන්තුවට 13 වැනි සංශෝධනය අහෝසි කරන්න කියලා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන්න. එම යෝජනාව බහුතරයක් ප්‍රතික්ෂේප කළහොත් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා තමන්ගේ න්‍යාය පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අභියෝගය පාර්ලිමේන්තුව වෙනුවෙන් ගත හැකි පක්ෂයක්/ කණ්ඩායමක්/ මන්ත්‍රීවරයකු සිටිනවාද ?

ඇත්ත වශයෙන්ම පූර්ණ බටහිර අනුග්‍රහය ඇතිව 1987 ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පැටවූ අතිශය ආන්දෝලණාත්මක 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලෙස තමන්ගේ ස්ථාවරය ජනතාව ඉදිරියේ තැබීම සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත විය යුතුය. කුමන්ත්‍රණයක් නැත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යෝජිත ක්‍රියාමාර්ගයට පක්ෂ වීමට මෙන්ම එරෙහි වීමටද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ටම අවස්ථාව ඇත.

නමුත් වික්‍රමසිංහ සැලැස්මේ සාර්ථකත්වය ප්‍රධාන ලෙසම රඳා පවතින්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) ස්ථාවරය මතය.

හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අහලප්පෙරුම, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමක් ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙන් ඉවත් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම කණ්ඩායම බව අවධාරණය කළ යුතුය. එහි නායකත්වය මහින්ද රාජපක්ෂ හොබවයි. ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට මහින්ද රාජපක්ෂ එම අවස්ථාවේ ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ තීන්දු තීරණ සම්බන්ධයෙන් ‘විධායක’ බලතල සතුය. එම නිසා පොහොට්ටු පක්ෂයේ තීරණය රාජපක්ෂවරුන්ගේ තීරණයක් වනු ඇත.

පාර්ලිමේන්තුවේ එජාපයට ඇත්තේ එක ජාතික ලැයිස්තු ධුරයකි. (වජිර අබේවර්ධන) අග්‍රාමාත්‍ය ධුරය හිමි මහජන එක්සත් පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමි ආසන තුනකි. (දිනේෂ් ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ අග්‍රාමාත්‍ය පුත්‍ර ජාතික ලැයිස්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන). දිනේෂ් ගුණවර්ධනද ජනාධිපතිවරයාගේ යෝජනාවට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යෝජනාවට පක්ෂව කෙටි අදහස් දැක්වීමක් කළ අතර යෝජිත ක්‍රියාමාර්ගයට පූර්ණ ලෙස විරුද්ධ වූයේ යුතුකම සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග (පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුව) සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණි. (පොහොට්ටු පක්ෂය) පමණි. යුතුකම සංවිධානයේ නායක ඉතාමත් නිවැරදිව පෙන්වා දුන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබිඹු නොකරන බවයි.

එජාප නායකයා ජනාධිපතිවරයා ලෙස ජුලි 20 දින පත්කර ගත්, වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස නොවැම්බර් 14 දින ඉදිරිපත් කළ අයවැය ඉහළින්ම දෙසැම්බර් 08 දින සම්මත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ අනුග්‍රහය නොමැතිව 13 වැනි සංශෝධනය කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැක.

විශ්‍රාමික ලුතිනල් කර්නල් ඒ. එස්. අමරසේකර ජාතික ඒකාබද්ධ කමිටුව වෙනුවෙන් නිකුත් කළ නිවේදනය වර්තමාන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනාගේම අවධානයට යොමු විය යුතුය. එලෙසෙම ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කළ ප්‍රකාශයද වැදගත්ය. එම දෙපාර්ශ්වයම මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධනට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය හෙළි කිරීමට අභියෝග කර ඇත.

ජාතික ඒකාබද්ධ කමිටුව අවධාරණය කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අභියෝගය ඉදිරියේ ඔවුන් දෙදෙනාගේ නිශ්ශබ්දතාවය කනගාටුදායක බවයි.

එදා ජේ. ආර්. ජනාධිපතිවරයා එම ව්‍යවස්ථා සංශෝධනය 1987 නොවැම්බර් මාසයේ බලාත්මක කළේ හිතුවක්කාර ලෙසය.

ශ්‍රී ලංකාව තුළ හමුදාමය මැදිහත්වීමක් වීමකට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කළ ඉන්දියාව ජයවර්ධන ජනාධිපතිවරයාගේන් එම ව්‍යවස්ථා සංශෝධනය බලහත්කාරයෙන් ලබාගත් බව රහසක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් දෙවන කැරැල්ලට (1987-1990) ප්‍රධානතම හේතුව වූයේ එම ඉන්දියානු මැදිහත්වීමයි. ඉන්දු – ලංකා ගිවිසුමට අනුව උතුරු – නැගෙනහිර පළාත් දෙක (පරිපාලන දිස්ත්‍රික්ක පහක්) එකතු කර එක උතුරු නැගෙනහිර පළාත් සභාව පිහිටුවූ අතර, තමන් සන්නද්ධ කළ සියලුම ද්‍රවිඩ ත්‍රස්තවාදී කණ්ඩායම් නිරායුධ කිරීමට ඉන්දියාව පොරොන්දු විය. ඉන්දියාව තමන් ශ්‍රී ලංකාවට ලිඛිතව ලබා දුන් ප්‍රධානතම පොරොන්දුව කඩ කළේය.

ඉන්දියානු හමුදා 1990 මැයි මාසයේදී ශ්‍රී ලංකාවෙන් ඉවත් වූයේ නිලධාරීන් සහ සෙබළුන් 1,200 පමණ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් සමඟ කළ යුද්ධයේදී මියගිය පසුවය. ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්තවාදය අතුගා දැමුවේ 2009 මැයි මාසයේදීය. එතැන් පටන් බටහිර අනුග්‍රහය යටතේ ඉන්දියාව දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ මෙහෙයුම වේගවත් කර ඇත.

එදා ත්‍රස්තවාදය හරහා ඉන්දු – ලංකා ගිවිසුම පිළිගැනීමට අප රටට කළ බලපෑම පාර්ලිමේන්තුව අමතක කර දමා ඇත. අද අප රට බංකොළොත්භාවයට පත්වීම තුළ ඉන්දියානු බලපෑම වෙනස් ආකාරයකින් ක්‍රියාත්මකය. ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික ණය කන්දකට යටවී සිටින ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය, ජපානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ නමා ඇත. තත්ත්වය ඉතාමත් සංකීර්ණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබා ගැනීමට තවමත් තටමන ශ්‍රී ලංකාව පසු ගිය වසරේ පමණක් ඊට වඩා වැඩි මුදලක් ඉන්දියාවෙන් ලබා ගෙන ඇත.

දහතුන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළහොත් රටේ ඒකීයභාවය නැතිවී යන බවට ආචාර්ය ගුණදාස අමරසේකර ශූරීන් අනතුරු අඟවන මෙම අවස්ථාවේ ඉන්දියාවේ භූමිකාව ශ්‍රී ලංකාව තේරුම්ගත යුතුය. ඉන්දියානු මෙහෙයුමට ලෝක බලවතා වන ඇමෙරිකාවේ සහය ඇත. ඒ චීනය සමඟ ගැටුමේ ඇමෙරිකාවේ ප්‍රධාන මිතුරා ඉන්දියාව වන හෙයිනි. එමෙන්ම ශ්‍රී ලංකාව ජිනීවා යුද අපරාධ උගුලේ ස්ථිරව හිරකර තැබීම සමස්ත බටහිර – ඉන්දියානු උපක්‍රමයේ ප්‍රධාන සාධකය බව තවමත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වී නැත.

බංකොළොත් ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකාව යුද අභ්‍යාස පැවැත්වීම, ඉන්දීය යුද නැව් ශ්‍රී ලංකාවට පැමිණීම, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවට ඉන්දියාව හරහා ඉන්ධන ලබා දීම සහ ජපානය සමඟ පුළුල් සම්බන්ධතා සමස්ත සැලැස්මේම අංග බව ශ්‍රී ලංකාවට වැටහිය යුතුය. ඇමෙරිකාව – ඔස්ට්‍රේලියාව -ජපානය – ඉන්දියාව ස්ථාපිත කර ඇති ‘කෝඩ්’ නමැති සංවිධානය චීනය සමඟ ඇතිකර ගෙන ඇති ගැටුමට ශ්‍රී ලංකාව පාවිච්චිකරන ආකාරය ඇත්ත වශයෙන්ම අසික්කිතය.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර හතරකට පසුව එවකට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. එම්. ක්‍රිෂ්ණා (2012 ජනවාරි) සහ ඉන්දීය විපක්ෂ නායිකාව වූ සුෂ්මා ස්වරාජ් (2012 අප්‍රේල්) දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට ‘එහා’ යෑමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් සමඟ පැවසූ බවට කළ ආන්දෝළණාත්මක ප්‍රකාශ එදා ඉන්දු – ලංකා සම්බන්ධතා අභියෝගයට ලක් කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමන් එලෙස පොරොන්දුවක් ලබා නොදුන් බව පසුව ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අවධාරණය කරන්නේ ඉන්දියාව ඇතිකරන දැඩි තෙරපුමයි. නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය දේශපාලන, හමුදා සහ බුද්ධි අංශ නායකත්වය සමඟ දිගින් දිගටම අදහස් හුවමාරු කර ගැනීම ද තීරණාත්මකය. එලෙසම ඉහළ පෙළේ ඇමෙරිකානු දේශපාලන සහ හමුදා නායකත්වය කොළඹ සංචාරය කිරීමද සමස්ත බටහිර – ඉන්දීය මෙහෙයුම අනුව සිදුවේ.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඉන්දියාව කරන බලපෑම මිත්‍ර රටක හැසිරීමක් නොවේ. ශ්‍රී ලංකාවේ අවාසනාවට ද්‍රවිඩ ත්‍රස්තවාදයේ ආරම්භය, ව්‍යාප්තිය සහ හමුදාමය ක්‍රියාමාර්ගයක් හරහා සාමය ස්ථාපිත කිරීම අප රටේ අයිතියක් බව ලොව ඉදිරියේ නිසියාකාරව ඉදිරිපත් කිරීමට දේශපාලන නායකත්වය අපොහසත් වී ඇත.

දහතුන් වැනි සංශෝධනය සම්බන්ධයෙන් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හිතුවක්කාර තීරණය සම්බන්ධයෙන් ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජා ජ බ) ප්‍රතිචාරය ආන්දෝලණාත්මකය.

ජා.ජ.බ ජාතික ලැයිස්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ‘දි අයිලන්ඩ්’ ප්‍රවෘත්ති කර්තෘ සමන් ඉන්ද්‍රජිත් පෙබරවාරි 01 දින කළ විමසීමකදී අවධාරණය කළේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම ජා.ජ.බ අතර අභ්‍යන්තර සාකච්ඡාවක් පවතින නමුත් ව්‍යවස්ථාවේ තිබෙන දහතුන් වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්ය. ජනතාව මුළා කිරීමට උත්සාහ නොකර ජා ජ බ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇයට ස්තුතිවන්ත විය යුතුය.

ශ්‍රී ලංකාව 75 වැනි නිදහස් දිනය සමරන්නේ/ සමරුවේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක බව ආණ්ඩුවට සහ විපක්ෂයට නැවතත් මතක් කර දිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ණයක් ලබා ගැනීමට පසුගිය වසරේ මැද භාගයේ සිට තටමන ශ්‍රී ලංකාව හමුදා උත්තමාචාර සමඟ නිදහස සැමරීම අවශ්‍යද ? තේරුමක් තිබේද ? පසුගිය සතිය පුරාම මහා භාණ්ඩාගාරය හිස්වී ඇති බව පැවසූ වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව මොන මඟුලකට මහජන මුදල් කාබාසිනියා කරනවා දැයි තේරුම් ගත නොහැක. ඇත්ත වශයෙන්ම සමස්ත ශ්‍රී ලංකාවම මුදානොගත් රටක් බවට පත්වී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ, ඉහළ නිලධාරී පැලැන්තිය සහ දූෂිත ව්‍යාපාර ප්‍රජාවෙන් ශ්‍රී ලංකාව මුදාගැනීමට අවශ්‍ය වී ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment