ත්‍රෛනිකායික මහා නාහිමිවරු ජනපතිට කියති
ඉඩම් හා පොලිස් බලතල දීම අනතුරක්
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කරති.
එය බලාත්මක කළහොත් එමගින් රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වන බව ද උන්වහන්සේලා අවධාරණය කරති.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතුවන බව ද උන්වහන්සේලා පවසති.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳ අවධාරණය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා වන මල්වතු පාර්ශ්යේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02දා) මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනපතිවරයාට ලබා දී ඇත.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා අටපිරිකර පූජා කළේය. මල්වතු මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පුද කළහ. මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූහ. මල්වතු මහා විහාරයේ තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ සටහනක් තැබීමට ජනාධිපතිවරයා අමතක නොකළේය.
අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය. අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිසත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.
දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබතුමන් කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇත. ඉඩම් හා පොලිස් බලතල පෞරාණික ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම්වාදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි. මීට පෙරද ධූරය දැරූ විධායක ජනපතිවරුන් විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැළකී සිටියේ රට තුළ ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධ කරගත් නිසා ද බව ඔබතුමන්ද මනාව දන්නා කරුණකි. ජනතා පරාමාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධිපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතු වේ.
රටේ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟවීමට බලපෑම් එල්ල වුවද රටේ භෞමික අඛණ්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අපි අවධාරණය කර සිටිමු. නිදහසින් 75 වැනි අභිමාන්වත් සංවත්සරය සමරන අප ශ්‍රී ලාංකිකයන් ලෙස ජාති, ආගම් භේදයෙන් තොරව රටේ සුරක්ෂාවත් සමෘද්ධියත් උදෙසා කැපවූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝය.
දශක තුනකට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමිහිර අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. එහි ඍජු බලපෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතියි. මධ්‍යම රජයේ වගකවයුතු කැබිනට් ඇමැති තුනතුරු දරමින් එම පළාත්වලින් පත්වන දේශපාලන නායකයන්ට ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බව අපි හොඳාකාරවම දනිමු.
සමන්ති වීරසේකර