කොන්දොස්තර ඇතුළු 5 දෙනෙක් දැලේ
60 හැවිරිදි අයකුත් සැකකරුවන් අතර
වයස අවුරුදු 13ක පාසල් සිසුවියක වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු, කළුතර දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු සහ ඇය නිවසක රඳවා ගැනීමට අනුබල දුන් පුද්ගලයකු බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයකු වයස අවුරුදු 60 ඉක්ම වූ සීයා කෙනකු බවත් පොලිසිය සඳහන් කරයි.
දැරිය සිය රෝගී දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇත. නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබා දෙමින් ප්‍රියමනාප දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, එම කාලයේ දී ද දැරිය තවත් පුද්ගලයන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවට ද තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
බාලවයස්කාර දැරියක නිවසක රඳවා ගෙන සිටින බවට කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාට ලද තොරතුරක් මත කළ පරීක්ෂණවලින් පසු ඇයගෙන් ලබාගත් ප්‍රකාශ මත අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය මේ වන විට කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
වාද්දුව සුමිත් පොතුපිටිය, ගල්පාත චන්දන පෙරේරා, කළුතර සුනිල් කත්‍රිආරච්චි