13 ක්‍රියාත්මක කිරීමට ඇති ඓතිහාසික පදනම කුමක්ද?

229

මෙහි මුල් කොටස ඊයේ පත්‍රයේ පළවිය…..

දකුණු ඉන්දියාවෙන් බාහිර ඈත කාලීන පැවැත්මක් මෙරට දෙමළ ජනතාවට තිබේද ? ඕලන්ද ජාතික පිලිප් බැල්දියස්ගේ වාර්තා අනුව, ((A True and Exact Description of the Island of Ceylon) 1682 පෙර යාපනයේ මලබාර් දෙමළ ජනතාවට යාපනයේ දීර්ඝ ඉතිහාසයක් නැති බව කියවේ. ඒ වන විට පවා යාපනයේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා නියෝජනය වූයේ සිංහල පාර්ශ්වයෙන් ය. යාපනයේ කුල ක්‍රමය සහමුලින්ම දකුණු ඉන්දියාවේ මොනයම් හෝ කුලයක සම්බන්ධයක් ඇතිව ලංකාවට පැමිණ ඇති බව පැහැදිලි වෙයි. වෙල්ලාල (Vellalar) කුලය දෙමළ ප්‍රජාවෙන් විශාලම පිරිස අයත් කුලය විය හැකි ය. ගොවීන් වන ඔවුන් ප්‍රමුඛතම ඉඩම් හිමියන් ය. පල්ලර් (Pallar, Mallar, Pallan) කුලය තවත් පිරිසකි. තන්ජෝර්, මධුරෙයි සහ රාම්නාතපුරම් හී ලංකා පල්ලර් වරුන්ගේ පැරණි ඥාතීන් වාසය කරයි. කෘෂිකර්මය සහ කම්කරු වෘත්තිය පල්ලර්වරුන්ගේ මූලික ජීවන ක්‍රමය වෙයි. නලවාර් (Nalavar) කුලයේ අය පාරම්පරික තල් රා මදින්නන්ය. මොවුන් කේරළයෙන් පැමිණි බව කියවෙයි. යාල්පාන වෙයිපව මලෙයි (Yalpana Vaipava Malai) හි කියවෙන මෙම කුලය වෙල්ලාලවරු තම සේවකයන් ලෙස ගෙන ආ පිරිසක් බව කියවේ. කරායියර් (Karaiyar, Karaiyr) කුලය කොරමැන්ඩල් වෙරළින් සංක්‍රමණය වූ පිරිසක් බව කියවෙයි. ප්‍රභාකරන් ද මෙම කුලට අයත් ය. යාපනයේ පමණක් නොව දකුණු පළාත දක්වා විවිධ මහුදු තීරවල පදිංචි ඔවුන් සිංහලයන් අතර හැඳින්වෙන්නේ කරාවේ නමින්ය.

කරාවේ ජනතාව දෙමළ අනන්‍යතාව අතහැර සිංහල භාෂාව පිළිගැනීම නිසා රටේ බහුතර ජනතාවට දියවීමට සමත් වී සිටී. මුහුදු කොල්ලකරුවන් ලෙස ජීවිකාව කළ මේ පිරිස ධීවරයන් ය. කරායියර්වරු උසස් පෙළපතක් ඇත්තන් ලෙස වෙල්ලාලවරු පිළිගන්නේ ද නැත. මුක්කුරු හටන (Mukkara Hatana) නම් පුස්කොළ පොත අනුව මේ ජනතාව කුරුමණ්ඩලම් සිට පැමිණ ඇති බව කියවෙයි. ලංකාවේ කරායියර් වරු මීලොංගි (Meelongi) සහ කීලොංගි (Keelongi) ලෙස දෙපිරිසකි. තිමිලර් (Thimilar) කුලය මුහුදු යන්නන්ගේ කුලයකි. සංගම් සාහිත්‍යයේ පවා කියවෙන මොවුන් තමිල්නාඩු වෙරළෙන් සංක්‍රමණය වූ ධීවරයන් ය. වෙල්ලාලවරු තිමිලර් වරු සමඟ විවාහ සබඳතා පවත්වන්නේ නැත. මුක්කුවර් ජනයා නැගෙනහිර පළාතේ මුහුදුබඩ තීරයේ පදිංචිව සිටිය ද මොවුන් ද තමිල්නාඩුවේ සහ කේරළයේ ධීවරන්ගෙන් පැවත එන්නන් ය. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් බෙදී සිටින සිවියර් හෙවත් චිවියර් (Chiviyar), කඩෙයාර්, (Kadeyar), කොල්ලෙර් (Koller), කුසාවර් (Kusavar), පානර් (Paanar), වන්නර් (Vannar) යන කුලවලට අයත් ජනතාව මූලික අයිතීන් භුක්ති විඳිය නොහැකි දුක්ඛිත ජීවිත ගෙවමින් සිටියි. සිවියර්වරු පල්ලැක්කි ඔසවාගෙන යන්නන් ය. වන්නර්වරු රෙදි සෝදන්නන්ය. ඔවුහු කවුරුත් කුලවත් වෙල්ලාලවරු ඉදිරියේ පහත් ජන වර්ග දෙකක් පමණි. තවද වඩාත් පහත් යැයි කියනු ලබන කුල දෙකක් කඳුකරයේ වෙසෙයි. පරායිරාස් (Paraiyars) සහ සක්කිලර් ()(Sakkiliar) දෙමළ වතු කම්කරු සමාජයේ පතුලේම සිටින මෙම කුල දෙකට අයත් ජනතාවගේ ලයින් කාමර පවා වෙන්කර ඇත්තේ කුලවතුන්ගෙන් ඈත් කර බව පැවසෙයි. මේ කුල ක්‍රමයෙන් තහවුරු වන්නේ ලංකාවේ දෙමළ සමාජය තනිකරම දකුණු ඉන්දියානු ද්‍රවිඩ සමජයේ පිටපතක් බවය. එහෙයින් ලංකාවේ ද්‍රවිඩයන්ගේ නිජබිම ඉන්දියාව මිස ලංකාව නොවන බව පැහැදිලි වෙයි.

13 සහමුලින්ම බලාත්මක කළ පසු ඉහත සඳහන් කළ අඩු කුලවල දෙමළ ජනතාවට කුමක් සිදු වන්නේද? වෙල්ලාලවරු 13 බලාත්මක කළ වහාම බලවත් වීම නොවැළැක් විය හැකිය. එවිට පහත් යැයි සම්මත කුලවල ඉරණම ගැන ආරුමුග නාවලර්ගෙන් තේරුම් ගත හැකිය. ‘ද්‍රවිඩ ජාතික ශාන්තුවරයකු හා වීරයකු ලෙස සලකන ආරුමුග නාවලර් (1822-1879) ගුරුවරයකු ලෙස සේවය කළ යාපනය මහා විද්‍යාලයේ ගුරු සේවයෙන් ඉල්ලා අස් වූයේ එවකට විදුහල්පති ව සිටි පීටර් පර්සිවල් විසින් පහත් කුල දරුවන් එම විද්‍යාලයට ඇතුළු කිරීමට ගත් තීරණය නිසා ය.’ (විජයදාස රාජපක්ෂ, 2018 අප්‍රේල් 8 ඉරිදා දිවයින) වෙල්ලාල බලය යටතේ බහුතර කුලහීන සමාජය කොතෙක් පීඩනයට පත් වේද යත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගැනීම නිසා 1957 අප්‍රේල් මස අංක 27 දරණ ‘සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත’ සම්මත විය.

එතැනින් වර්ගවාදයේ බෝම්බය පිපිරවීය. යුද්ධය ඇවිලුනේ එතැනින් බව කීම වරදක් නැත. එනම්, කුලහීන දරුවන්ට පාසල තුළ සම අයිතිය නීත්‍යානුකූල වීම නිසා, ඔවුන්ට කෝවිල් තුළට යෑමට අවසර හිමිවීම නිසා, ළිංවලින් වතුර බීමට අවසර හිමිවීම නිසා, කැමති රැකියාවක් කළ හැකි වූ නිසා වෙල්ලාලවරු බණ්ඩාරනායකට එරෙහි අරගලය දියත් කළේ සමස්ත දෙමළ විරෝධක ස්වරූපයෙනි. වරක් ‘ෆෙඩරල්වාදයේ න්‍යාචාර්ය වරයා’ මාවිද්දපුර කෝවිලට වෙල්ලාලයන්ට ඇතුළුවීමට වෙනම ද්වාරයක් හදා, නීච කුලඇත්තන් කෝවිල මධ්‍යට පැමිණීම වැළැක්වීමට හරස් බැම්මක් බැඳීම නිසා නිර්ලජ්ජිත කුලහීන-කුලීන ගැටුමක් ඇති විය. මේ නිසා නලවාස්, පල්ලර්, පරයා කුලවල අය වැළැක්වීමට කෝවිල වසා දමන ලදී. වෙල්ලාල වෛරය සිංහල ජනතාව එල්ලවීමේ වේගය වැඩි වූයේ එතැනින්ය. මේ වන විට පවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි විරෝධතා උත්සන්න නොවීය. ඔවුන් ඉග්‍රීසි රාජ්‍ය භාෂාව වී තිබිය දී පවා අරගල කිසිත් කර තිබුණේ නැත.

1987 ජූලි එම (උතුරු නැඟෙනහිර) පළාත් තාවකාලිකව ඒකාබද්ධ කර ඒවා සාම්ප්‍රදායික ද්‍රවිඩ නිජභූමි ලෙස රජය පිළිගත්තේය. මෙය කොතරම් ද්‍රෝහී ක්‍රියාවක්ද? නැඟෙනහිර 1921 වනවිට ද්‍රවිඩයන් 35% ක් පමණක් සිටි බව එවක පැවැති ජන සංගණනයෙන් හෙළි වී ඇත. නමුත් පුදුම සහගත ලෙස උතුරු නැඟෙනහිර පළාත් 1987 වනවිට ඔවුන්ගේ නිජබිමක් වීය. නමුත් 1815 තෙක් උතුරේ පවා සිංහල ජනාවාස තිබුණ මහනුවර රාජධානියෙන් පාලනය වූ තමන්කඩුව දෙමළ නිජබිම වූයේ කෙසේද? අනෙක් අතට යාපනයේ ද්‍රවිඩ රජවරු පාලනය කරත්දී පවා ඒ ප්‍රදේශවල බහුතර ජනයා සිංහලයන් මිස ද්‍රවිඩයන් නොවීම කාටත් අමතකය. වාර්ගික පදනම හා ඉතිහාස පදනමකින් තොරව ‘උතුරු නැඟෙනහිර ද්‍රවිඩ නිජභූමියක් ලෙස පිළිගෙන එකතුකිරීම’ සිංහල ජනයාට කරන ලද විශාලම අසාධාරණයයි.

තමන් ප්‍රගතශීලී බව පෙන්වන 13 ට පක්ෂ පිරිස් දන්නා එකම දෙය උතුරු-නැගෙනහිර සිංහල උරුමය සහමුලින්ම අහිමි කරන දෙමළ වර්ගවාදය පිළිගැනීම පමණි. ඔවුන්ට යාපනයේ මෑත කාලීන දෙමළ ජනාවාස පාරම්පරික දෙමළ නිජබිම බව පිළිගැනීමේදී අඩු තරමින් සිංහලයන් ඊට අන්තර්ගත නොවීම ගැන හෝ ප්‍රශ්න කරන්නේ නැත. ඒ ඊනියා ප්‍රගතශීලී කමේ හැටිය. මෙහිදී මහා සංඝරත්නය දන්නා එකම දෙය වන පිටපත කියවා රඟපෑම අපට නම් ප්‍රශ්නකාරීය. ඒ ඇයි? භික්ෂුව විසින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම දෙමළ කතා කරන ජනතාව අතර පැතිරවීමට අසමත් වීමෙන් ජාතීන් අතර විවිධත්වය පවත්වා ගැනීමට සහ ඒකත්වය ඇති නොවීමට බලපෑවේය. දෙමළ සහ සිංහල භාෂා වලින් කතා කරන ජනතාව අතර පොදු එකඟතාවක් ඇති කිරීමට බුදු දහම අතීතයේ සිටම උපකාරී වී ඇතත් මේ සුවපත් කිරීමේ දුෂ්කර කාර්ය ඉෂ්ට කිරීමට සංඝයා වහන්සේ පුදුම සහගත ලෙස උනන්දු නොවීය. දෙමළ ජනතාව සදහටම හින්දූන් වී සිටිනු දැකීම ඔවුන්ගේ කැමැත්ත වූ බව පෙනෙයි. සිංහල බෞද්ධයන්ගේ අනෙකා ලෙස ‘දෙමළ සතුරා නඩත්තු කිරීමේ වුවමනාව’ වුමනාවටත් වඩා හොඳින් ඉටු වී ඇත. දකුණේ දී පිංකම් කිරීම තරම් පහසුවෙන් උතුරේ දී දෙමළ ජනතාවට බුදු දහම ගෙනයෑම කළ නොහැකිය. ඒ සඳහා ඇවතුම් පැවතුම් සීල ප්‍රතිපදා මහ ඉහළින් ඕනෑ කරයි. තුලනාත්මක ආගම් පිළිබඳ දැනුම ඕනෑ කරයි.

මේ නිසා උතුරේ බෞද්ධයන් හැදීම වෙනුවට කාත් කවුරුවත් නැති හංදිවල පිළිම ගෙවල් හදා කොළඹ වැඩම කිරීම උන් වහන්සේලා තෝරා ගෙන ඇති මාවත බව පෙනෙයි. සංඝයා මේ ඉන්නා මට්ටමින් ගිය හොත් දෙමළ ජනතාව භාර ගන්නා බව පිළිගැනීම දුෂ්කරය. කිසිදු නිකායකින් දෙමළ භාෂාවෙන් බණ කීමට ප්‍රමාණවත් භික්ෂූන් පිරිසක් පුහුණු නොකිරීම බලවත් පාඩුවකි. මේ නිසා භික්ෂූන් වහන්සේ ගත යුතු මග වන්නේ දෙමළ බෞද්ධයන් බිහිකිරීමෙන් සංස්කෘතිකමය ලෙස දෙමළ ජනතාව සිංහල ජනතාව හා ඒකාත්මික කළ යුතුය. දෙමළ-සිංහල සමාජයට එකඟ විය හැකි පොදු උරුමයක් තිබිය යුතුය. මේ වෙනුවෙන් දේශපාලකයාට වඩා වැඩි බලපෑමක් කළ හැක්කේ භික්ෂුවටය.

ලලීන්ද්‍ර සන්නස්ගම

advertistmentadvertistment
advertistmentadvertistment