13 ගැන මැතිවරණ පොරොන්දුවක් නැහැ – කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

105

බලයේ සිටින අය බලයෙන් පහ කිරීම හෝ වෙනත් කෙනකු බලයට ගෙන ඒම අරමුණ නෙවෙයි

13 වන සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක් බැවින් එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්ම කරන බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමග ම යළිත් එම සංශෝධනයට එරෙහි පාර්ශ්වයන් සිය විරෝධය ප්‍රකාශ කිරීම ආරම්භ කර ඇත. පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී 13 ට එරෙහිව භික්‍ෂුන් වහන්සේගේ උද්ඝෝෂණයක් පැවත්විණි. එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයක දී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළා. පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී රාජාසන කතාව පවත්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා පොලිස් බලතල ලබා නොදෙන බව. 13 වන සංශෝධනය පිළිබඳව ජනාධිපතිවරයාගේ නව ස්ථාවරය පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – 13 වන සංශෝධනය ගෙන ඒමට පෙර සිට ම රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ සිංහල – බෞද්ධ යන ස්ථාවරයේ නොවෙයි. එතුමා සැමදාම හඳුන්වා ගනිමින් සිටියේ ජාත්‍යන්තරවාදියෙක්, ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙස තමයි. එම නිසා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් 13 වන සංශෝධනය බලාත්මක කිරීම වැනි දෙයක් මිස වෙන දෙයක් අපේක්ෂා කිරීමට බැහැ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ 1987 දී තමයි. එදා සිට මේ දක්වා එම සංශෝධනයට අපි විරුද්ධයි. අපි එම සංශෝධනයට එරෙහි වූයේ කාරණා කිහිපයක් නිසා තමයි. පළමු කාරණය තමයි සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට තිබෙන එකම රට මේ රට වීම. සම්බුද්ධ ශාසනය කියන්නේ ලෝකයට ගෙන එන ශාන්තියේ ප්‍රකාශනයක් මිස ප්‍රමණාත්මකව වර්ධනයක් අපේක්ෂා කරන දේශනයක් නොවෙයි. මෙම දේශනයේ අරමුණ ලෝකයට ශාන්තියක් ගෙන එම. එම දේශනය ආරක්ෂා කිරීමට තිබෙන එකම භූමිය මේ රට තමයි. එම රට කොටස් කිහිපයකට කැඩීම නුසුදුසුයි කියන ස්ථාවරයේ සිට තමයි 13 වන සංශෝධනය ගෙන එනවාට අපි එරෙහි වූයේ.

දෙවන කාරණය තමය,ි මෙම සංශෝධනය මෙරට ජනතාව ඉල්ලපු එකක් නොවීම. ඒ වගේම මෙහෙම සංශෝධනයක් ගෙන එන බව මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබා දීලත් නැහැ. ඒ වගේම මෙහෙම සංශෝධනයක් සඳහා ජනතාව ඡන්දය ප්‍රකාශ කරලත් නෑ. එම හේතු සාධකයන් නිසාත් අපි මෙම සංශෝධනයට විරුද්ධයි.

අපි 13 වන සංශෝධනයට එරෙහි වීමට බලපෑ 3 වන හේතුව තමයි එම සංශෝධනය ගෙන එන අවස්ථාවේ දී සඳහන් කළ කාරණය මේ වනතුරු සිද්ධ වී නො තිබීම. මෙම සංශෝධනය ගෙන එන අවස්ථාවේ දී සඳහන් කළා එය ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස ගෙන එන බව. නමුත් 13 වන සංශෝධනය ගෙන ආවත් ඔය කියන ජනවාර්ගික අර්බුදය මේ වනතුරු අවසන් වෙලා නෑ. එහෙම වුණා නම් විග්නේශ්වරන් මහතාට කතා කිරීමට දෙයක් ඉතිරි වෙන්න විදියක් නැහැනේ. මේ වනවිට මෙම සංශෝධනය සම්මත කරලා දශක කිහිපයක් ම ගත වී තිබෙනවානේ. ඒ අනුව පැහැදිලි වන දේ තමයි 13 වන සංශෝධනය ලබාදුන්නා කියලා බෙදුම්වාදීන්ගේ බෙදුම්වාදී පිපාසය අවසන් වන්නේ නැහැ කියන එක. පොලිස් බලතල සහ ඉඩම් බලතල ලබාදුන්නත් එම පිපාසය අවසන් නොවන බවත් ඒ අනුව පැහැදිලි වෙනවා. එයත් ඩොනමොර් නිදහස ලබාදුන්නා කියලා මෙරටට නිදහස ලබාගැනීමේ පිපාසය අවසන් නොවුණා වගේ තමයි. ඩොනමොර් නිදහස කියන්නේ මේ රටට නිදහස ලබාගැනීමේ එක් පියවරක් පමණයි. ඒ අනුව පැහැදිලි විය යුතුයි මේ රට බෙදා වෙන් කිරීමේ එක් පියවරක් ලෙස පමණක් මෙම ව්‍යවස්ථා සංශෝධනය යොදා ගන්නා බව. එම කාරණයත් බලපෑවා අපි 13 වන සංශෝධනයට එරෙහිව වීමට.

අපි 13 වන සංශෝනයට එරෙහි වීමට බලපෑ 4 වන කාරණය තමයි 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කළහොත් ඒ සමග ම ස්වාධීන තීරණ ගත හැකි රාජ්‍යයන් 9 ක් බිහිවීම. ඒ බලය අනුව උතුරු පළාතට හැකියාව තිබෙනවා අපේ පළාතේ ප්‍රධාන ආගම බුද්ධාගම බවත්, අනෙකුත් ආගම් දෙවන හා තුන්වන ආගම් ලෙසත් තීරණය කිරීමට. ඒ ආකාරයකට උතුරු පළාතට හින්දු ආගම ප්‍රධාන ආගම ලෙසත්, නැඟෙනහිරට අපේ ප්‍රධාන ආගම ඉස්ලාම් ආගම ලෙසත් තීරණය කිරීමේ හැකියාව එනවා. එම තීන්දුව ගන්න ගමන් එම ප්‍රදේශයේ තිබෙන සකලවිධ නෂ්ඨාවශේෂයන් ඉන් පැහැදිලිව විනාශ කර දමනවා. කිසිදු නෛතික බලයක් නොමැතිව මේ වනවිටත් විවිධ කටයුතු සිද්ධ කරනවා නම් නෛතික බලයක් ලැබුණු පසු කෙසේ කටයුතු කරනවා ද කියන එක අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැහැ.

රටවල් 9 ක් ඇති වූ පසුව ප්‍රතිප්තති 9 ක් තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ යටතේ සාමාන්‍ය පෙළ විභාග 9 ක්, උසස් පෙළ විභාග 9ක් පැවැත්වීම වළක්වන්න හැකි වන්නේ නැහැ. ඒ අනුව විශ්වවිද්‍යාල 9ක් ඇති වීම වළක්වන්න බැහැ. ඒ වගේම වාර්ගික විරසකයන් වර්ධනය වෙනවා. මිනිසුන් එකිනෙකා පරයායෑමේ නොනිමි ආශාවෙන් පෙළෙන නිසා මෙම රටවල් අතර යුද්ධ පවා ඇති වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම වීසා නමින් හෝ බලපත්‍ර නමින් හෝ එක් පළාතක සිට තවත් පළාතකට යෑම සඳහා පුද්ගලයන්ට සහ වාහනවලට බලපත්‍රයක් ලබාගැනීමට සිද්ධ වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම තමාගේ පළාත ආරක්ෂා කර ගැනීම සඳහා පොලිස් නමින් හෝ වෙනත් නමකින් හෝ නිල ඇඳුම් සහිතව හෝ රහිතව හෝ විශේෂිත පුද්ගල කණ්ඩායම් යෙදවන්න ඉඩ තිබෙනවා. ඒ අනුව පොලිස් බලතල නොදී සිටියත් පොලිස් නොවන බලයක් පාවිච්චි කරන ආරක්ෂක අංශයක් යෙදවීමේ හැකියාව තිබෙනවා. දැනුත් පොලිසියට අමතරව ආරක්ෂාව සපයන වෙනත් ආයතන තිබෙනවානේ. දැන් තිබෙන නීතිය යටතේ ආරක්ෂක සමාගම් ආරම්භ කිරීමට පුළුවන් නම් පළාත් සභාවට ආරක්ෂක අංශයක් ආරම්භ කිරීමට බැරි වන්නේ නැහැ. එම ආරක්ෂක අංශය ඇතුළු වීම හෝ පිටවීම හෝ පරීක්ෂා කිරීමට යොදවා ගැනීමේ හැකියාව පවතිනවා.

පොලිස් බලතල ලබාදීමේ සුදුසුකමක් ලෙස තමයි ඉඩම් බලතල ලබා දෙන්නේ. අපි 13 වන සංශෝධනයටත්, එය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමටත් එරෙහි වන්නේ එම හේතු සාධකයන් නිසා තමයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා සඳහන් කරලා තිබෙන්නේ 13 වන සංශෝධනය මේ වනවිටත් ව්‍යවස්ථාවට එක්කර ඇති නිසා එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව තමයි.ජනාධිපතිතුමාගේ එම ස්ථාවරය සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – 13 වන සංශෝධනය, සංශෝධන සහිතව හෝ රහිතව හෝ ක්‍රියාත්මක නො කළ යුතුයි. ඒ කියන්නේ පළාත් සභා එපා කියන එක තමයි. ජනතාව 225 ම එපා කියනවා නම් ඉන් මෙහා සිටින හාරසිය ගණන් ඕනි කියන්න විදියක් නැහැනේ.

මේ රටේ පරිපාලන බලතල විමධ්‍යගත කරනවා කියන එකයි, 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියන්නේ දෙකක්. සමහර දේශපාලනඥයන් සිතනවා මධ්‍යගතකරණය නිසා යාපනයේ සිටින ළමයින්ට සාමාන්‍ය පෙළ සහතිකය ගැනීමට කොළඹ එන්න සිද්ධ වෙන බව. තාක්ෂණය ඉතා දියුණුව තිබෙන මෙම යුගයේ දී තමන්ගේ සහතිකය ගෙදර සිට ම ලබාගැනීමට හැකි වෙන ලෙස කටයුතු සූදානම් කිරීමට පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා බලය බෙදන්න අවශ්‍ය නැහැ. බලය කියන එක බෙදුව විට දුර්වල වෙනවා. බලය දුර් කරන එකට තමයි දුර්වල කියන්නේ. සම්පත් සියල්ල රාජ්‍ය සතුවිය යුතුයි. නමුත් භූක්තිය ජනතාව සතුවිය යුතුයි. අයිතිවාසිකම කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ රයිට්ස් (Rights) කියලා. අයිතියට කියන්නේ වන් (one) කියලා මගේ ඉඩම මට අයිති නම් ඔබට අයිති නෑ. ඔබට අයිති නම් මට අයිති නෑ. නමුත් මට භූක්ති විඳීමට අයිතියක් තිබෙනවා නම් එය උල්ලංඝනය වන්නේ නැහැ. අයිතිවාසිකම් සියලු ජනතාවට තිබෙනවා. සම්පත් විමධ්‍යගත කරන්න පුළුවන්. නමුත් බලවත් රාජ්‍යයක් අවශ්‍ය නම් බලය විමධ්‍යගත කිරීමට බැහැ.

ප්‍රශ්නය – පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුව අසල දී 13 වන සංශෝධනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැතියා. එම අවස්ථාවට ඔබ වහන්සේත් එක් වී සිටිනවා අපි දුටුවා. එම අවස්ථාවට එක් වී සිටි සමහර භික්ෂුන් වහන්සේ අපි මීට පෙර 13 ට එරෙහිව බෙදුම්වාදයට එරෙහිව පැවැති උද්ඝෝෂණවලදී දැක නැහැ. එම භික්ෂුන් වහන්සේ සමගි ජන බලවේගයට හිතවත් අය බවටත් තොරතුරු තිබෙනවා.එම කාරණය සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර- සටන් කිරීමත්, සටන පිරිසිදුකර ගැනීමත් දෙකක්. එම නිසා කූට සහ ව්‍යාජ අරමුණ ඇතිව ව්‍යාජ මුහුණුවරින් යම්කිසි අයෙක් කටයුතු කරනවා නම් ඒක වැරදියි.

13වන සංශෝධනයට එරෙහි සටන පාරිශුද්ධ එකක් විය යුතුයි. එම සටන හුදකලා සටනක් කිරීම සඳහා හෝ වෙනත් අරමුණක් සඳහා යොදා ගැනීම සිදුනොවිය යුත්තක්. එම නිසා මෙම සටන තුළ තිබිය යුත්තේ 13 වන සංශෝධනය නමැති සතුරා පරාජය කිරීමේ අරමුණ පමණයි. එසේ නොමැතිව බලයේ සිටින අය බලයෙන් පහ කිරීම හෝ වෙනත් කෙනකු බලයට ගෙන ඒම මෙම සටනේ අරමුණ වන්න බැහැ.

13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු බව ප්‍රකාශ කරන අතරම අපි යෝජනා කරනවා අලුතින් සකස් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ගෙන එන්න කියලා. එම ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපතිතුමාට භාර දී තිබෙනවා. එම ව්‍යවස්ථා කෙටුම්පත මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබිය යුතුයි.

අන්න එම ව්‍යවස්ථා කෙටුම්පත මහජනතාවට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සංවාදයක් පවත්වල ඒ පිළිබඳව යෝජනා අරගෙන අවශ්‍ය සංශෝධනයන් තිබේනම් කරලා එය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හැර මෙම සටන එක් එක් දේශපාලනඥයා බලයට ගෙන ඒම සඳහා හෝ එක් දේශපාලනඥයෙක් පරයා තවත් දේශපාලනඥයෙක් ඉදිරියට ගෙන ඒම සඳහා යොදා ගැනීම මෙම සටනේ පාරිශුද්ධ භාවය කෙළසීමක් වනවා.

ප්‍රශ්නය- ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පැවැති ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණය තුළ මෙරට ඒකීය භාවයට එරෙහි ලක්‍ෂණ දක්වා තිබුණා. නමුත් එම උද්ඝෝෂණයට සහභාගි වූ සමහර භික්‍ෂූන් වහන්සේ පසුගිය 08 දා පාර්ලිමේන්තුව අසල පැවැති උද්ඝෝෂණයට එක්වී සිටින අයුරු දකින්න ලැබුණා.ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර- පීනන්න කැමැති කෙනාගේ ස්වභාවය තමයි පොකුණක් හම්බ වුණත් පීනනවා. මඩවළක් හම්බ වුණත් පීනනවා. ඒ වගේ ම කලබලයක්, කලබගෑනියක් අවශ්‍ය කෙනකුට ඕනෑම කලබගෑනියකට සහභාගි වෙන්න පුළුවන්. 13 ට එරෙහි සටනට එක්විය යුත්තේ එම සටන පාවා නොදෙන අය සහ එම සටන තමන්ගේ පෞද්ගලික අරමුණු සඳහා යොදා නොගන්නා අය තමයි. නමුත් සෑම සටනක වගේම පාවා දෙන්නන් සටන තමන්ගේ පෞද්ගලිකත්වය සඳහා යොදා ගන්නන් සිටිනවා. එදා සටන තුළත් එහෙම අය සිටියා.

ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික භික්‍ෂු පෙරමුණ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර තිබෙනවා ධනපතියන්ගේ අවසාන තිප්පොළ ජාතිය සහ ආගම බව.එම නිවේදනයේ සඳහන් කර තිබෙන ආකාරයට ඔබ වහන්සේ මේ වනවිට 13 ට එරෙහිව කටයුතු කරමින් සිටින්නේ ධනපති පන්තියක් ආරක්‍ෂා කිරීම සඳහා ද?

පිළිතුර:- 13 වන සංශෝධනය ප්‍රකාශයට පත්වූ අවස්ථාවේ දී ජනතා විමුක්තකි පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. විජේවීර මහතා එම ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙනවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගත යුතු බව.

‘පලා බබා අපට එපා’ කියලා අපටත් පෙර සටන් වැදුණේ ඔවුන්.

ප්‍රශ්නය:- විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා ෆෙඩරල් අරගෙනම තමයි පස්ස බලන්නේ කියලා. විග්නේශ්වරන් මහතාට එම කටයුත්ත කරන්න පුළුවන් වේවි ද?

පිළිතුර:- බෙදුම්වාදියා, බෙදුම්වාදය සඳහා යන ගමන නොනවත්වන බව තමයි මම පළමුවෙන් ප්‍රකාශ කළේ. බෙදුම්වාදයට යටත් වෙනවා ද? නැතිනම් ඊට එරෙහිව කටයුතු කරනවා ද කියන කාරණය තමයි දැන් තිබෙන්නේ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment