13 නිසා වන හානියේ වගකීම ජනපතිම භාරගන්න ඕනෑ

106

නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම ප්‍රකාශයට පත් කරන්න – ජාතික සංවිධාන එකමුතුව ජනපතිට ලියයි

සියලු ජනවර්ගවල අපේක්‍ෂාවන් ඉටුකළ හැක්කේ බෙදුම්වාදී දේශපාලනඥයන් සනසන 13 වන සංශෝධනය බලාත්මක කිරීමෙන් නොව නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බැවින්, දැනට ජනාධිපති කාර්යාලය වෙත භාරදී ඇති විද්වත් කමිටු වාර්තාව හා නව ව්‍යවස්ථා කෙටුම්පත වහාම ප්‍රකාශයට පත්කර ක්‍රියාත්මක කරන ලෙසත් ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් දන්වා සිටී.

එම සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යවා ඇති ලිපියේ මෙසේ ද දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා සිය ජනවරම අනුව රට මුහුණ දෙන බරපතළ ප්‍රශ්න රාශියකට හේතුවී ඇති පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරනු ලැබීය. එහෙත් ඔහු විසින් එම කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීම හිතාමතාම අතපසු කළ අතර, හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ ඔබතුමා ද නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම වෙනුවට 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ උත්සාහයක යෙදී සිටින බව නිරීක්‍ෂණය වන බැවින් ඒ තුළින් රටටත් ජනතාවටත් සිදුවන හානියේ වගකීම ඔබතුමා විසින් භාරගත යුතුව ඇත.

නව ව්‍යවස්ථාවක් මගින් උතුරේ ජනතාවගේ ද සාධාරණ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන අතර ඒ තුළින් බෙදුම්වාදී දේශපාලනඥයන් පරාජය කිරීමේ හැකියාව ලැබේ. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ අපේක්‍ෂා ඉටුවන නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම තුළින් ඔබතුමා කෙරෙහි ජනප්‍රසාදය හිමිවී ඉදිරි ජනාධිපතිවරණයේදී නැවතත් රටේ නායකත්වයට පත්වීමේ හැකියාව ද ඔබතුමාට ලැබෙනු ඇත යැයි එම ලිපියේ සඳහන් කර ඇත.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment