13 බලාත්මක කරන්න ඡන්දය පවත්වා පළාත් සභාවලට බලතල දෙන්න  

211

ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනිපාන්ඩේ ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ ඉල්ලීම් ජිනීවා කවුන්සිලයට
චීනය, රුසියාව, ඉරානය, පාකිස්තානය හා උතුරු කොරියාව ශ්‍රී ලංකාවට සහාය දෙයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, පළාත් සභාවලට බලතල පැවරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාව ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දීය නියෝජිත ඉන්ද්‍රා මනිපාන්ඩේ මහතා පෙරේදා (12දා) ප්‍රකාශ කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය පසුගිය 12 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. එහිදී ඉන්දියාව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කළ ඉන්ද්‍රා මනි පාන්ඩේ මහතා “ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව පිළිබඳ ඉන්දියාවේ ස්ථීර දැක්ම වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට යුක්තිය, සාමය, සමානාත්මතාව සහ අභිමානය සහතික කරන එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ දේශපාලන විසඳුමක්” යැයි පැවසීය.

කඩිනමින් මැතිවරණ පවත්වා පළාත් සභා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සෞභාග්‍යමත් අනාගතයක් සඳහා වූ මහජන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව චීනය, රුසියාව, ඉරානය, පාකිස්තානය හා උතුරු කොරියාව ප්‍රකාශ කර තිබේ.

51 වැනි මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව චීන තානාපති චෙන් ෂු මහතා ප්‍රකාශ කර තිබේ. එසේම රුසියානු, ඉරාන හා සිරියානු තානාපතිවරුන්ද ලංකාවේ ස්ථාවරය සමග එක්වෙමින් අදහස් දක්වා ඇත.

මානව හිමිකම් සැසියට සහභාගි වීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ද ඇතුළත් වෙති. එසේම අරගල ක්‍රියාකාරී නීතිඥ නුවන් බෝපගේ මහතා ද මානව හිමිකම් කවුන්සිලය අමතා නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව තමා ඇතුළු විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් කර තිබිණි.

මේ අතර නවසීලන්ත නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කර ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා සාමකාමී විරෝධතා පැවැත්වීමේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය මගින් තහවුරු කළ යුතු බවය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment