13 වන සංශෝධනය ගැන තීරණ ආවට ගියාට ගන්නේ නෑ – අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා

46

ආණ්ඩුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට මැතිවරණ වියදම් නියාමන පනත නමින් වූ පනතක් ඉදිරිපත් කර ඇත. එම පනත ඉදිරිපත් කරන ලද්දේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා බව විපක්‍ෂයේ චෝදනාව වී තිබේ. එම චෝදනාවන් පිළිබඳව මෙන්ම 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳ පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී කළ ප්‍රකාශය පිළිබඳ අප අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටියෙමු. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – මැතිවරණ වියදම් නියාමන පනත යොදා ගනිමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවට විපක්‍ෂය චෝදනා කරනවා. එම චෝදනාව සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – එම පනත මෙම මොහොතේ ඡන්දය කල් දැමීම සඳහා සකස් කළ එකක් නො වෙයි. මෙම පනත කෙටුම්පත් කරලා මේ වනවිටත් වසර දෙකකට වඩා කාලයක් ගත වී තිබෙනවා. මේ පිළිබඳව පසුගිය වසර 15ක් 20ක් පුරා සාකච්ඡා කළා. මැතිවරණ කොමිෂන් සභාවත් මේ සඳහා මැදිහත්වෙලා තිබෙනවා.

ප්‍රමාද වී තිබුණ පනතක් තමයි අපි උඩටට ගත්තේ. ඒ සමග ම මැතිවරණයක් ආවා. මෙම පනත ගෙන එන්නේ පාතාලයේ, කුඩුකාරයන්ගේ, කසිප්පු මුදලාලිලාගේ, දාමරිකයන්ගේ මිල මුදල්වලින් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තේරී පත්වන එක නවත්වලා උගතුන්, බුද්ධිමතුන්, සමාජ සාධාරණත්වය පිළිබඳව සිතා කටයුතු කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම සඳහා. එසේ නො මැතිව වෙන අරමුණක් මෙම පනත ගෙන එම සඳහා බලපෑවේ නෑ.

ප්‍රශ්නය – මෙම පනත ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහාත් අදාළ වෙනවා ද?

පිළිතුර – බොහෝ දුරට මෙම පනත අදාළ කර ගැනීමට නො හැකි වෙනවා. මෙම පනත සම්මත වෙලා කථානායකවරයා ඊට අත්සන් තබන අවස්ථාව වනවිට නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබේවි. ඊට පසුත් මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රෙගුලාසි සකස් කළ යුතු වනවා. ඒ සඳහා බලය ලබාදී තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඒ සඳහාත් මාසයක දෙකක කාලයක් ගතවේවි. එම නිසා මට හිතනවා මෙම පනත ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ නොවේවි කියලා. නමුත් පවතින තත්ත්වයන් අනුව අදාළ වනවාද නැද්ද කියන එක අපට තීරණය කිරීමට බැහැ. ආණ්ඩුවට තිබුණ බලතල මැතිවරණ කොමිෂමට ලබාදීලා තිබෙනවා. එම බලතල අනුව මෙම පනත ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ වනවාද කියන එක මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනව තීරණය කරාවි.

ප්‍රශ්නය – යම් පාර්ශ්වයක් මෙම පනතට එරෙහිව අධිකරණය හමුවට ගිය හොත් එම කටයුතු නිසා පළාත් පාලන මැතිවරණය සති කිහිපයකින් හෝ කල්යන බවට මත පළ වී තිබෙනවා. ආණ්ඩුව ඉදිරි පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා එම ක්‍රියාමාර්ගය අනුගමනය කළ හැකි බවටත් මත පළ වී තිබෙනවා.එම මතවාදයන් සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක් ද?

පිළිතුර – ඡන්දය කල් දානවද නැද්ද කියන එක අධිකරණය තීරණය කරාවි. මෙම පනත ගෙන ඒමට පෙර ඡන්දය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. පසුගිය 18 වැනි දාත් එම නඩුව කැඳවූවා. මෙම පනත පදනම් කරගෙන නම් මේ දක්වා කිසිවකු අධිකරණය හමුවට ගිහින් නැහැ.

ප්‍රශ්නය – පවතින ආර්ථික සහ දේශපාලන තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුව හොත් අස්ථාවර පළාත් පාලන ආයතන ඇති වී අය-වැය හෝ සම්මත කර ගැනීමට නො හැකි තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – ස්ථිර වශයෙන්ම. මම පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ දී ඡන්දයක් තිබ්බොත් මේ රටේ කිසිදු දේශපාලන පක්‍ෂයකට 30% ක් ඡන්දය ලබාගත නො හැකි බව. එම තත්ත්වය තුළ පළාත් පාලන ආයතනවල සභාපතිවරයකු හෝ පත්කර ගැනීමට නො හැකි තත්ත්වයක් ඇති වෙනවා. පත්කර ගත්තත් එම සභාපතිවරුන්ට වැඩ කරන්න දෙන්නේ නැති තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. එම නිසා විශාල අවුලකට යනවා.

දැනට පවතින පළාත් පාලන ඡන්ද ක්‍රමය සකස් කරලා තිබෙන්නේ ම අවුල් සහගත ක්‍රමයකට. පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු ම දේශපාලන පක්‍ෂ දායකවෙලා තමයි මෙම පාපකර්මය කළේ. මම එම අවස්ථාවල දී පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත්වලට මගේ විරෝධය ප්‍රකාශ කරලා පැත්තකට වෙලා සිටියා. නමුත් එම සංශෝධන ගෙන ඒම සඳහා අනෙක් සියලු දෙනාම එක හඬින් පෙනී සිටියා.

ප්‍රශ්නය – එම සියලු සාධකයන් සලකා බැලූවිට මෙම අවස්ථාවේ දී ඡන්දයක් පැවැත්වීම සුදුසු ද නැද්ද යන්න පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර – මේක ඡන්දයක් පවත්වන්න සුදුසු අවස්ථාවක් නො වෙයි. එක් අතකින් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. අනෙක් අතට අපේක්‍ෂකයන් තේරීම සඳහා හෝ මැතිවරණ පැවැත්වීම සඳහා සුදුසු මානසික තත්ත්වයක් නැහැ. ඒ වගේම භාණ්ඩාගාරයට ඔරොත්තු දෙන්නෙත් නැහැ. අපි අත්දැකීමෙන් දන්නවා ඡන්ද සඳහා භාණ්ඩාගාරය බිලියන 10ක් වියදම් කරනවා නම් අපේක්‍ෂයන් සහ පක්‍ෂ විසින් ඒ වගේ දහ ගුණයක් වියදම් කරන බව. මේ වගේ අසීරු කාලයක ඒ වගේ කටයුතු කරන්න පුළුවන් ද? එක එක් කාරණයක් පමණයි.

අනෙක් කාරණය තමයි පවතින ඡන්ද ක්‍රමය යටතේ දැන් නොවෙයි තවත් වසර 5කින් මැතිවරණය පැවැත්වුවත් රටට වැඩක් වෙන්නේ නැහැ. පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. එම නිසා මම මීට මාස 4කට පෙර පාර්ලිමේන්තු කාරක සභාවක් ඉල්ලා සිටියා. නමුත් එය පත්කිරීම ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ හරහා අලුත් ක්‍රමයකට ගිහිල්ලා මිස මේ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමෙන් කවුරු පත්වුවත් ජනතාවට ඵලක් නැහැ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා පසු ගියදා යාපනයේ දී ප්‍රකාශ කළා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔබ සමග හෝ කැබිනට් මණ්ඩලයේ දී සාකචඡා කළා ද?

පිළිතුර – ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් ඇවිත් අපත් සමග සාකච්ඡා පවත්වනවා. එය කරනවා ද මොන පදනමක් උඩ කරනවා ද කියන කාරණය පිළිබඳව. ආණ්ඩුවක් විධියට අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්නේ. ජනාධිපතිතුමා එතුමාගේ අදහස ප්‍රකාශ කරල තිබෙනවා. එම ප්‍රකාශය කරල තිබෙන්නේ මේ රටේ සංහිඳියාව සඳහා අවශ්‍ය යම් කාරණා කරන්න තිබෙනවා නම් අපි එය කරනවා යන මතයේ ඉඳගෙන.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා යාපනයට ගොස් සාකච්ඡා කරලා තිබෙන්නේ 13 වන සංශෝධනයේ සඳහන් වන ඉඩම් බලතල පිළිබව ද?

පිළිතුර – නැහැ. යුද්ධ කාලයේ දී හමුදාව විසින් පුද්ගලික ඉඩම් භාරගෙන පරිහරණය කළා. එම ඉඩම් නැවත අයිතිකරුවන්ට භාරදිය යුතුව තිබුණා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම පලාලි ගුවන් තොටුපළ සඳහා අත්සන් කර ගත් ඉඩම් සම්බන්ධයෙන් වන්දි ගෙවීම පිළිබඳවත් කාරණයක් තිබෙනවා. ඉඩම් යනුවෙන් අදහස් කළේ එම කාරණා පිළිබඳව තමයි.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment