13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්න

194

ජානිපෙන් දස වැදෑරුම් යෝජනාවලියක්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාවට ප්‍රකාශ කරන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර වළකාලීමට දස වැදෑරුම් යෝජනාවලියක් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ලිපියක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (16 දා) යොමුකර ඇත.

එහි පහත යෝජනා ද ඇතුළත් කර තිබේ.

රාජ්‍යයේ විධායක බලය ඉතා පුළුල් ලෙස පළාත් පාලන ආයතන මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සහ ඊට අනුකූලව ජනසභා පිහිටුවීම මගින් මහජනයාට රාජ්‍ය පාලනයට සහභාගි වීම සඳහා අවකාශය සැලසීම.

එසේ විමධ්‍යගත කෙරෙන විධායක බලය සංවිධිතව සහ ප්‍රතිඵලදායක ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නියෝජනයෙන් පළාත් සංවර්ධන සභා පිහිටුවිය යුතුය. එසේම පළාත තුළ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ බලය සහිත අවම අමාත්‍ය මණ්ඩලයක් පත්කළ යුතු අතර ඒ සඳහා ඔවුනට විශේෂිත වරප්‍රසාද ලබා නොදිය යුතුය.

රටේ සියලුම ජනතාවට ජාතිකත්වය, භාෂාව හෝ ආගම අනුව වෙනස්කමක් සිදුනොකරන බව සහතික කිරීම සඳහා අයිතිවාසිකම් කොමිසමක් නීතිගත කිරීම.

උතුර සහ නැඟෙනහිර පළාත්වලට විශේෂිතව සහ සෙසු පළාත්වල ජනතාව විශේෂයෙන් ම දෙමළ ජනතාව කුල පීඩනයෙන් ගලවා ගැනීම සඳහා බහුපාර්ශ්වීය කාර්යසාධක බලඇණියක් පිහිටුවිය යුතුය.

බෙදුම්වාදය සහ ආගමික අන්තවාදය ප්‍රචලිත කිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ශක්තිමත් කරන අතර නව නීතියක් හඳුන්වා දිය යුතුය.

උතුරු සහ නැඟෙනහිර පළාත්වල මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගැටුම් නිසා පීඩාවට පත්ව සිටින ජනතාව නිසි ලෙස නැවත පදිංචි කිරීම සහ ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය සේවා ලබදීම මෙන්ම ආර්ථික ඉඩ ප්‍රස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂිත ජාතික අරමුදලක් පිහිටුවිය යුතු අතර, ඊට දායක වන ලෙස මාසික වැටුපක් ලබන සෑම රටවැසියකුගෙන් මෙන්ම ව්‍යාපාරික ආයතන සහ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිය යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සියලුම සැකකරුවන්ට නිශ්චිත කාල වකවානුවක් තුළ නඩු පැවරීම හෝ එසේ නොමැති නම් ඔවුන් නිදහස් කිරීම හෝ පුනරුත්ථාපනයට යොමු කිරීම කළ යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මගින් ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම හෝ ඊට විකල්පයක් ලෙස ඊට වඩා මර්දනකාරී ප්‍රතිත්‍රස්ත පනතක් හඳුන්වාදීම වෙනුවට පවතින පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයේ අධීක්‍ෂණයට යටත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කළ යුතුය.

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට හැකිවන ලෙස මෙන්ම පොලිසිය සහ විදේශ තානාපති සේවා ඒකාබද්ධ කෙරෙන යාන්ත්‍රණයක් සහිතව නැවත පිහිටුවිය යුතුය. එමගින් සැබෑ ලෙසම අතුරුදන් වූවන්ට මරණ සහතික නිකුත් කිරීම සහ වන්දි ගෙවීම කාර්යක්‍ෂම කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා, පද්ධතියක් ලෙස යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල කිරීම මගින් බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට තල්ලු කිරීම සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අතර සැකය අවිශ්වාසය සහ වෛරය වැපිරීම සඳහා දියත් වන ක්‍රියාවලිය පරාජය කිරීම මගින් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා එම චෝදනාවලට නිසි පිළිතුරු බැඳීම මගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතුය.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment