13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට අදාළව ජනපති හා විපක්‍ෂ නායක මතය අතර කිසිදු වෙනසක් නෑ – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර

1

13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය අතර කිසිදු වෙනසක් හෝ ගැටුමක් නොමැති බව පැහැදිලි යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.

මේ පිළිබඳ අමරසේකර මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ.

ඔබතුමා විසින් මීට පෙර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ඉල්ලීම පරිදි එම සංශෝධනයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන වගන්ති 2ක් ඇතුල් කළ බව හෙළිදරව් වීමය.

ඔබතුමාගේ පියා 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අකමැත්ත ප්‍රකාශ කළද පසුව 13 වැනි සංශෝධනයට පක්ෂව අත ඔසවනු ලැබුවේය. නමුත් ඔහු කිසිදු අවස්ථාවක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ප්‍රකාශ නොකළ අතර ජනාධිපතිවරයෙකු ලෙස ඒ සඳහා උත්සාහ කිරීමට ද කටයුතු නොකලේය. ඔබ විසින් පටු දේශපාලන උවමනාවන් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමට පෙර 13 වැනි සංශෝධනයේ ඉතිහාසය විමසා බැලීම වැදගත් වන්නේ එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගැනීම සඳහාය. එම ඉතිහාසය ආරම්භ වන්නේ 1932 දී ඉන්දියාවේ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍යය දුර්වල කර ගිවිසුම් මඟින් අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගත යුතුය යන න්‍යායාත්මක ප්‍රවේශය මතය. ඒ අනුව එදා 1987 දී ඔවුන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊලාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙද ඇඳෑ ගැනීමය. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව 30වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව ඇත. ඒ අනුව 13 වැනි සංශෝධනයේ අවසන් ප්‍රතිඵල අවබෝධකර ගත යුත්තේ ඉන්දු- ඇමෙරිකානු දීර්ඝකාලීන භූ දේශපාලන උවමනාවන්ට සාපේක්ෂව බව ඔබ විසින් තේරුම්ගත යුතුය.

නමුත් පවතින දේශපාලන තත්වය සහ විදේශීය බලපෑම් නිසා 13වැනි සංශෝධනය පමණක් විශේෂිතව ඉවත් කිරීමද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැත. එසේ නම් කළ යුත්තේ 13 වැනි සංශෝධනයක් නොමැති නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමය. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව මගින් සහතික කිරීමය. නමුත් ඔබතුමා විසින් බලය ලබාගැනීමේ පටු උවමනාව සඳහා ලබාදෙන පොරොන්දු නිසා ඔබතුමා බලයට පත්වුවද එම නිවැරදි ක්‍රියාමාර්ගය තේරීමට කිසිදු ඉඩක් නොලැබෙන බව ඉතා පැහැදිළිය.

advertistmentadvertistment
advertistmentadvertistment