141ක් මරුට – ගුජරාට් ඛේදවාචකය – 125ක් සිටිය හැකි පාලමේ 500ක් ඉඳලා

474

මොර්බි වැල් පාලම කඩා වැටීම හේතුවෙන් ඉන්දියාව කම්පනයට පත් වී තිබේ. මොර්බි වැල් පාලම ඇත්තේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේය. එය අගමැති මෝදිගේ ප්‍රාන්තයකි.

මේ පාලම කඩා වැටෙන විට මෝදි අගමැතිවරයා ගුජරාටයට පැමිණ සිටියේය. ඒ දේශපාලන රැස්වීම් සඳහාය. නමුත් පෙරේදා (30 දා) සවස මේ පාලම කඩා වැටීම නිසා පුද්ගලයන් 141 දෙනකු මරුමුවට පත්ව ඇති අතර තවත් 82 ක් තුවාල ලබා ඇත.

බි්‍රතාන්‍ය සමයේ ඉදිකරනු ලැබූ මෙම වැල් පාලම පසුගිය කාලයේ අලුත්වැඩියාව සඳහා පෞද්ගලික සමාගමකට පවරාදී තිබිණි. පසුගිය 26 වැනිදා මේ පාලම විවෘත කර ඇත්තේ කිසිදු ඉංජිනේරු තක්සේරුවකින් තොරව බව හෙළිව තිබේ. අවසානයේ මිනිස් ජීවිත සියයකට අධික ප්‍රමාණයක් වතුරේ ගිලී විනාශ විය. මේ වැල් පාලම කඩා වැටෙන අවස්ථාවේ මෙම පාලම උඩ පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් රැඳී සිට ඇත.

141ක් මරුට - ගුජරාට් ඛේදවාචකය - 125ක් සිටිය හැකි පාලමේ 500ක් ඉඳලා

ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුව පවසන්නේ ගඟට වැටුණු පුද්ගලයන් 177 ක් බේරාගෙන ඇති බවත් එයින් 19 ක් ප්‍රතිකාර ලබන බවත්ය. මච්චු ගංඟාව උඩින් පිහිටි මේ වැල් පාලම කඩා වැටී ඇත්තේ පසුගිය ඉරිදා සවස 6.15 ට පමණය. පුරා මාස හතක් අලුත්වැඩියාව සඳහා වසා තිබුණු මේ වැල් පාලම විවෘත කර දින හතරකින්ම මේ නොසිතූ විපත සිදු විය. ඇත්තෙන්ම පසුගිය 26 වැනිදා මෙම පාලම විවෘත කෙරුණේ ගුජරාටි අලුත් අවුරුද්ද වෙනුවෙනි.

ගුජරාටි ප්‍රාන්ත ආණ්ඩුවේ ඇමැති බි්‍රජේෂ් මර්ජා පවසන්නේ ප්‍රාන්ත රජය මේ විපත පිළිබඳ වගකීම භාර ගන්නා බවයි. මේ විපතින් මියගිය පුද්ගලයන්ට ඉන්දීය අගමැතිවරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන බව ප්‍රකාශ වී ඇති අතර ප්‍රාන්ත ආණ්ඩුව ලක්ෂ හතර බැගින් ගෙවන බවට පොරොන්දු වී තිබේ.

මොර්බි පාලම කඩා වැටීම ඇසින් දුටු හසීනා ප්‍රකාශ කරන්නේ තමා සිය ජීවිතය පුරාම මෙවැනි ඛේදවාචකයන් ඇසින් දැක නැති බවයි. “ගඟට වැටුණු පොඩි ළමයි මම දැක්කා” ඒවා විස්තර කරන්න අමාරුයි. ලෙඩ්ඩු රෝහලට යවන්න මගේ වාහනය පවා ලබා දුන්නා.

මෙම සිද්ධිය නිසා මියගිය බහුතරය කාන්තාවන්, ළමුන් හා වැඩිහිටි පුද්ගලයන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

දීපවාලි සැමරුම වෙනුවෙන් ගඟෙන් එහා පිහිටි දේවාලයකට බැතිමතුන් යමින් සිටියදී මේ අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත. අඩි 754 ක් දිගින් යුත් මෙම වැල් පාලම 19 ශත වර්ෂයේ ඉදිකර තිබේ. ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ මේ වැල් පාලමට දරාගත නොහැකි පිරිසක් මෙයින් එතෙර වීමට පැමිණි නිසා මේ අනතුර සිදුව ඇති බවයි.

ප්‍රටීක් වසාවා මේ අනතුර සිදුවෙද්දී වැල් පාලම මත සිටි පුද්ගලයෙකි. “මම නම් පීනලා බේරුණා. ළමයි පාවෙලා යනවා දැක්කා. සමහර ළමයින්ව බේරාගන්න උත්සාහ කළා. මටත් ඕනෑ වුණා ළමයින්ව බේරා ගන්න. ඒත් ඒ ළමයි ගහගෙන ගියා” යැයි ඔහු පවසයි.

ඇත්තෙන්ම මේ පාලම කඩා වැටීමත් සමග පුද්ගලියන් 350 ක් පමණ ගඟට වැටී ඇත. ගඟට වැටී මියගිය පිරිසගෙන් බහුතරය කාන්තාවන් හා ළමුන් බව ඉන්දීය හින්දු පුවත්පත කියයි. දින තුනක ප්‍රාන්ත සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති මොදි මේ විපත නිසා සිය දේශපාලන රැස්වීම් නවතා දමා ඇත. ඉදිරි සති කිහිපය තුළ පැවැත්වෙන ගුජරටි ප්‍රාන්ත මැතිවරණයේදී වේවැල් පාලම ද විශේෂ මාතෘකාවක් වන බව පැහැදිලිය. එය ඉන්දීය අගමැතිවරයාට නිග්‍රහයකි. ගුජරාටය සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවූ මෝදිට අවසානයේ වැල් පාලම වෙනුවෙන් ශෝකවන්නට සිදුවිය.
චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ

චතුර පමුණුව සහ ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment