15 වැනි අයි.පී.එල්. ශූරතාව  කෝඩුකාර ගුජරාට් පිලට

264

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් තරග වැදුණු ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. ඒ පෙරේදා (29 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

 තීරණාත්මක අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 130ක් රැස් කළ අතර ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ගුජරාට් කණ්ඩායම එම ඉලක්කය පන්දු වාර 18.1කදී කඩුලු 3ක් පමණක් දැවී පසුකර ගියේය.

 ගුජරාට් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ නායක හර්දික් පාණ්ඩ්‍යා තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් ප්‍රතිවාදී රාජස්ථාන් කණ්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත්වූ අතර පිත්තෙන් ලකුණු 34ක් රැස් කිරීමටද සමත්විය.

 ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 45ක් සහ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 32ක් රැස් කරමින් ගුජරාට් ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

 අවසන් තරගයේදී ගුජරාට් ඉනිමේ එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වූ යුෂ්වේන්ද්‍ර චහල් එම කඩුල්ලත් සමගින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට (කඩුලු 27) කිරුළු පැළඳීමට සමත්විය. එය ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග අභිබවා යෑමක් වූ අතර වනිඳු මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 26ක් බිඳ දැමීමට සමත්වී සිටියේය.

 මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පළමුවරට ඇතුළත් වූ ගුජරාට් කණ්ඩායම තරගාවලියේ ආරම්භයේ සිටම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වෙමින් ඉදිරියට පැමිණි අතර ඔවුන් සහභාගි වූ මූලික වටයේ තරග 14න් තරග 10කම ජය හිමිකර ගැනීමට සමත්විය.

 ලකුණු සාරාංශය

 රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 130යි (යෂස්වී ජයිස්වල් 22, ජෝස් බට්ලර් 39, රියාන් පරාග් 15, හරිදික් පාණ්ඩ්‍යා 17/3, රවිශ්‍රීනිවාසන් සායි 20/2, රෆීඩ් කාන් 18/1)

 ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම පන්දු වාර 18.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 133යි (ෂුබ්මන් ගිල් (නොදැවී) 45, හරිදික් පාන්ඩ්‍යා 34, ඩේවිඩ් මිලර් (නොදැවී) 32, ටේ‍රන්ට් බෝල්ට් 14/1, යුෂ්වෙන්ද්‍ර චහල් 20/1)

advertistmentadvertistment
advertistmentadvertistment