154 වන ජන්ම සමරුව යෙදෙන ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක

144

සිරිලක 74 වැනි නිදහස් සමරුව සිදුකරන මෙම කාලයේදී එම නිදහස දිනා ගැනීමට අසීමිතව කැපවුණ ගිහි පැවිදි වීරවරයන්ගේ ජන්ම සමරු හා වියෝගයන් සිදු වූ අනුස්මරණ දිනයන් රැසක් මෙම මසට යෙදී තිබීම සුවිශේෂි කරුණකි. එම වීර නායකයන් අතර විසූ අති ශ්‍රේෂ්ඨ නායකයෙකි. මීට වසර 154 කට පෙර ජන්ම ලාභය ලැබූ ශ‍්‍රීමත් ඞී. බී. ජයතිලක විරුවාණෝ.

මෙතුමා උපත ලද්දේ වර්ෂ 1868 ක්වූ පෙබරවාරි මස 13 වෙනි දින කැලණියේ වරාගොඩදී ය. බොහෝ දෙනා ජයතිලක මහතාගේ නම ලිවීමේදී සඳහන් කරනුයේ දොන් බාරොන් ජයතිලක ලෙසය. නමුත් ජයතිලක මහතාගේ අංක 276 දරණ උප්පැන්න සහතිකයේ තම පියාගේ නම සඳහන් වනුයේ වික‍්‍රමාරච්චි ඉමියා රාජකරුණලියනඅප්පු කෝරල්ලාගේ දොන් දානියෙල් ජයතිලක සේනානායක ලියනආරච්චි යනුවෙනි. පියාගේ වාසගම් සියල්ල පුතණුවන් හටද උරුම වන හෙයින් ඞී.බී. ජයතිලක මහතාගේ පූර්ණ නාමය වනුයේ වික‍්‍රමාරච්චි ඉමියා රාජකරුණලියනඅප්පු කෝරල්ලගේ දොන් බාරොන් ජයතිලක සේනානායක යනුවෙන් ය. ජයතිලක මහතාගේ මෑණියන් වූයේ ලියනගේ එලිසියානා පෙරේරා වීරසිංහ ය. පියා රැකියාව වශයෙන් සිදු කළේ ගමේ ආරච්චිකමය.

මේ රටේ වැඩවිසූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ රත්මලානේ ශ‍්‍රී ධර්මාලෝක මා හිමියන් වෙතින් වයස අවුරුදු හතරේදී අත්පොත් තැබූ ජයතිලක දරුවා ගමේ ක‍්‍රිස්තියානි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ඒ වනවිට ප‍්‍රදේශයේ බෞද්ධ පාසල් නොතිබුණු හෙයිනි. පසුව කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව සිංහල හා පාලි භාෂාවන් උගෙන ගන්නට වූයේ දෙමාපියන්ගේ කැමැත්ත පරිදිය. ළමා වියේදී බාරොන් දරුවා ඔහුගේ දෙමාපියන්ට සම්බුද්ධ ශාසනයට තිබෙන දැඩි ඇල්ම නිසා පැවිදි කිරීමට අදහසක් විය. මෙම ළමයාගේ ජන්ම පත බැලූ රත්මලානේ ධම්මාලෝක හාමුදුරුවන් පවසා ඇත්තේ ”බාරෝ නුඹ මහණ වෙන්න එපා කවදාහරි ලංකාවේ රජකමට නුඹ පත් වෙනවා’ යනුවෙනි. නා හිමියන්ගේ අනුශාසනාව නිසා පැවිදි නොවූ ජයතිලක සිසුවා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ වෙස්ලි විද්‍යාලයට ඇතුළත් වූයේ 1881 වසරේදිය.

මෙයින් පසු පෙනී සිටි ශාස්ත‍්‍රවේදි (කල්කටා) උපාධිය දිනාගත් ජයතිලක මහතා ශ‍්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ඇසුරු කරන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජයතිලක මහතාට 1890 වසරේදී විසි දෙවන වියේ පසු වන තරුණයකු වශයෙන් සිටියදී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කිරීමට අවස්ථාව උදාවිය. එතැන් සිට අට වසරක් ධර්මරාජ ගුරු සේවය 1898 දි සමාප්ත කරන විට ජයතිලක මහතා එම විදුහලේ විදුහල්පති පදවිය දරමින් සිටියේය. මෙයින් පසු ජයතිලක මහතාගේ සේවා ස්ථානය වූයේ කොළඹ ආනන්ද මහ විදුහල ය. ආනන්ද මහා විදුහලේ ප‍්‍රථම සිංහල බෞද්ධ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගත් ජයතිලක මහතා එම විදුහලේ ප‍්‍රගතියට සිදුකළ මෙහෙවර අති විශාල විය.

1898 අගෝස්තු මස 12 වැනිදා ලංකාවේ ප‍්‍රථම විවාහ ලේකම්වරයා වූ අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමාගේ දියණියක වූ මල්ලිකා බටුවන්තුඩාවේ මෙනවිය සමග විවාහ විය. එයින් වසර 12 කට පසු 1910 වසරේදි ගුරු සේවයටත් ආනන්ද මහා විදුහලේ විදුහල්පති පදවියටත් සමුදුන් ජයතිලක මහතා එංගලන්තයේ ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා අධිනීතිඥයකු වශයෙන් දිවුරුම් දී 1913 දී ලංකාවට පැමිණීයේය.

ලංකාවේ ජාතික නායකයන් ගෙන ගිය අධ්‍යාපන ව්‍යපාරයට එකතුව ජයතිලක මහතා 1915 දි ඇතිවූ සිංහල මුස්ලිම් අරගලයේදී සිර භාරයට ගනු ලබන්නේ අරගලයට නායකත්වය දුන් අයෙකු ලෙස සලකාය. මෙතුමන් ඉංග‍්‍රීසින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු එවැනි කැරළිකරුවකු වූ නිසා යැයි ගෙතූ කතාව මහ බොරුවක් ලෙස රට වැසියන් සැලකුවේ එතුමා එවැනි ජාතිවාදියකු නොවන බව සියලූම මහජනයා

පිළිගැනීමෙන්ය. නමුත් ඔහු සිරභාරයට ගත්තේ ජයතිලක මහතා අමද්‍යප නායකයකු වශයෙන් සිදුකරන අරගලයට පිළිතුරක් වශයෙනි. චෝදනාවන් එල්ල කර ඔප්පුකර ගැනීමට නොහැකිවූ ඉංශ‍්‍රිසි පාලකයන් ජයතිලක මහතා ප‍්‍රමුඛ සියලූ ජනනායකයන් සති ගණනාවකට පසු නිදහස් කරනු ලැබීය.

මෙම අරගලයෙන් පසු ඇරඹුණු ලංකා ජාතික සංගමයේ සභාපති පදවියට 1924 දී පත්වූ ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සභාව ඇරඹීමෙන් පසුව කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා වශයෙන් තේරී පත්වූයේ නිතරගයෙනි. 1930 දී ව්‍යවස්ථාදායක සභාවේ නියෝජ්‍ය සභාපති පදවියට පත්වූ මෙතුමා 1931 වසරේ පැවති රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ප‍්‍රථම මන්ත‍්‍රී තරගයේදී කැලණිය ඡුන්ද කොට්ඨාසයේ රාජ්‍ය මන්ත‍්‍රීවරයා වශයෙන් නිතරගයෙන් පත්විය. එසේ පත්වූ ඞී.බී. ජයතිලක මහතා ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභානායක ලෙසත් වැඩභාරගත්තේ අතීතයේ රත්මලානේ ධම්මාලෝක මහා හිමියන් එතුමාගේ ජන්මපත පරීක්ෂා කර කියූ අනාවැකිය සනාථ කරමින් ලංකාවේම ස්වදේශීය ජනතාවගේ නායකයා වශයෙන් පත් වෙමිනි. නව පදවියත් සමග එතෙක් ඉංගී‍්‍රසි පාලකයන් විසින් ඉදිරිපත් කළ අප රටේ අයවැය ලේඛනය පළමුවෙන් සැකසීමට වරම් ලැබූ ස්වදේශීය නායකයා වූයේ ජයතිලක මහතාය. ඒ අනුව 1931 සැප්තැම්බර් මස 22 දා පළමු අයවැය ලේඛනය ඉදිරිපත් කළේ එතුමන් මහත් අභිමානයෙනි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප‍්‍රථම සභාපති ධුරයෙන් පිදුම් ලැබුවේ මෙතුමා ය. සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රථම ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් පත්වී ඒ මැන්දිස් ගුණසේකර පඬිතුමන් විසින් සිංහල බසට ශබ්දකෝෂයක් ඇවැසි බවට ගෙනා යොජනාව ක‍්‍රියාවට නැංවීමට මෙතුමා සමාරම්භකයා විය. තම පැවිදි ගුරුවරයා වූ රත්මලානේ ධර්මාලෝක මා හිමියන් සමරා කැලණියේ ධර්මාලෝක විද්‍යාලය පිහිටුවන ලද ඞී.බී. ජයතිලක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහි කිරීමට පුරෝගාමී වූ නායකයන් අතර එක් අයෙකු විය. එම සේවය සිහිකර සරසවියේ එක් නේවසිකාගාරයක් ”ජයතිලක ශාලාව” ලෙස නම් කර ඇත.

කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ පාලක මණ්ඩලයේ ප‍්‍රබල නිලතල දැරූ ජයතිලක මහතා, බුදුගුණ අලංකාරය, ධම්පියා අටුවා ගැටපදය, සිඛ වළඳ හා සිඛ වළඳ විනිස, පන්සිය පනස් ජාතකය,

ශ‍්‍රී සංඝරාජ චරිතය, තිසර සංදේශය, ජාතක අටුවා

ගැටපදය වැනි අප රටේ සිංහල සාහිත්‍යයේ එන පුරාණ ග‍්‍රන්ථ සංශෝධනය කොට නැවත ජනතාව අතට පත් කිරීමට කටයුතු කළේ ඉමහත් රුචිකත්වයෙනි.

1942 වසරේදී දේශපාලනයෙන් සමුගත් ජයතිලක මහතා ඉන්දියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත්විය. එම සේවය ලැබී වසර දෙකක් පිරෙන සමයේ 1942 මැයි මස 29 වැනි දින මෙතුමා දැයෙන් සදහටම සමුගත්තේ අමතක නොවන සේවයක් රට දැය සමයට සිදු කළ යුග පුරුෂයෙකු වශයෙනි. අප ඒ ශ‍්‍රී නාමය සදා සමරමු!

අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment