17 න් පහළ කණ්ඩායමට යන්න බැරි වුණේ කුමන්ත්‍රණයක් නිසා

181

හිටපු සභාපති ජස්වර් උමර් කියයි

උස්බෙකිස්ථානයේ පැවති වයස අවුරුදු 17 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වූයේ හිටපු උප සභාපති රංජිත් රොඩි්‍රගෝ සහ සුළු පිරිසකගේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

ඉතිහාසේ පළමු වරට මෙරට තුළ අවුරුදු 17 න් පහළ දකුණු ආසියානු තරගාවලිය පැවැත්වීමට තමන්ට හැකි වුණ බවත් මෙය දරාගන්න බැරි සුළු පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයාව මුළා කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කර, ශ්‍රී ලංකා පාපන්දුවලට අන්තර් පාලන කමිටුවක් පත්ක්රීමට උත්සහ කළ බවත් ජස්වර් උමර් මහතා සඳහන් කළේය.

අවුරුදු 17 න් පහළ ජාතික කණ්ඩායම හොඳ සූදානමකින් සිටි බවත් මෙම තරුණ කණ්ඩායම තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය ගුවන් ටිකට් පත්‍ර ලබාගැනීමට අවශ්‍ය චෙක්පත් අත්සන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් ගැසට් පත්‍රය අවලංගු වීම නිසා හිටපු නිලධාරීන්ට අත්සන් කිරීමේ බලය නැති වීමෙන් ඔවුන්ට තරගාවලිය මග හැරුණි.

මේ කුමන්ත්‍රණය පිටුපස, මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන යම් දේශපාලකයෙක් සිටින බවත්, ඔහුගේ පුත්‍රයා මේ කණ්ඩායමට තේරී නොතිබුණු නිසා, රොඩ්රිගෝ සමග එකතුවී මෙම කුමන්ත්‍රණය කළ බවත් ක්‍රීඩකයන්ගේ දෙමාපියන් හා ක්‍රීඩාලෝලීන්ද කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් ජස්වර් උමර් මහතා පැවසීය.

ජාත්‍යන්තර තහනමකට ලක් වුවහොත් පළමුව වගකිය යුත්තේ රංජිත් රොඩි්‍රගෝ බවද හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව අසත්‍ය කරුණු නිර්මාණය කිරීමට රංජිත් රොඩි්‍රගෝ සහ සුළු පිරිසක් ගත් උත්සාහය අසාර්ථක වී තිබෙන බවත් මෙම කරුණු දැනට ජනාධිපතිතුමා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගේ ඍජු අවධානයට පාත්‍ර වී තිබෙන බවත් ජනාධිපතිතුමා වෙත මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව එළඹෙන සතියේදී මෙම ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීමට අවධානය යොමු වී ඇති බවත් ජස්වර් උමර් මහතා කීය.

2015 දී මේ ව්‍යවස්ථා සංශෝධනය පහසුවෙන් සිදුකිරීමේ හැකියාව තිබියදී එය මගහැර දැන් අනිත් අයට ඇඟිලි දික් කර මඩ ගැසීම හාස්‍යජනක බවත් මේ අර්බූදයට මුල් වග කිවයුත්තා රංජිත් රොඩි්‍රගෝ මිස අන් කවරෙකුවත් නොවන බව ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment