175 වසර සමරන මහනුවර ගැටඹෙ ශුද්ධවූ යොහාන් තුමාගේ දෙව් මැදුර

251

ශ‍්‍රී ලංකාවෙ අවසන් සිංහල රාජධානිය කන්ද උඩරට ඉංග‍්‍රීසින් විසින් අල්ලා ගැනීමෙන් පසු ක‍්‍රි. ව.1818 දී එංගලන්ත සභාව නියෝජනය කරමින් සැමුවෙල් ලැම්බි‍්‍රක් පූජකතුමන් මහනුවරට පැමිණ ධර්ම දූත මෙහෙවර ඇරඹිය. විවිධ දුෂ්කරතා මැද ධර්ම දූත මෙහෙවර සිදු කළ අතර ක‍්‍රි. ව. 1821 දී උන්වහන්සෙගේ සහයට තොමස් බ‍්‍රව්නිං දේවගැතිතුමා මහනුවරට පැමිණි අතර, සැමුවෙල් ලැම්බි‍්‍රක් පූජකතුමන් ක‍්‍රි. ව.1822 දී කෝට්ටේ ප‍්‍රදේශයේ ධර්ම දූත මෙහෙවර ගියහ.

මහනුවර පාසැල් ඇරඹීම

මහනුවර පාසැල් ඇරඹීම සිදුවයේ ක‍්‍රි. ව. 1821 න් පසුවය. ඒ තෝමස් බ‍්‍රව්නිං දේවගැතිතුමාය. ක‍්‍රි. ව. 1822 මහනුවරින් ඉඩමක් ලබාගෙන කුඩා ශාලාවක් හා කුටියක් සාදා ගෙන දේව නමස්කාරයට යොදා ගෙන එහිම කුඩා පාසලක්ද කළ බව සඳහන්වේ.

ගැටඹෙ ශාන්ත යොහාන් පාසල

ක‍්‍රි. ව.1835 දී මහනුවර සෙවයට පැමිණි විලියම් ඔක්ලි පියතුමන් කටුකැලේ සහ අවට ප‍්‍රදේශයේ සේවයට හවුල් වී සිටි අතර ක‍්‍රි. ව.1844 දී රජයෙන් ඉඩමක් ලබාගෙන ශාන්ත යොහාන්ගේ පාසල නමින් ඉංග‍්‍රීසි විදුහලක් අරඹා ඇත. එහි 6 වන ශ්‍රේණියේ සිට 8 වන ශ්‍රේණිය දක්වා පංති පවත්වා ඇත. ක‍්‍රි. ව.1961දී මෙම පාසල රජයට පවරා ගන්නා ලදී. මෙම විදුහල දැනට මහානාම විදුහල ලෙස හඳුන්වයි.

ගැටඹේ ශාන්ත යොහාන් තුමාගේ දේවස්ථානය

ක‍්‍රි. ව. 1835 දී විලියම් ඔක්ලි පිය තුමන් කටුකැලේ ශාන්ත මර්ක් තුමාගේ දේවස්ථානය සාදා නිම කරන ලදී. ඉන් පසු විලියම් ඔක්ලි පියතුමන්හට ගැටඹේ දේවස්ථානය සාදා ගැනීමට සිත් විය. ඒ අනුව පියතුමන්ගේ සෙවා කලය තුළ (1835 – 1867) කාලය තුළ මෙම දෙව් මැදුර සෑදු බව කොළඹ දියොකිසි වාර්ථා පොතෙහි සඳහන් වේ.

175 වසර සමරන මහනුවර ගැටඹෙ ශුද්ධවූ යොහාන් තුමාගේ දෙව් මැදුර
දේවස්ථානය බාර නිශාන්ත ප‍්‍රනාන්දු පියතුමා

1938 දී මොරටුවෙන් පැමිණි ධනවතකු වූ ඩබ්ලියු. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු (තම්බි අප්පු රෙන්ද මහතා) නැමැත්තා විලියම් ඔක්ලි පියතුමන් හමු වී කිතු දහම වැළඳ ගත්හ. ඩබ්ලියු. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මහතා සහ මහනුවර සහ කොළඹ පිහිටි ”ඩෙවිඞ් මෙන්දිස් සමාගමේ ” අයිතිකරු වු අතර මහනුවර – පෙරාදෙනිය අතර සමාදාන නිලධාරියකු ලෙසක ටයුතු කළ ගැටඹේ විසූ ධනවතකු වූ දාවිද් ද මැන්දිස් ජයවර්ධන (ගැටඹේ රාලහාමි) යන බැතිමතුන්ගේ පුද්ගලික ධනය යොදවා මෙම දෙවස්ථානය සාදා 1846 ඔක්තොබර් 17 දින කැපකර ඇත.

ඩබ්ලියු. ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මහතා වසර 25 ක් මෙම නමස්කාරයට පැමිණි බවත් වයස අවු 76 ක් ආයු වළදා 1879 නොවැම්බර් 3 දින ස්වර්ගස්ථ වූ බව සඳහන්වේ. දාවිද් ද මැන්දිස් ජයවර්ධන (ගැටඹේ රාලහාමි) එතුමා 1886 අප්‍රෙල් 12 දින ස්වර්ගස්ථ විය. ඔහුගේ දේහය ගැටඹේ දේවස්ථාන සොහොන් භූමියේ මිහිදන් කර ඇත.

මෙම දෙව් මැඳුරේ සත සංවත්සරය 1946 යෙදී තිබුණ නමුත් දෙවන ලෝක සංග‍්‍රාමය නිසා එම වසරේ නොපැවැත්වූ අතර 1952 දෙසැම්බර් 6 දින ලක්දාස් ද මැල් දියොකිසියේ රදගුරු හිමිපාණන් සහ ලොරි සී ප‍්‍රානන්දු පළාත් භාර දෙවගැති තුමාගේ ප‍්‍රධානත්වයෙන් තුති දීමේ දෙව මෙහෙය පවත්වා ඇත.

මෙම දෙවස්ථානයට සිංහල සහ ද්‍රවිඩ බැතිමතුන් පැමිණෙන අතර, මෙම දෙවස්ථානය සිංහල බසින් දේව මෙහෙයන් පවත්වයි. එමෙන්ම ඉටි පන්දම් වෙනුවට පොල් තෙල් පහන් දල්වන අතර උත්සව අවස්්ථාවන්හිදී මගුල් බෙරය වාදනය, හක් ගෙඩිය, තාලම්පොට අතුළු දේශීය සංගීත භාණ්ඩ යොදාගනී. එමෙන්ම සියලූ ගීතිකා සඳහා දේශීය තනු සහ දේශීය සංගීතය භාවිතා කරමින් සිදුකෙරේ. දේව මෙහෙය සෑම ඉරිදාවකම පෙ. ව. 8.30 ට පවත්වනු ලැබේ. 175 වන සංවත්සරයේ තුති පිදීමේ දේව මෙහෙය 2021 ඔක්තෝබර් 16 දින උදේ සූම් හා මුහුනු පොත ඔස්සේ සිදුකළ බවත් ඉන්පසු සමාජ සත්කාර වැඩසටහනක් ලෙස ගැටඹේ මහානාම විදුහලේ දරුවන් 18 දෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමත්, ගැටඹේ ප‍්‍රජාවේ අවශ්‍යතා ඇති අය සඳහා අත්වැලක් වීමද අධාර ලබා දුන් බව ගැටඹේ ශාන්ත යොහාන් තුමාගේ දේවස්ථානය බාර නිශාන්ත ප‍්‍රනාන්දු පියතුමා පැවසිය. තවදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ප‍්‍රනාන්දු පියතුමා කියා සිටියේ කොවිඞ් තත්ත්වය නිසා 175 වන සැමරුම 2021 දෙසැම්බර් 11 දින 175 වන සමරු කලාපය එළිදැක්වීම සහ ගැටඹේ ශාන්ත යොහාන් තුමාගේ දේවස්ථානයට සේවය කළ පියතුමන්ලාට සහ දේව සේවක සේවිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් පවත්වනු බවයි.

175 වසර සමරන මහනුවර ගැටඹෙ ශුද්ධවූ යොහාන් තුමාගේ දෙව් මැදුර
advertistmentadvertistment
advertistmentadvertistment