18 ට වැඩි තරුණ තරුණියන් අතර ශීඝ්‍රයෙන් ඒඩ්ස් පැතිරීමේ අවදානමක්

203

පාසල් සහ සරසවි සිසුන් වැඩිපුර ගොදුරු වෙලා

විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි


නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙරට වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් අතර එච්. අයි. වී./ඒඩ්ස් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.

ඉකුත් වසරේදී මෙරටින් වාර්තා වී ඇති එච්. අයි. වී./ඒඩ්ස් රෝගයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි සංඛ්‍යාවක් මෙම වසරේ ගත වූ කාලසීමාවේදී මෙරටින් වාර්තා වී ඇති බව පෙන්වා දෙන වෛද්‍ය හෙට්ටිආරච්චි මහත්මිය මාර්ගගත (ඔන්ලයින්) කටයුතුවලට හා සම්බාහන හෙවත් ‘ස්පා’ මධ්‍යස්ථානවලට තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස අනාරක්ෂිත ලිංගික සබඳතාවන්හි ගොදුරක් බවට පත්වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අවධාරණය කළාය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සමීක්ෂණයකදී මෙම කරුණු අනාවරණය වී තිබේ. 2021 ජනවාරි මස සිට 2021 සැප්තැම්බර් දක්වා වන කාලසීමාව සහ 2022 ජනවාරි සිට 2022 සැප්තැම්බර් දක්වා කාලසීමාව තුළ මෙරටින් නව එච්. අයි. වී./ඒඩ්ස් ආසාදිතයන් හා වෙනත් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වූවන්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී එම ආසාදනයන්ට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ පාසල් සිසු සිසුවියන් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් බව අනාවරණය වී තිබේ. මෙසේ එච්.අයි.වී. /ඒඩ්ස් හා වෙනත් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුව ඇති අයගෙන් බහුතරය තරුණයන් වන අතර තරුණියන්ද සැලකිය යුතු පිරිසක් ඒ අතර සිටින බව පැවසූ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය මෙම අවාසනාවන්ත තත්ත්වය වහා වෙනස් කළ යුතුව ඇතැයි වැඩිදුරටත් සඳහන් කළාය.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment