1817 – 1818 ඌවේ කැරැල්ලට පණ දුන් කිවුලේගෙදර මොහොට්ටාලගේ වික‍්‍රමය

1514

2021/12/18 දිනට යෙදුණු කිවුලේගෙදර මොහොට්ටාලගේ විරු සැමරුම වෙනුවෙන් ඔහුට ගෞරවයක් වශයෙන් නිර්මාණය කරන ලදි.

ලංකාද්වීපය වරින් වර විවිධ ජාතීන්ගේ ග‍්‍රහනයට හසු වී ඇත. ඒ අතරින් ඉංග‍්‍රිසීන් විසින් ලංකාව සිය යටත් විජිතයක් බවට පත්කර ගැනීමට නොයෙක්වර උත්සාහ ගැනීමත් සමගින්ම ලංකාව තුළ විවිධ කැරලි ඉංග‍්‍රිසීන්ට විරුද්ධව ඇති විය. එහිදී 1817-1818 ඌවේ විමුක්ති සටනට හිමිවනුයේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. එසේම එම ඌව සටනේ පුරෝගාමීන් අතර කිවුලේගෙදර මොහොට්ටාලට හිමි වනුයේද ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. එබැවින් ඌවේ සටනට පුරෝගාමී වූ කිවුලේගෙදර මොහොට්ටාලගේ වික‍්‍රමය සම්බන්ධයෙන් සිදු කරන අතීතානුස්මරණයයි මේ.

සිය බල ආධිපත්‍යය ප‍්‍රමුඛත්වයෙහිලා ගනිමින් එවකට බොහෝ රටවල් සිය ආධිපත්‍යයට නතුකර ගැනීමට ඉංග‍්‍රිසීන් යුහුසුලූ විය. එහිදී විශේෂයෙන්ම ඉංග‍්‍රිසීන් විසින් ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයට ද අත පොවමින් ලංකාවද සිය යටත් විජිත සමූහයට හසුකර ගැනීමට විවිධාකාර උපක‍්‍රමශ‍්‍රිලී ක‍්‍රමවේදයන් අනුගමනය කරන ලදි. ලංකාවේ උඩරට රාජධානිය 1815 දී ගිවිසුමක් මගින් සිංහල උඩරට නායකයන් විසින් බි‍්‍රතාන්‍ය පාලනයට පවරා දෙන ලදී. ලංකාවේ උඩරට රාජධානිය ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු 1798-1815 විසින් පාලනය කරන ලදී. රාජසිංහ රජු සහ ඇහැලේපොළ නිලමේ අතර වැඩෙන එදිරිවාදිකම් හේතුවෙන් ඇහැලේපොළ නිලමේ බි‍්‍රතාන්‍ය හමුදාවේ සහාය ඇතිව උඩරට ආක‍්‍රමණය කළ අතර, රාජසිංහ රජු අල්ලා බි‍්‍රතාන්‍ය සෙන්පතියාට භාර දිය හැකි විය. ඇහැලේපොළ සහ ලංකාවේ ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් ප‍්‍රමුඛ සිංහල රදළයන් අතර සංග‍්‍රහ කිහිපයක් ඇති වූ අතර අවසානයේ ගිවිසුමක් මගින් පාලනය බි‍්‍රතාන්‍යයන්ට පැවරීමට එකඟ විය. මෙම සම්මුතිය 1815 උඩරට සම්මුතිය ලෙස නම්කර ඇත. එහෙත්, රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ලංකාවේ බි‍්‍රතාන්‍ය රජය, ප‍්‍රභූවරුන්ගේ සාම්ප‍්‍රදායික පරිපාලන බලතලවලට පටහැනි බිතාන්‍ය පරිපාලන ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදි.

ඒ අනුව විශේෂයෙන්ම 1815 මාර්තු 02 දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන ලද සිංහල ඉංග‍්‍රීසි ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් ලෙසට ප‍්‍රකාශ කරන ලදී. මේ නිසා උඩරට පාලන ක‍්‍රමයේ වෙනස්කම් රාශියක් ඇති විය. උඩරට රදළවරුන්ට අවශ්‍ය වූයේ නායක්කර් වංශික ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු නෙරපා ඉංග‍්‍රීසීන්ගේ උදව්වෙන් නැවතත් සිංහල රාජවංශයක් ඇති කිරීමයි. එහෙත් සිදුවූයේ අපේක්ෂා සියල්ල උඩුයටිකුරු කරමින් එංගලන්තයේ රජු ලංකාවේ ද රජු වීමයි. 1817-1818 මහා කැරැල්ල උඩරට රාජධානියේ ප‍්‍රධාන පළාත් අතර වූ ඌව සහ වෙල්ලස්ස පළාත්වල ආරම්භ විය. මෙම නිදහස් ව්‍යාපාරය 1817-1818 ලංකාවේ ඌව-වෙල්ලස්ස නැඟිටීම ලෙස ද හැඳින්විණි. 1796 සිට උඩරට සිංහලයන් විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිත රජයට එරෙහිව තුන්වන යුද්ධය මෙය විය. මහනුවර රාජධානිය 1815 දී බි‍්‍රතාන්‍ය පාලනයේ රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ පාලනයට නතුවන තෙක් උඩරට ස්වාධීන පාලන ප‍්‍රදේශයක් විය. 1815 උඩරට සම්මුතියේ නියමයන් යටතේ උඩරට රාජධානියේ පාලනය පවරා දෙවසරකට පසු බි‍්‍රතාන්‍ය පාලනය සම්මුතියේ නියමයන් නොසලකා හැරීමට පටන් ගත් අතර සම්මුතියට අත්සන් කළ උඩරට ප‍්‍රධානීන් උපක‍්‍රමශිලීව විරුද්ධ විය. පොරොන්දු වුවද, බිතාන්‍යයන් උඩරට ප‍්‍රධානියාට ඔවුන්ගේ සාම්ප‍්‍රදායික වරප‍්‍රසාද රඳවා තබා ගැනීමේ අයිතිවාසිකම් කඩකළ අතර, ඔවුන් තම සාම්ප‍්‍රදායික බලතල මත බි‍්‍රතාන්‍ය පරිපාලන ක‍්‍රමය හඳුන්වා දුන්හ.

මේ තත්ත්වයෙන් වඩාත් ප‍්‍රකෝපයට පත් වූයේ එදා වලපනේ දිසාවට අයත්ව තිබූ වියලූවේ උපන් කිවුලේගෙදර මොහොට්ටාල වේ. වර්තමානයේ කිවුලේගෙදර වියලූව ඡුන්ද කොට්ඨාසයේ කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකි. එහි ප‍්‍රභූ පවුලකට අයත්ව සිටි බණ්ඩාර වැද්දාගේ පරපුරේ අයෙක් වූ කිවුලේගෙදර මොහොට්ටාල උගත්, බුද්ධිමත්, ප‍්‍රඥාවන්ත අයෙක් බව ඉංග‍්‍රීසීන් පවා පිළිගෙන ඇත. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳව මනා අවබෝධයකින් යුතු වූ හෙතෙම ලේඛන කලාවට හා කවියට ද සූරයෙක් වූ අතර උඩරට රාජකීය කවි මඬුවලට නැතිවම බැරි අයෙක් වූයේ ය. එසේ ම ඔහු රණශූරයෙක් ද විය. ඔහුගේ නායකත්වයෙන් වෙල්ලස්ස ප‍්‍රදේශය ඉංග‍්‍රීසීන්ට විරුද්ධව යම් යම් කලි කලහ පැන නැඟුණි. මේ අතර ඉංග‍්‍රීසි පාලනයට පක්ෂපාතව කටයුතු කළ කන්ද කැපූ උල්පත ගම්මැහැගෙරාල නැමැත්තා අභිරහස් ලෙස මරණයට පත් විය. මේ මරණය සම්බන්ධයෙන් කිවුලේගෙදර මොහොට්ටාල අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුට විරුද්ධ නඩුව 1816 ජූලි 17 දින මහනුවරදී විභාගයට ගැනුණි. අධිකරණ මණ්ඩලය සමන්විත වූයේ මහනුවර ඉංග‍්‍රීසි උප ඒජන්ත වූ ජෝන් ඩොයිලිල වෙල්ලස්සේ දිසාව වූ මිල්ලව නිලමේල වලපනේ දිසාව වූ දුල්ලෑවේ නිලමේ සහ කඩිගමුවේ ලේකම් නිලමේ යන අයගෙනි.

විශේෂයෙන්ම ජෝන් ඩොයිලිගේ නිර්දේශය මත රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින්, මිල්ලවේ දිසාවගේ අයිතීන් වෙනුවට හජ්ජි මරික්කාර් මුහන්දිරම් 1817 සැප්තැම්බර් මාසයේදී වෙල්ලස්සේ ට‍්‍රවාල මඩිගේ මුහන්දිරම් ලෙස නම් කිරීම, උඩරට රදළයන්ගේ නොසන්සුන්තාවය බිතාන්‍යයට එරෙහිව ඇති කිරීමට හේතු විය. 1817 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේ රාල, මිල්ලෑවේ දිසාව යන අය බදුල්ලේ දී මෙම තීරණයට එරෙහිව කැරැුල්ලක් සංවිධානය කරන ලදි.

කිවුලේගෙදර මොහොට්ටාල මුල් අවධියේදී මිනිසුන් සංවිධානය කිරීමේදී ප‍්‍රශංසනීය

වගකීමක් ඇතිව කැරලි කෝලාහල සිදු කර තිබේ. එක් අතකින්, සාම්ප‍්‍රදායික පරිපාලන හා හමුදා බලතල සහිත මුවර් දිසාව ලෙස පත් කිරීම උඩරට ස්වදේශිකයන් විසින් ඔවුන්ගේ සාම්ප‍්‍රදායික උරුමයට තර්ජනයක් ලෙස සංකල්පනය කරන ලදී. අනෙක් අතට, ජ්‍යෙෂ්ඨ දිසාව, එනම් ඇහැලේපොළ, පිළිමතාව මඩුගල්ල සහ කැප්පෙටිපොළ කෙරෙහි බි‍්‍රතාන්‍ය පරිපාලනය විසින් සංකල්පනය කළ සැඟවුණු අමනාපය සහ සැකය ප‍්‍රාදේශීය බෞද්ධ පූජකවරයාට සහ ස්වදේශික නායකයන්ට සතුටක් නොවීය. 1815 ගිවිසුමට බි‍්‍රතාන්‍ය ඉහළ නිලධාරීන් සහ උඩරට රදළයන් අත්සන් කළ දා සිට බොහෝ සිංහල උත්තමයන්, බෞද්ධ පූජකවරුන් සහ ප‍්‍රාදේශීය නායකයන් අතර කෝපයක් වර්ධනය විය. උඩරට සිංහලයන්ගේ උඩරට ස්වදේශිකයන්ගේ අනාගතය පිළිබඳ මෙම කනස්සල්ල මහනුවර, මල්වත්ත, අස්ගිරිය යන අංශවල බෞද්ධ නායකයන් අතර පවා වර්ධනය වෙමින් තිබිණි.

මෙම කනස්සල්ල 1817 සැප්තැම්බර් 26 සිට කැරැල්ලක අවධියකට හැරෙමින් පැවැති අතර, හජ්ජි මොහන්දිරම්ගේ හමුදා බදුල්ලට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමඟ වේ. දෙවන උත්සාහය මේජර් විසින් සිදු කරන ලදී. තවද ඔහු කැරලිකරුවන් විසින් මරා දමන ලදී. 1817 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී කැරලිකාර ව්‍යාපාරය ප‍්‍රබල ලෙස පෙන්නුම් කරන ලදී. ඔක්තෝබර් මස අවසානයේදී කැප්පටිපොළ නිලමේ යටතේ බි‍්‍රතාන්‍යයන් ඌව-වෙල්ලස්ස ප‍්‍රදේශයට දැවැන්ත හමුදාවක් යවනවිට, ඌවට ඇතුළු වීමට පෙර ඔවුන්ට පහර දීමට කැරැලි නායකයන්ට ඉහළ චිත්ත ශක්තියක් තිබුණි. කැප්පෙටිපොළ නිලමේ කැරලි නායකයන් සමඟ සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර අවසානයේ කැරලිකරුවන් සමඟ එකතු වී සටනට නායකත්වය දීමට තීරණය කළේය. කැරලිකාර නායකයන් සතුරන්ගේ තුවක්කු සහ පතොරම් කොල්ලකෑමට සූදානම් වූ නමුත් පසුව ඔවුන් එය වෙනස් කළහ. කැප්පෙටිපොළ තම අණ යටතේ සිටි සියලූම බි‍්‍රතාන්‍ය හමුදා ඔවුන්ගේ සියලූ ආයුධ සහ පතොරම් සමඟ ආපසු හැරවීය. එතැන් සිට බොහෝ උඩරට රදළයන්, දිසාව සහ මොහොට්ටාල තම ප‍්‍රදේශයේ අනුගාමිකයන් සමඟ කැරලිකරුවන්ට එක් වීමට පටන් ගත්හ.

එංගලන්තයේ සිටි තෙවෙනි ජොර්ජ් රජුට දෘශ්‍යමාන රජෙකුගේ තැන ගැනීමට නොහැකි විය. මහනුවර වැසියාට වුවමනා වූයේ බැහැ දැකගත හැකි රජෙකි. රජු ඉදිරියේ සිය දුක්ගැනවිලි කියා පා වැඳ වැටී තීන්දු ලබාගැනීමට ඔවුන්ට රජෙකු අවශ්‍ය විය. එතෙර සිටින රජෙකු කෙසේ ලංකාව පාලනය කරාවි දැයි ඔවුන්ට සිතා ගත නොහැකි විය. මේ අසහනය වඩාමත් පැතිර ගියේ ඌව වෙල්ලස්සේ ය. මහනුවර රජුන් දවස ද ඌව වෙල්ලස්ස මහනුවර රාජධානියේ හුදකලා ප‍්‍රදේශයක් ලෙසින් පැවැතුණි. රජුගේ පාලනය මේ ප‍්‍රදේශ කෙරේ බලපෑවේ ඉතා සුළු වශයෙනි. එහෙත් එහි වැසියෝ දැඩි රාජපාක්ෂිකයෝ වූහ. 1815 දී ඌව-වෙල්ලස්ස ප‍්‍රදේශයේ වැසියන් බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධව නැඟී නොසිටීය. නමුත් මෙම ප‍්‍රදේශ නියමාකාරයෙන් යටත් නොවීය. එහෙත් බි‍්‍රතාන්‍ය හේවායෝ වැසියන්ගේ දේපළ කොල්ල කෑහ. ඔවුන්ට විරුද්ධව ක‍්‍රියා කිරීමට නොහැකි වූ බැවින් ගම්මුලාදෑනි කෝපයට පත්වූහ. මේ අතර ඌව-වෙල්ලස්සේ යෝනක ජනයා බිතාන්‍යයට ළැදි වූහ. වෙරළබඩ ප‍්‍රදේශ සමඟ ගෙන ගිය රෙදි සහ ලූනූ වෙළෙඳාම සම්පූර්ණයෙන් ම පැවැතියේ යෝනකයන් අත වේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ ඔවුන්ගේ කාර්ය වූයේ රජුගේ ගබඩාවට බඩු ඇදීම වේ. මේ නිසා මැදිගේ දෙපාර්තමේන්තුව ඔවුන්ගෙන් සමන්විත වූහ. එහෙත් මැදිගේ ලේකම් වූයේ සිංහලයෙක්. යෝනකයන් සුළු මුලාදෑනි තනතුරු දරන ලද නමුත් ඔවුන්ගේ ප‍්‍රදේශයේ දිසාවේ සහ අන් ප‍්‍රධානීන්ගේ පාලනයට යටත් වූහ. මේ නිසා ඔවුන් ගෙන ගිය බඩු සිංහල ප‍්‍රධානීන් කැමැති මිලකට ගන්නා ලද අතර සමහර විටෙක නොමිලයේ ද ගත්හ.

මෙයින් අප‍්‍රසාදයට පත්ව සිටි යෝනකයන් ඔවුන්ට ද මුහන්දිරම් තනතුරක් ලබාදෙන ලෙස බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා හජ්ජි නම් අයෙක් වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කළේ ය. මෙය සිංහලයන් කුපිත කරවන සිද්ධියක් විය. මුස්ලිම්වරුන් ද තමන්ට අත්වූ බලයෙන් ප‍්‍රමුදිත වූවාහු සිංහල අදිපතිවරුන්ට පෙර මෙන් සැලකිලි නොකළහ. 1817 කතරගම දේවාලයේ පෙරහැර අවසාන වීමත් සමඟම උඩරටින් මහා සංඝයා වහන්සේ පිරිසක් කතරගම දේවාලය කරා වැඩම කළහ. එම භික්ෂු පිරිස අතර සිටි තරුණ භික්ෂුවක් හීන් හාමුදුරුවෝ ලෙස හැඳින්වූහ. ඔහු කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ ඥාතියකු ලෙස දේවාලයේ භාර කරුවන්ට හඳුන්වා දෙන ලදී. නමින් විල්බාවේ උන්නාන්සේ වූ හෙතෙම සිවුරු හරවා කිවුලේගෙදර මොහොට්ටාල විසින් පිරිනමන ලද රන් හුයෙන් නිම කරන ලද විචිත‍්‍ර වූත්, අනගි වූත් වස්ත‍්‍ර හදවා දොරේසාමී නොහොත් ශ‍්‍රී රාජසිංහ නමින් අභිෂේක කරවන ලදී. මේ ලෙස යළිත් සිංහල රාජ්‍යයක් බිහි කිරීමේ අරගලය වෙල්ලස්සෙන් ඇරැුඹීමත් සමඟම එය සැලවූ හජ්ජි මුහන්දිරම් කැරැුලිකරුවන් අත්අඩංගුවට ගැනීමට

ගියේ ය. ඔහු පසුපස ගිය කැරැලිකරුවන් හජ්ජි මුහන්දිරම් අල්ලා ගත්තේ ය. ඔහු බේරා ගැනීම සඳහා ගිය එවකට ඌවේ උපදිසාපති වූ මේජර් සිල්වෙස්ටර් විල්සන් ඊතනවත්ත දේවාලයට නුදුරු විල් තෙරදී ඊ පහරකට ලක්ව මරු මුවට පත්විය. මේ අතර පහළ ඌවේ වනගත පෙදෙස්වල ඉංග‍්‍රීසීන්ට විරුද්ධ සටන මෙහෙයවූ විල්බාවේ නොහොත් දොරේසාමී රජු සිය අනුගාමිකයන්ට තනතුරු දෙමින් සුද්දන් සියලූදෙනා මරා දැමීමට නියෝග නිකුත් කර තිබුණි. කැරැුලිකාර පිරිස වෙල්ලස්ස, ඌවල බින්තැන්න යන ප‍්‍රදේශවල ඉතාම බලවත්ව සිටින බව දක්නට ලැබුණි.මහ බදුලූ ගමරාල, බූටෑවේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල ආදීහු වෙල්ලස්ස සහ වලපනේ ප‍්‍රදේශවල සටන් මෙහෙයවූහ.

හජ්ජි මුහන්දිරම් සහ විල්සන් මරා දැමීමෙන් පසු ඌවේ සාමය ඇති කරනු සඳහා එහි යවන ලද්දේ මොනරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා ය. එහෙත් ඌවේ සටන් ව්‍යාපාරය පසුබිම හා වීරත්වය දුටු එතුමා ඉංග‍්‍රීසීන්ගේ අවි ආයුධ ආපසු යවා සිංහලයේ විමුක්ති සටනට එක් විය. එතුමා විල්බාවේ රජතුමා විසින් පිරි නැමූ සේනාධිනායක තනතුර භාරගෙන ඌවේ සටන් නායකයා බවට පත් විය. 1818 මැයි මාසය වනවිට කැරලිකරුවන්ට දළදා මාලිගාවේ තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ පැහැර ගැනීමට හැකි විය. ඒ වාරියපොළ සුමංගල හිමියන්ගේ උපකාරයෙනි. දන්ත ධාතූන් වහන්සේ යම් කෙනෙකු ළඟ වී නම් ඔහු උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල රජු වශයෙන් පිළිගැනීමේ සම්ප‍්‍රදාය අනුව කැරලිකරුවන්ගේ තත්ත්වය ඉතාමත් සතුටුදායක විය. මේ අනුව හඟුරන්කෙතදී විශාල ජනකායක් ඉදිරිපිට දී දොරේසාමි හෙවත් විල්බාවේ වීර වික‍්‍රම ශ‍්‍රී කීර්ති නමින් උඩරට රජු වශයෙන් ඔටුනු පළඳන ලදී. මේ නිදහස් සටනේදී වලපනේ ප‍්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් ම රැඳී තිබුණේ කිවුලේගෙදර මොහොට්ටාල අත ය. ඔහු අල්ලා ගැනීමට ඉංග‍්‍රීසීන් දරන ලද ප‍්‍රයත්න ව්‍යවර්ත වී ගියේ ය. ඔහුගේ හිස ගෙනා කෙනකුට රන් පගෝදි 500ක් දෙන බවට ඉංග‍්‍රීසි රජය විසින් ප‍්‍රකාශ කළේ ය.

මේ අතර දොරේසාමි ලෙස පෙනී සිටින්නේ නායක්කර් වංශිකයකු නොව සාමාන්‍ය පුද්ගලයකු බව දැන ගැනීමෙන් පසු කැරැුලි නායකයන් අතර මත භේද ඇති විය. ඒ අතර ඉංග‍්‍රීසි රජය කැරැුල්ල මැඬ පැවැත්වීමට අනුගමනය කළ ක‍්‍රෑර ක‍්‍රියා මාර්ග නිසා උඩරැුටියන්ගේ ගරිල්ලා සටන් ක‍්‍රමය අඩපණ වී ගියේය. කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ අනුරාධපුරය අසලදී අත්අඩංගුවට ගත්හ. 1818 නොවැම්බර් වනවිට කැරැල්ලේ නායකයන් බොහෝ දෙනෙක් ඉංග‍්‍රීසීන්ට අසුවී හෝ සටනේදී මරණයට පත් වී සිටියහ. ස්ථානෝචිත ප‍්‍රඥාවෙන් ක‍්‍රියා කළ කිවුලේගෙදර මොහොට්ටාල බොහෝ අවස්ථාවල ඉංග‍්‍රීසි සේනාංකවලින් බේරී පලා ගොස් ඇත. ඔහු වෙනුවෙන් ප‍්‍රදානය කරන විශාල මුදලට කෑදර වූ පිරිසක් ඔහු ගැන සෙවිල්ලෙන් සිටියහ. අවසානයේ ලූනූ වෙළෙන්දන් දෙදෙනකු ලෙස වෙස් වලාගෙන සිටි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් මහ වනයේ හේනක් මැද රෝගාතුරව දුර්වලව සිටි කිවුලේගෙදර මොහොට්ටාල සොයා ගන්නා ලදුව බදුල්ලේ ඉංග‍්‍රීසි ඒජන්තවරයා වෙත භාරදෙන ලදී.

මේ අනුව ඌව කැරැල්ලට පණ දුන් ඒ අභීත විරුවාට අවාසනාවන්ත ලෙස 1818 නොවැම්බර් 26 දින බදුල්ල යුධාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදි. එම නියෝගයට අනුව 1818 දෙසැම්බර් 18 දින බදුල්ලේ දී කිවුලේගෙදර මොහොට්ටාල විරුවා එල්ලා මරණ ලදී. කෙසේ නමුත් 1818 විමුක්ති සටනේ පුරෝගාමියා වූ කිවුලේගෙදර මොහොට්ටාලට ජනතාව කොතෙක් ආදරය කළේ ද යත් ඔහු මිය ගිය පසු ,පුංචි අලූත්බණ්ඩාර දෙවියන්, ලෙසින් දේවත්වයෙහිලා සලකා පුද පූජා පවත්වනු ලැබේ. මේ අනුව ඌව කැරැල්ලට පණ දුන් කිවුලේගෙදර මොහොට්ටාල යනු ජාතික වීරයකු යනුවෙන් හැඳින්වීම ඉතාමත් නිවැරදි වේ.

ඩබ්.එම්. ප‍්‍රසන්න ජයන්ත කුමාර,
පුරාවිද්‍යා (විශේෂ), සිවුවන වසර,
පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment