1818 නිදහස් අරගලය: නව කියැවීමක අවශ්‍යතාව

1094

සියවසක සටහන් – 54 වැනි කොටස

(නිදහස් අරගල සමරන්නෝ, කඳුරට මොණරවිල කැප්පෙටිපොළ අනුස්මරණ කමිටුව හා ශී‍්‍ර ලංකා ගිටාර් සංගමයේ මූලිකත්වයෙන්, බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදයට එරෙහි වූ පළමු නිදහස් අරගලය, යන මැයින් 2021 නොවැම්බර් 29 වැනිදා කොළඹ දී පවත්වන ලද සම්මන්ත‍්‍රණයේදී 1818 නිදහස් අරගලය නව කියැවීමක අවශ්‍යතාව, නමින් සේන තෝරදෙනිය විසින් පවත්වන ලද දේශනයේ සංක්ෂිප්ත සටහනකි.)

කොටි ත‍්‍රස්තවාදීන්ගේ ශේෂ නොවැම්බරයේ දී අදත් මාවීරර් දිනය ආණ්ඩුවේ සීමා කිරීම් මධ්‍යයෙහි වුව සමරන වේලේ කැප්පෙටිපොළ ඝාතනය කළ නොවැම්බර් 26 වෙනිදා, කොටි ශේෂ මාවීර්, දිනය සමරන ආකාරයෙන් පවත්වන්නේ ද යන්න පළමුකොටම නැගිය යුතු ප‍්‍රශ්නයකි. විවිධ ආණ්ඩු ජාතික උරුමයන් ගැන කතා කළද, කැප්පෙටිපොළ ඇතුළු 1818 විමුක්තිකාමීන්ගේ අරගලය සැමරීම සංස්කෘතික අමාත්‍යාංශයට අකැපවී ඇත්තේ ඇයිද, 1818 නොසැමරීමට හේතු කවරේද යන්න සොයා බැලිය යුතුය.

ඉංගිරිසියෙන් ලියන එක්තරා පරගැති සිංහල සමාජ විද්‍යාඥයෙකු විසින් මෑතකදී ඉංගිරිසි පුවත්පතකට ලියූ ලිපියක් ගැන සඳහන් කිරීමට කැමැත්තෙමි. වීර අලකේශ්වරගේ අවාසනාවන්ත ඉරණම: අතීතයෙන් නිකුත් කෙරෙන අනතුරු හැඟවීම්, නමින් සිංහලයට පරිවර්තනය කළ හැකි එම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ, මෙරට චීන විරෝධී සමූහ ගායනාවට එක්වීම බව නිසැකය. මෙය චීනයේ නව සේදමාවත, කොළඹ වරාය නගරය ඇතුළු මෙරට චීන ආයෝජන, සිනෝෆාම් එන්නත ගැන ඇති වූ විරෝධය හා එය භාවිතයට අනුමත කිරීම ප‍්‍රමාද කිරීම හා සිනොෆාම් එන්නතේ සඵලමත්භාවය ප‍්‍රශ්න කිරීම වැනි විවිධ ආකාරයේ මෙරට විශේෂඥයන් හා විශේෂඥවරියන්ගේ මෙහෙයුම් හා සමපාත වන්නක් බව පැහැදිලිය.

මෙම ලිපිය මගින් කියැවෙන්නේ, චීනයේ මිං රාජවංශ සමයේදී ෂෙන් හේ ගේ නායකත්වය යටතේ කරන ලද මිං චාරිකා, ව්‍යාප්තවාදී, ආක‍්‍රමණකාරී රටවල් යටපත් කරගැනීමේ, රටවල් කොල්ලකෑමේ, යටත්විජිත ඇතිකර ගැනීමේ අරමුණු ඇතිව කරන ලද බව පෙන්වා, අතීතයේදී ඇති වූ ඒ අනතුරු හැඟවීම්, වලින් අප පාඩම් උගත යුතු බවයි. මෙහිදී මා මිං රාජවංශය, මිං චාරිකා, ෂෙන් හේ හා ෂෙන් හේ ගේ චාරිකාවල අරමුණු, ඒවායේ කි‍්‍රයාකාරිත්වය හා ඒවා නවතා දැමීමට හේතු මොනවාදැයි සාකච්ඡුා කරන්නේ නැත. මේ සියල්ලම මම මා ලියූ පිළිතුරු ලිපියකට ඇතුළත් කළෙමි. ෂෙන් හේ විසින් වීර අලකේශ්වර අල්ලා ගැනීම, සිරකරුවෙකු ලෙසින් ඔහු චීනයට ගෙන යෑම, ඔහුට සමාව දී නිදහස්කොට යළිත් ලංකාවට එවීම ගැන රාජාවලිය, අලකේශ්වර යුද්ධය, හා සද්ධර්මරත්නාකරය, වැනි ග‍්‍රන්ථවල විස්තර වී නොමැති බව සැබෑය. එසේ වීමට බොහෝ හේතු වූ බව මම පැහැදිලි කළෙමි. එහෙත් ඉහත කී සමාජවිද්‍යාඥයා කියන්නේ අපේ ජාතික පරාජයන්, අපේ ජාතික ස්මරණයන්ට, ඇතුළත් නොවන බවත්, එබඳු ලජ්ජාවට පත්වූ අවස්ථාවන්, අප සවිඥානිකව ඉතිහාසයෙන් මකා දමන බවත්, ය. එම ප‍්‍රකාශය කොතරම් නිවැරදි වන්නේද?

පළමුකොට කිව යුත්තේ වීර අලකේශ්වර එකල ජාතික නායකයෙකු නොවූ බවයි. ප‍්‍රාදේශීය නායකයෙකුට වූ දෙයක් ජාතික පරාජයක්, විය නොහැකිය. එහෙත් අපේ ජාතික ඉතිහාසයේ ලජ්ජාශීලි මොහොත, වන්නේ 1815 මාර්තු 2 වැනිදා බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් උඩරට රාජධානිය බි‍්‍රතාන්‍ය කිරීටයට ඈඳා ගැනීමෙන් පසුව මුළු ලංකාවම යටපත් කරගැනීම හා 1818 හා 1848 නිදහස් අරගලවල පරාජයයි. අප 1815 ඒ අපකීර්තිමත් මොහොත සමරන්නේ නැද්ද? 1818 හා 1848 විමුක්ති අරගල බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් කුරිරු අන්දමින් මැඬලන ලැබූවද, ඒ අරගල පරාජයෙන් කෙළවර වූවද අප එම අරගල සිහිකරන්නේ නැද්ද? ලොව පුරා කොමියුනිස්ට්වාදීන් අදත් 1870 පැරිස් කොමියුනය සමරන බවද කිව යුතුය. පැරිස් කොමියුනය මාස හතරකට වඩා නොපැවතියත්, එය මර්දනය කරනු ලැබූවත් පරාජය කරනු ලැබූවත් එය සැමරීමට භාජන වන්නකි. මෙහිදී බටහිර අධිරාජ්‍යවාදීන් ගැනද සිතා බලමු. 1915-1916 ගැලිපෝලි යුද්ධය මිත‍්‍ර පාක්ෂිකයන්ට ඉමහත් ව්‍යසනයක් ගෙන දුන්නද එය අදත් සමරනු ලැබේ. ඔස්ටේ‍්‍රලියානු – නවසීලන්ත ඒකාබද්ධ හමුදා තුර්කියේ ගැලිපෝලි අර්ධද්වීපයට ගොඩ බට දිනය අදත් ඇන්සැක් දිනය, (ANZAC Day) නමින් (ඔස්ටේ‍්‍රලියා – නවසීලන්ත හමුදා බළකාය) සැමරීමට පාත‍්‍රවනවා පමණක් නොව එම දිනය මේ දෙරමෙහිම ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් වේ.

අප වීර අලකේශ්වරගේ ඊනියා අවාසනාවන්ත මොහොත, සවිඥානිකව හා සිතාමතාම අමතකර දමා නැත. මේ ගැන ලියන ලද ලිපි හා අර්ථකථන රාශියක් තිබේ. 2014 දී විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා මේ හා සම්බන්ධයෙන් චීන මෙහෙයුම, නමින් විශාල ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත්කොට තිබේ. එහෙත් අප කී සමාජවිද්‍යාඥයා මෙම ග‍්‍රන්ථය ගැන හෝ අනෙකුත් ශාස්තී‍්‍රය ලිපි ගැන නොදනියි. මිං චාරිකා අතරමැදදී නතර කරනු නොලැබුවේ නම් අප රටට පෘතුගීසි ආක‍්‍රමණයක් සිදු නොවන බව අප සඳහන් කළ යුතුය. එසේ වූයේ නම් අපේ රටේ ඉතිහාසය බොහෝ සේ වෙනස් වෙනවා ඇත.

අපේ ඉතිහාසය අමතක කළේ හෝ මකා දැම්මේ අප නොවේ. එය අපට අමතක කිරීමට සැලැස්වූයේ ද, මකා දැම්මේද, යටත්විජිතවාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ මෙරට ගැත්තන්ය. යටත්විජිතවාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව වැඩ කළ බටහිර ඉතිහාසඥයන් හා ඔවුන්ගේ මෙරට නියෝජිතයන්ය. යටත්විජිත අධ්‍යාපනය මගින් අපට ඉගැන්වූයේ, අපේ ඉතිහාසය නොව බි‍්‍රතාන්‍ය ඇතුළු යුරෝපා ඉතිහාසයයි. ලංකා විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම උපකුලපතිවරයා වූ අයිවර් ජෙනිංග්ස්ට අවශ්‍ය වූයේ, මෙරට යටත්විජිත විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමටය. මෙම කරුණු මම මගේ නිදහස් අරගලය හා සාහිත්‍යය, හා පේරාදෙණිය ගුරුකුලයේ උපත, නැඟීම හා බිඳවැටීම යන ග‍්‍රන්ථවලින් සවිස්තරව දක්වා තිබේ. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් මෙරට සිංහලෙන් හා දෙමළෙන් උගන්වන ස්වභාෂා පාසල්, හා ඉංගිරිසිය ද ඉගැන්වූ ද්විභාෂා පාසල්, ඇති කළද ඒවායෙන් ලබා දුන්නේ අප රටට ගැළපෙන අධ්‍යාපනයක් නොව යටත්විජිත පරිපාලනයේ පහළ ස්ථරය සෑදීමට අවශ්‍ය අධ්‍යාපනයකි.

විසිවන සියවසේ මුල දී පවා ස්වභාෂා පාසලක වැඩ ආරම්භ වූයේ බාල්කයක ගසා තිබූ බි‍්‍රතාන්‍ය රජුගේ පින්තූරය දෙස බලා රාජකීය යුවළ ගැන ස්තුති ගී ගයා එම පින්තූරයට හිස නමා ආචාර කරමිනි. උදය ඉංගිරිසි කොඩිය ඔසොවා කව් ගායනා කරන ලදි. එම කව්වලින් කාවද්දන ලද්දේ, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සියලූ සාගර පාලනය කරන බවයි. නෙල්සන් සාමිවරයා යටතේ 1805 දී ට්රැෆල්ගාර් තුඩුවේදී ප‍්‍රංශ හා ස්පාඤ්ඤ ඒකාබද්ධ නෞකා පන්තියක් විනාශ කිරීමේ ට්රැෆල්ගාර් සටන පන්ති කාමරයේදී රඟ දැක්විණ.

මෙසේ අපේ ඉතිහාසය අපට අමතක කරවන ලදි. අපේ ඉතිහාසය ලීවේද බටහිර ඉතිහාසඥයෝ හා බටහිර ගැති ලාංකික ඉතිහාසඥයෝ වෙති. ඒ අනුව අප රට ඇති වූ විමුක්ති අරගල පල්හොරුන්ගේ කැරලි යැයි පෙන්වා ඒවා ම්ලේච්ඡු ලෙස මර්දනය කළ, කොල්ලකෑම් කළ වැව් අමුණු වනසා ආර්ථිකය විනාශ කළ බි‍්‍රතාන්‍ය හමුදා භටයින් වීරයින් ලෙස පෙන්වන ලදි. අපේ පැවැති අධ්‍යාපන ක‍්‍රමයම අතීත ඉතිහාසය අමතක කරවීමට හේතුවූ බව උදාහරණ රාශියක් මගින් පෙන්වා දිය හැකිය. මගේ ගම පාතදුම්බර පිහිටි ගමකි. පැරණි ඇත්ගාල පාර වැටී තිබුණේ මේ ගමේ එක් කෙළවරකිනි. ඒ අසල වූ ඉංගිරිසින්ගේ

ඇත්ගාලේ කොටුවට 1818 දී අමුණුගම බත්වඩන නිලමේගේ නායකත්වයෙන් දුම්බර ජනතාව පහර දුන්හ. ඇත්ගාල පාරට ඇතුළුවන තැන හඳුන්මල් කඩුල්ල නම් කඩවතක් වීය. එහි පසෙක අන්දායම නමින් මුර සෙබළුන් නවතා සිටි පැරණි මුරපොළක් තිබුණි. ඇත්ගාල පාර මුදුනින් පිහිටි කඳුගැටයක කොටුවේමුදුන නමින් කොටුවක් විය. තැනිතලා ප‍්‍රදේශයෙන් සතුරන් මහනුවර ආක‍්‍රමණය කිරීමට එන බව නිරීක්‍ෂණය කොට මහනුවරට සංඥා මගින් දැනුම් දුන්නේ මෙහි සිටය. එහෙත් අද මේ සියල්ල ජනමතකයෙන් ගිලිහී ගොස් ඇත්තේ, ඉතිහාසය අපෙන් වසන් කළ හෙයිනි.

නව ඉතිහාසකරණයක් අවශ්‍ය වන්නේද, 1818 විමුක්ති අරගලය නැවත කියැවීමක් ආරම්භ කළ යුත්තේද මේ පසුබිම යටතේය. 1818 විමුක්ති අරගලයට නව විශ්ලේෂණ හා නව අර්ථකථන අවශ්‍ය කෙරේ. මම මගේ උදුම්බරාගිර, හඳුන්මල් කඩුල්ල, හා මඩරන්, යන නවකතා මගින් මේවා සාකච්ඡාකොට ඇත්තෙමි. විශේෂයෙන්ම මගේ මඩරන්, නවකතාවේදී 1818 අරගලය ප‍්‍රතිනිර්මාණය කරමින් රාජ්‍ය ප‍්‍රතිරූපකයා යැයි බි‍්‍රතාන්‍ය පාලකයන් හා ඉතිහාසඥයන් විසින් හඳුන්වාදෙන ලද විල්බාවේ උන්නාන්සේ පිළිබඳව නව අර්ථකථනයක් ඉදිරිපත් කළෙමි. උඩදුම්බර පිටවල දී ඔහු මඩුගල්ලේ හා පිළිමතලව්වේගේ ග‍්‍රහණයෙන් මිදී පලා ගියා නොව දුම්බර නිදහස් සටන් නායකයන් විසින් ඔහු නිදහස් කෙරේ. නුවරකලාවියට යන අතරදී ඔහු පවසන රහසක් වන්නේ තමා බලහත්කාරයෙන් රජ බවට පත් නොකළ බවත්, එය නිදහස් සටන්කාමීන්ගේ සැලසුමකට අනුව සිදුවූ බවත්ය. මේ වනවිට ඌවෙන් ආ පිරිස් ඌවටත්, හේවාහැටෙන් ආ පිරිස් හේවාහැටටත්, දුම්බරින් හා පිරිස් දුම්බරටත් ආපසු යති. 1818 නිදහස් අරගලයේ අවසානයේ ආරම්භය සිදුවන්නේ මේ සමගිනි.

1818 නිදහස් අරගලය යළි කියැවිය යුත්තේ කෙසේද? මෙහිදී අප හඳුනාගත යුතු මූලික කරුණක් නම් එය නිරායාසයෙන් ඇතිවූවක් නොවන බවයි. උඩරට රාජධානිය ඈඳා ගන්නා ලද්දේ 1815 මාර්තු මස දෙවෙනිදාය. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1816 ජූලි 20 වැනි දින යටත්විජිත බාර ලේකම් බැතර්ස්ට් සාමිවරයාට යවන ලද සන්දේශය මගින් දක්වන පරිදි එක්නැලිගොඩ විසින් කරන ලද පාවාදීම අනුව ඉහගම හා කපුලියද්දේ යන තෙරුන් වහන්සේ උඩරට ඈඳා ගැනීමෙන් පසුව ඉතා සුළු කාලයක් තුළදී බි‍්‍රතාන්‍යයන් රටින් නෙරපා දැමීමේ සැලසුම් ආරම්භ කොට තිබේ. එහෙයින් 1818 යනු හිටිහැටියේ ඇති වූ පිපිරීමක් නොව මහා සැලසුම් සහගත කි‍්‍රයාවලියක් වේ. මේ අසා බ‍්‍රවුන්රිග් බියෙන් කම්පිත වී තිබේ.

මෙහිදී කැප්පෙටිපොළ ගැන තක්සේරුවක් කිරීම ද වටී. ඔහු සේනා සංවිධානයේ, පහරදීමේ හා පසුබැසීමේ උපාය උපක‍්‍රම දත් අභිනවයෙන් පත්වූ රජුට යුද උපායන් ලබා දුන් අය වීය. රජු විසින් කරන ලද්දේ, කැප්පෙටිපොළගේ උපදෙස් හා අණ ජනතාවට ප‍්‍රකාශ කිරීමයි. කැප්පෙටිපොළ ඩොයිලිගේ ඔත්තුකරුවෙකු වූ උඩුගම උන්නාන්සේ දින දහයක් තමා වෙත තබාගෙන ඔහුට භික්‍ෂුවකට මෙන් සැලකුවේය. විල්බාවේ ගැන තොරතුරු සොයාගෙන ඒ බව ඩොයිලිට ද ඔහුගේ මාර්ගයෙන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට ද සැලකොට සිටියේ උඩුගම උන්නාන්සේය. කැප්පෙටිපොළට උඩුගම කවරෙකුදැයි හඳුනාගෙන ඔහුට එරෙහිව කි‍්‍රයාමාර්ගයක් ගැනීමට හැකි විණි නම් අරගලයේ දිශානතිය හා ප‍්‍රතිඵල බොහෝ සේ වෙනස්වීමට ඉඩ තිබිණ.

ප‍්‍රචලිත කරන ලද පොදු මතය අනුව උඩරට විමුක්ති අරගලය බලය හා වරප‍්‍රසාද සීමා කිරීම්වලට ලක්වූ උඩරට ප‍්‍රධානීන්ගේ අරගලයක් නොවේ. එය සමාජයේ විවිධ තරාතිරම්වල, කුලවල, ජාතිවල ජනතාව මෙන්ම ආදිවාසීන් ද සම්බන්ධ වූ මහජන යුද්ධයක් වේ. මා ඕ සේතුං විසින් 1934 දී ඉදිරිපත් කරන ලද මහජන යුද්ධය පිළිබඳ න්‍යායේ සිද්ධාන්ත මෙම අරගලයට ද ගැළපෙයි. විප්ලවවාදී යුද්ධය බහුජනතාවගේ යුද්ධයකි. එය දියත් කළ හැක්කේ බහුජනතාව සංවිධානය කිරීමෙන් පමණි, යි මා ඕ කීවේය. අයෝමය බලකොටුව වන්නේද බහුජනතාවයි.

උඩරට ජනතාවගේ සටන් ක‍්‍රමය වූයේ ද, ඔවුන් සතුරන් පරාජය කළේ ද ගරිල්ලා සටන් ක‍්‍රමය හා ගරිල්ලා සටන් ක‍්‍රමය මගිනි. මුලදී සිදුවූයේ, ආක‍්‍රමණික හමුදාවලට රාජධානියට පිවිසීමට ඉඩදී පසුව වටලා පහරදීමයි. බලන, ගන්නෝරුව, රන්දෙණිගල, වටපුළුව ආදි සංග‍්‍රාමවලදී නිශ්චිත සංග‍්‍රාම භූමියක් විය. එම සංග‍්‍රාම භූමිවලට සියලූ ශක්තිය යෙදවීමට හැකි විණ. පෘතුගීසීන්ට එරෙහි වූ සටන් වලදී සිංහල සේනා වෙතට පලා ආ ලස්කි‍්‍රඤ්ඤ භටයෝ තීරණාත්මක සාධකයක් වූහ.

එහෙත් 1818 දී පැවතියේ විසිරුණු සටන් ක‍්‍රමයකි. ඌව, වෙල්ලස්ස, වලපනේ, හේවාහැට, දුම්බර හා හාරිස්පත්තුවේ සටන් ඇවිළෙයි. මෙයින් උඩරට හමුදා බලය එක් තැනකට සංකේන්ද්‍රණය නොකොට විකේන්ද්‍රණය කිරීමට සිදුවිය. මෙම සටන් ක‍්‍රමය උඩරට සටන්කරුවන්ට අවාසිදායක වීය. මේ නිසාම විමුක්ති භටයන්ට ගරිල්ලා යුද්ධය පසෙක ලා ස්ථානගත යුද්ධයට – සාම්ප‍්‍රදායික යුද්ධ ක‍්‍රමයට මාරුවීමට සිදුවිණි. මෙම ස්ථානීය – සාම්ප‍්‍රදායික යුද්ධ ක‍්‍රමය අපේ යුද්ධ ක‍්‍රමය නොවේ.

මේ නිසාම තමාගේ බල ප‍්‍රදේශ ආරක්‍ෂා කොටගෙන, ඒවායේ බලය තහවුරු කොටගෙන, සතුරාට ප‍්‍රවිෂ්ඨ වීමට ඉඩ නොතබා ආරක්‍ෂා කර ගැනීම අපහසු වෙයි. සතුරු ප‍්‍රහාර හමුවේ ප‍්‍රදේශ හැර දමා යෑමට සිදුවේ. සතුරාට නිවාස හා දේපළ විනාශ කිරීමට, ගහකොළ හා හරකාබාන විනාශ කිරීමට, වාරිමාර්ග විනාශ කිරීමට ඉඩ ලැබෙන්නේ මෙසේ ආරක්‍ෂාව නොලැබී ගිය කල්හිය. මේ විනාශකාරී කි‍්‍රයාවන්ට එරෙහිවීමට හා ඒවා නතර කිරීමට අපේ සටන්කාමීන්ට නොහැකි වේ. මේ සමඟම ආර්ථිකය රැක ගැනීමට ද, නිෂ්පාදනය අඛණ්ඩව ගෙනයෑමට ද නොහැකි වෙයි. ඝාතන, දඬුවම් කිරීම්, හිරබාරයට ගැනීම් වධහිංසා පැමිණවීම් හා දේපළ විනාශය සමගින් සතුරාගේ සටන් උපක‍්‍රම සාර්ථක වේ. ජනතාව පලා යා නොදී ආරක්‍ෂා කරගත හැක්කේ, තමාගේම ප‍්‍රදේශ එනම් නිදහස් කරගත් ප‍්‍රදේශවල ශක්තිය හා ආරක්‍ෂාව මතය. එය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ ජනතාව අතරින් ගම්වල රැඳී යුද කටයුතුවලට සහාය දෙන මහජන මිලීෂියාවක් ඇති කිරීමෙනි. සියලූම සටන්කරුවන් ප‍්‍රහාරයට එක්වීම නිසා එබඳු විශේෂ ප‍්‍රාගුණ්‍යත්වයක් – වැඩ බෙදීමක් – ඇති නොවේ.

සටන් උපක‍්‍රම ගරිල්ලා ක‍්‍රමයෙන් ප‍්‍රහාරාත්මක හෙවත් ආක‍්‍රමණකාරී පැත්තට මාරු කිරීම අපේ සටන් ක‍්‍රමය නොවේ. අප ස්ථානීය යුද්ධයකට ගියත් ගරිල්ලා ප‍්‍රහාර හා ග‍්‍රාමීය මිලීෂියාවක් අපට පවත්වාගත හැකි වූයේ නම් නිදහස් අරගලය පරාජයෙන් කෙළවර නොවීමට ඉඩ තිබිණ.

රජු තැනින් තැන සංචාරය කිරීම අපට රජෙකු ඇති බව පෙන්වා ජනතාවගේ විශ්වාසය ඇති කරන්නක් වීම නිසා එය වැදගත් දේශපාලන තීරණයක් වේ. දළදාව අත්පත් කරගැනීම හා දළදාව හඟුරන්කෙත දී ප‍්‍රදර්ශනය කිරීම එම දේශපාලනයේම අංගයක් වේ.

යුද්ධයේ එක් අරමුණක් වන්නේ තමා ආරක්‍ෂා වී සතුරා විනාශ කිරීමයි. විනාශ කිරීම යනු සතුරා නිරායුද කිරීමක්ද වේ. විරුද්ධකම් පෑමට ඇති ඔහුගේ බලය අහිමි කිරීමයි. එය මැනවින් ඉටු නොවීය. මෙහිදී ප‍්‍රහාරාත්මක වීම මෙන්ම ආරක්‍ෂා වීම ද අවශ්‍ය වේ. ප‍්‍රහාරය යනු සතුරා විනාශ කිරීමයි. සතුරා විනාශ නොකළහොත් අපේ හමුදා විනාශ වේ. ආරක්‍ෂා වීම යනු ප‍්‍රහාරයට පරිපූරක වූවක් වේ. එය ප‍්‍රහාරය සඳහා සූදානම් වීමකි. පසුබැසීම ද ආරක්‍ෂා වීමකි. එනම් ආරක්ෂාව අඛණ්ඩව ගෙන යෑමයි. අපට මෙම සිද්ධාන්ත කි‍්‍රයාත්මක කළ හැකි වීද? අපට සතුරා හඹා යෑමට හැකිවිණි ද? සතුරා හඹායෑම යනු ප‍්‍රහාරය අඛණ්ඩව ගෙන යෑමයි.

මෙහිදී පෙනී යන දෙයක් වන්නේ, අපේ ආරක්‍ෂණ උපක‍්‍රම දුර්වල වූ බවකි. යුද්ධයේ මූලික අරමුණ වන්නේ, සතුරා විනාශ කිරීමයි. තමා ආරක්‍ෂා වීමයි. තමාට ආරක්‍ෂා විය හැක්කේ සතුරා විනාශ කිරීමෙනි. මේ නිසාම ප‍්‍රහාරය සතුරා වනසන ප‍්‍රධාන මාර්ගයයි. ආරක්ෂාව සතුරා වනසන අතුරු මාර්ගයකි.

බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන්ට කොතරම් අවි ශක්තියක් තිබුණද ඔවුනට ගරිල්ලා යුද ක‍්‍රමය ආගන්තුක වූවක් විය. අපේ වාසිය වූයේද එයයි. එම වාසිය අඛණ්ඩව පවත්වා ගැනීමට අපට නොහැකි වීය. පහතරට ප‍්‍රදේශවල කැළඹිලි හා ප‍්‍රහාර ඇති කිරීමට ද අපට පුළුවන්කමක් නොවීය.

වෙනත් භෞතික හා පුද්ගල-බද්ධ කරුණු ද අරගලයේ පරාජයට හේතු වීය. කැප්පෙටිපොළට වැළඳුණු ලේ අතීසාරය, වෙඩි බෙහෙත් හිඟය, ගිනිතබා විනාශ කිරීම්, ජනතාව ප‍්‍රදේශවලින් පලායාම විමුක්ති සටනට අවාසිදායක වීය. මඩුගල්ලේ හා පිළිමතලාවේ රජුට හා කැප්පෙටිපොළට එරෙහිව කටයුතු කිරීම, පිළිමතලව්වේ ඇහැලේපොළ ආදීන් මුදා ගැනීමට රහසිගතව ඉංගිරිසින් සමග කුමන්ත‍්‍රණ අරඹා තිබීම, අරගලයේ පරාජයට හේතු වූ වෙනත් කාරණා අතර වේ.

1848 දී වූ පරාජයෙන් පසුව නිදහස සඳහා කෙරෙන සටන කතාසාප්පුකාරයන්ගේ සාකච්ඡුා බවට පරිවර්තනය වීය. එම නිදහස අසම්පූර්ණ වූයේත්, එහි වටිනාකමක් අද පවා නොමැත්තේත් එය සටන් කොට දිනාගත් නිදහසක් නොවන හෙයිනි.

බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ඌව – වෙල්ලස්ස හා සෙසු උඩරට පළාත්වල කරන ලද ම්ලේච්ඡ කි‍්‍රයා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට ඉදිරිපත් කොට වින්දිතයන්ට වන්දි ලබාදීමට මෙතෙක් කිසිදු ආණ්ඩුවක් ඉදිරිපත් වූයේ නැත. ශී‍්‍ර ලංකාවට එරෙහිව ජිනීවා සමුළුවේදී වාර්ෂිකව බි‍්‍රතාන්‍ය ඇතුළු සෙසු බටහිර රටවල් නගන චෝදනාවලදී නුඹලා අපට කළේ මෙසේ යැයි හඬ නගා කීමට කිසිදු දේශපාලනඥයෙකුට හා තානාපති නිලධාරියෙකුට හැකිවී නැත. ඒ අතින් කින්යාව මාව් මාව් ව්‍යාපාරයේ වින්දිතයන්ට වන්දි ලබා ගැනීමට සමත් වීය. ලංකාවේ සිදුවූ සිදුවීම් කින්යාවේ සිදුවූ සිදුවීම් සමඟ කිසිසේත්ම සන්සන්දනය කළ නොහැකිය. එයින් පෙනීයන්නේ බලයට පත්වූ අපේ විවිධ පාලකයන්ගේ නිවට නියාලූ බවයි. 1818 විමුක්ති අරගලයට සහභාගිවූවන් සහ එම පවුල් දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කොට ගැසට් නිකුත් කිරීම තරම් විගඩමක් තවත් තිබිය නොහැකිය. එය මෙරට පාලකයන් විසින් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් කරන ලද කංගානි වැඩක් පමණි. ගම්වාසීන් හෝ නොදැන ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමෙන් හා සහතිකපත් දීමෙන් ඇති ඵලය කුමක්දැයි මේ අමන පාලකයන්ට නොතේරීම එම විරුවන්ටද, එම විරුවන්ගෙන් පැවත එන්නන්ටද කරන ලද අවමානයක් වේ.

(මෙහිදී කඳුරට මොණරවිල කැප්පෙටිපොළ අනුස්මරණ කමිටුමේ සංවිධායක දොස්තර අතුල අධිකාරි මහතා විසින් නිදහසේ සැබෑ අරුත කියා දුන් 1818 ලාංකික නිදහස් සටන, යන මැයින් දේශනයක් කරන ලද අතර ශී‍්‍ර ලංකා ගිටාර් සංගමයේ ප‍්‍රධාන මොහමඞ් ඉක්බාල් මහතා විසින් දේශානුරාගය හා ශ‍්‍රමාභිමානය දනවන ගී සමුච්චයක් ද ඉදිරිපත් කරන ලදි.)

සේන තෝරදෙනිය

advertistmentadvertistment
advertistmentadvertistment