1848 සුද්දන්ට එරෙහි මාතලේ නිදහස් සටනට වසර 174 යි

207

1848 කැරැල්ලේදී වැරදීමකින් එල්ලා මරා දැමූ තරුණයා

බ්‍රිතාන්‍ය අධිකරණයට අපේ රට යටත්ව සිටි සමයේදී ඔවුන්ගෙන් රට මුදා ගැනීම සඳහා අපේ මුතුන් මිත්තන්ගේ දිවි නොතකා සටන් වැදුණු අතර, එහිදී බොහෝ දෙනෙක් සටනේදී මරණයට පත්වීමත් ඇතැම් අය මරණීය දණ්ඩනයට, රටින් පිටුවාහල් වීමට සිරදඬුවම්වලට, දේපළ රාජසන්තක වීම ආදී දඬුවම්වලට යටත් වීමට සිදු විය.

මෙම සටන් අතරින් සැළකිය යුතු පිරිසක් එවන් ඝාතන සහ දඬුවම්වලට භාජනය වූ අරගලයක් වූයේ 1848 මාතලේ කැරැල්ලයි. 1848 ජුලි 28 දින මාතලේට ආසන්න වත්තේගම ප්‍රදේශයේ වාර්යපොල කෝපිවත්තට පහර දීමෙන් ආරම්භ වූ මෙම කැරැල්ල 1848 අගෝස්තු 08 දින එහි සටන් නායක වීර පුරන් අප්පු මරණීය දණ්ඩනයට ලක් කිරීමෙන් අවසන්විය. ඔහුගේ සම්පූර්ණ නම වීර සන්නන්ධ වීරබල ජයසූරිය තුරු උතුම්පාල අර්ථදේව ගුණරත්න පටබැඳිගේ දොන් ප්‍රැන්සිස් ප්‍රනාන්දුය.

සටන් බිමේදී ඝාතනයට ලක්වූවන් හැර අධිකරණ ක්‍රියාවලියක් මගින් මරණීය දණ්ඩනයට ලක්කළ පුද්ගලයන් සංඛ්‍යාව 36 ක් බව බ්‍රිතාන්‍ය හා ලාංකීය ලේඛනවල දැක්වේ. මා මෙහිදී පෙන්වාදීමට උත්සහ කරනුයේ එම 36 දෙනා අතරින් ඉතා අනුවේදනීය හා ශෝකජනක කථාවකට පසුබීම් වෙමින් නිරපරාදේ මරණයට පත්වූ අහිංසක තරුණයකු පිළිබඳ ඛේදනීය කථා පුවතකි.

1848 ජුලි 28 දින වාරියපොල කෝපිවත්තට පහරදුන් සිංහල සටන්කාමීන් බොහෝ පිරිසක් එහිදී මරණයට පත්වුවත් ඉතිරි පිරිස සමග මාතලේ නගරය අල්ලා ගැනීම සඳහා සටනක් දියත් කිරීමට සටන් නායක පුරන් අප්පු තීරණය කළේය.

ඒ අනුව ජුලි 29 දින මාතලේ නගරයට කඩා වැදී එහි තානායමටත්, බෙහෙත් ගබඩාවටත්, මහෙස්ත්‍රාත් අධිකරණයටත්, රට බිම ගබඩාවටත් පහරදී ඒවා අත්පත් කරගත්හ. 1848 ජුලි 30 දින දඹුළු විහාරයේදී ගොන්ගාලේ ගොඩබණ්ඩා, රජු වශයෙන් පත්කර ගත් සටන්කාමීන් හඟුරන්කෙත ඩිංගිරාළ හෙවත් විදිපැළැල්ලේ බණ්ඩාර යුව රජු ලෙස සහ, දුම්බර හාරිස්පත්තුවේ ඇපානන් ලෙසටත්, පුරන් අප්පු මහ ඇමැති හා සේනාපති ධුරයටත්, කරෝ අප්පු හා දිනිස් සේනාපතිවරු ලෙසත් පත්කරගත්හ. මෙම කාර්යන්ගෙන් පසු ගොන්ගාලේ ගොඩබණ්ඩා නව රජු පෙරටුකර ගෙන පිරිස් දඹුළු විහාරයෙන් පිටත් වී ගමන් කරමින්, පුරන් අප්පු ප්‍රමුඛ පිරිස් ලෙනදොර නාඋල, නාලන්ද හරහා මාතලේටත් දිනිස් හා කරෝ අප්පුගේ නායකත්වයෙන් පිරිසක් කූරුණෑගල අල්ලා ගැනීමටත් පිටත් විය.

1848 සුද්දන්ට එරෙහි මාතලේ නිදහස් සටනට වසර 174 යි

මෙසේ අගෝස්තු 01 දින කුරුණෑගල වෙත පැමිණි සටන්කාමී පිරිස් කුරුණෑගල සිරගෙදරට පහර දී සිරකරුවන් නිදහස් කරගත්හ. ඉන්පසු කච්චේරිය හා උසාවියට ද, පොලිසියට ද පහරදී ඒවා අල්ලා ගත්හ.

මෙම ආක්‍රමණයෙන් පසු කුරුණෑගල බ්‍රිතාන්‍ය ජාතීන් හා හමුදා නිලධාරීන් කැරළිකරුවන් අල්ලා ගැනීම සඳහා ක්‍ෂණිකව මෙහෙයුම් දියත් කළහ.

දහවල් වෙද්දී අතිරේක ඉංග්‍රීසි බල ඇණියක් කුරුණෑගලට කැඳවන ලද අතර ඔවුන් හා සිංහල කැරළිකරුවන් අතර ගැටුමක් ඇති විය. ඉතා කෙටි වේලාවකදී ගැටුම අවසන්ව සිංහලයන්ට පසුබැස්මට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ තරම් වෙඩි බලයක් ඔවුන්ට නොතිබූ නිසාය. ඉංග්‍රීසි භටයන් කුරුණෑගල නගරය පීරමින් සෝදිසි මෙහෙයුමක් දියත් කළහ. මෙහිදී සිංහල කෝරාළ කෙනෙක් සිංහලයන්ට ඔත්තු සැපයූ කෑගල්ලේ සිට පැමිණි තරුණයකු ඉංග්‍රීසීන්ට අල්ලා දුන්නේය. කෝරාළ ඔහු හඳුන්වා දුන්නේද කැරළී උප නායක ලෙස හඟුරන්කෙත මෙම තරුණයා ලෙසටය.

ඉංග්‍රීසීහු තරුණයා ඒ වෙලේම යුද්ධාධීකරණය වෙත ඉදිරිපත් කළහ. ඔහුට නීතිඥ සහයක් හෝ ලබාගත නොහැකි විය.

1848 සුද්දන්ට එරෙහි මාතලේ නිදහස් සටනට වසර 174 යි

මෙම තරුණයා පසු දිනම එනම් 1848 අගෝස්තු 02 දිනම එල්ලා මැරීමට යුද්ධාධිකරණය තීන්දු කළේය. කිසිදු වාර්තාවකට ඔහුගේ නම සඳහන්ව නැති අතර හැඳින්වී ඇත්තේ කෑගල්ලේ තරුණයා වශයෙනි. කැරැල්ලේ උප නායක ලෙස හඳුන්වා අල්ලා දුන්නත් උප නායකයා වීදියඇල්ලේ බණ්ඩාර බව එම කෝරාළවත් දැන සිට නැත. මේ තරුණයාගේ පියා සියාතු නැමැත්තෙකි. තම පුත්‍රයාට අත් වූ ඉරණම ඔහුට ද දැනගන්නට ලැබුණි. තම පුත්‍රයා කෑගල්ල දිසාපති පවර් මහතාගේ මල්වත්ත රැක බලාගත් අය නිසාත්, තම පුතා අහිංසකයකු නිසාත් කෑගල්ල දිසාපතිවරයාගෙන් තම පුතු සඳහා සහනයක් ලැබෙනේ යැයි ඔහු තදින්ම විශ්වාස කළේය. සියාතු අප්‍රමාදව කෑගල්ල දිසාපතිවරයා වෙත දිවගොස් මෙම අවනඩුව කියා සිටියේය. කුරුණෑගලට ප්‍රහාර එල්ල කළ දින උදයේ මෙම තරුණයා තම මල්වත්තේ සේවය කළ බව දිසාපතිට මතකය. ඔහු වහාම කුරුණෑගල හමුදා නායකයාට භාරදීමට ලිපියක් සකස් කළේය. මරණයට කැපවී සිටින තරුණයා කුරුණෑගල ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බවත්, එම දිනයේත් ඔහු තමන්ගේ මල්වත්තේ සේවය කළ බව සත්‍ය බවත් සහතික කරමින් සමාවදී මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන ලෙස ලිපියෙහි සඳහන් කළේය.

පසු දින 10.00 ට මොහොතකට හෝ කලින් කෙසේ හෝ ලිපිය හමුදා නායකයා අතට පත් කරන ලෙස සියාතුට කීය. දැන් සියාතුට පුත්‍රයා නිදහස්වීම ගැන කිසිදු සැකයක් නැත. ඔහු ලිපියද රැගෙන කෑගල්ලේ සිට කුරුණෑගල වෙත දිවයන්නට විය. සියාතු දුක් අඳෝනා නඟමින් සියලු දෙවියන් හා බුදුන් සිහිකරමින් රාත්‍රිය පුරාම දිවගියේය. පසු දින උදේ 9.30 පමණ වනවිට ඔහුට කුරුණෑගලට පැමිණීමට හැකි විය.

දුවන සියාතුට වදක බෙර හඬක් ඇසිණි. සිරකරුවකු වධක භූමිය වෙත කැඳවගෙන යන යුද්ධ භටයන් කිහිප දෙනකු ඔහුට පෙනිණි. ඔහු තරමක් කිට්ටුවී බලද්දී දැන් පිටිතර බැඳගෙන යනු ලබන තරුණයා තම පුත්‍රයා බව හැඳින ගත්තාය. පුතු ඉතා දුක්මුසුව යුද්ධ භටයන්ට මැදින් ගමන් කළේය. සියාතුට හුස්ම හිරවිණි. වචනයකුදු පිටකරගත නොහැකිව ඔහු බිම ඇද වැටුණි. භටයන් කිහිප දෙනකු එතැනට පැමිණියත් ඔහු කවුදැයි කුමට පැමිණියේ දැයි නිකමටවත් බැලුවේ නැත.

තරුණයා එල්ලා මරාදැමූ ඉංග්‍රීසි භටයන් මළ සිරුර පෝරකයේ එල්ලී පැද්දෙමින් තිබියදීම ආපසු එන්නට වූහ. ඔවුන් ආපසු එන විටත් සියාතු වැටී සිටි තැන එලෙසම වැතිරී සිටිනු දැක පයින් ඇන්නේය. එහෙත් සියාතු කථා නොකළේය. ඔහු මියගොසිනි. මියගොස් සිටි මහල්ලාගේ අතේ යම් ලියැවිල්ලක් ඇති බව දුටු හේවායෝ එය තම අතට ගත්හ. එහි ලියා ඇත්තේ කෑගල්ල දිසාපති විසින් තම ප්‍රධානියාට හෙයින් හමුදා ප්‍රධානියා අතට පත්කළහ. තම පුත්‍රයා එල්ලා මැරීමට ගෙනයනු දුටු සියාතු ලය පැලී මියගොස් තිබිණි.

මේජර් (විශ්‍රාමික)
කොඩිතුවක්කුකාර
ගෙදර කුලරත්න
භාවිත කර ඇති සිතුවම්වල අයිතිය
ප්‍රසන්න වීරක්කොඩිගේය

advertistmentadvertistment
advertistmentadvertistment