සුනාමි 19 වැනි සැමරුම් දින පස්වරුවේ පානදුර මුහුදේ දිය නාමින් සිට රළ පහරට හසුව ගසාගෙන ගිය පාසල් සිසුන් දෙදෙනකු සහ මවකගේ ජීවිත බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු පෙරේදා (26 දා) පස්වරුවේ සමත්වූහ.
පානදුර, වලාන ප්රදේශයේ පදිංචි ජෙසිකා ප්රනාන්දු මහත්මිය සහ ඇයගේ පුත්රයා වන ක්රිෂේන් ප්රනාන්දු සහ පානදුර පිංවල ප්රදේශයේ පදිංචි කෙවීන් ඉග්නේෂන් යන අයගේ ජීවිත මෙලෙස බේරාගෙන ඇති බව සඳහන් වේ.
පසළොස්වක පොහොය දින නිවාඩු දිනයේ පවුලේ සාමාජිකයන් සමග පානදුර වෙරළට පැමිණි සිටියදී මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනකු සහ එක් සිසුවකුගේ මවක මෙසේ රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.
පානදුර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට මුහුදේ විනෝදයට දිය නාමින් සිට ඇති තිදෙනා, එක්වරම රළ පහරට හසුව ගසාගෙන යමින් සිට ඇති අතර ඒ මොහොතේ අවට සිටි පුද්ගලයකු “මෙන්න යනෝ, මෙන්න යනෝ” යනුවෙන් කෑගසා උදව් ඉල්ලා තිබේ.
ඒ මොහොතේ වෙරළ නිරීක්ෂණය කරමින් සිටි සැරයන් සුසන්ත සහ කොස්තාපල් දසුන් යන දෙදෙනා ක්ෂණිකව ක්රියාත්මකව රෙස්කියූ ටියුබ් ආධාරයෙන් තිදෙනා ගොඩගෙන ඇති අතර අසල සිටි තරුණයකුද සහාය වී තිබේ. ගොඩගත් තිදෙනාට මූලික ප්රථමාධාර ලබාදීමෙන් පසු උපදෙස් දී පිටත්කර යැවූ බව ජීවිතාරක්ෂක නිලධාරීන් සඳහන් කළේය.
පොලිස් නාවික කොට්ඨාසයේ අධ්යක්ෂක පොලිස් අධිකාරී කේ. එන්. ගුණවර්ධන, පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. එම්. නිමල්සිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සැරයන් සුසන්ත (52141) සහ පො.කො. දසුන් (91046) විසින් තරුණයකුගේද සහායෙන් මෙසේ ජීවිත බේරාගෙන තිබේ.
වාද්දුව – සුමිත් පොතුපිටිය