19 යළි බලාත්මක කිරීම කාලෝචිත විසඳුමක්

255

ආර්ථික, දේශපාලන, සමාජයීය, ස්ථාවරත්වය ඇති කිරීමට ගතහැකි කඩිනම් සහ ප්‍රායෝගික විසඳුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම තම විශ්වාසය යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම හෙතෙම මෙම ප්‍රකාශය සිදුකළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවට පත්කරන්නේ නැහැ. එහෙත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි.

විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි. මේ නිසා ඇතිවුණ තවත් නොයෙක් දුෂ්කරතාවන්ටත් ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා.

රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතා වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන්ම මේ උත්තරීතර සභාවේ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඇගයීමට ලක්වන ආර්ථික කළමනාකරණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනකු පත්ව සිටිනවා. මහ බැංකුව ඇතුළු මූල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙක් පත්කරන්න අප කටයුතු කළා.

ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමග අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඇතිවෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර ගාලුමුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලටත් මා සාකච්ඡාවකට එන්නැයි මීට පෙර ආරාධනා කළා. ඔවුන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත්වීම කරන්න අප ඉදිරිපත් වුණ බව සිහිපත් කළ යුතුයි. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසාත් මේ වනවිට මධ්‍යම කඳුකරයට වැසි ඇදහැලෙන නිසාත් විදුලි ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳන්න අපට පුළුවන් වේවි. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයක් එනවයි කියලා සැකයක් තියා ගන්න එපා.

ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා

ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිවිය යුතු යැයි මා විශ්වාස කරනවා. එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බව මගේ විශ්වාසයයි. ඒ ඔස්සේ යමින් ජනාධිපතිතුමාගේ ද ආශිර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහයත්, ජනතා ආශිර්වාදයත් ලැබෙනු ඇතැයි මා අපේක්‍ෂා කරනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment