19 වසරක් සැපිරිණු දැයක් පුබුදුවා ලූ යතිවර සමුගැනීම…

170

වසර 19 ක් අඛණ්ඩව සෝම හිමි ගුණසමරු පින්කම පවත්වනවා…
19 වැනි ගුණ සමරුවට කොස් පැළ පන්සියයක් රෝපණය කෙරේ
සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම බෞද්ධයන්ට පියා අහිමි වුණා සමානයි…
පින්කමට සහභාගිවන සියලුදෙනාට ඉරිදා දිවයින පුවතපතක් පරිත්‍යාග කරනවා…

2003 දෙසැම්බර් මස මැද භාගයේ දී අප දුටුවේ බෞද්ධ විප්ලවකි. කහ විප්ලවයකි. බෞද්ධ බලවේගයකි. නියමය නම් ජීවත්ව සිටිය දී විප්ලවයකට, බලවේගයකට නායකත්වය ලබාදීමය. එහෙත් සෝම හාමුදුරුවෝ විප්ලවයක් ඇති කළේ උවහන්සේ මෙලොව හැරගිය පසුවය. ඒ මහා බෞද්ධ විප්ලවය ඇති කළ සෝම හාමුදුරුවෝ දැයෙන් සමුගෙන අදට වසර දහනවයකි. පසුගිය දශක කිහිපයකට එපිට බෞද්ධ සමාජයේ යම් කම්පනයක් ඇති වූවා නම් ඒ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම සැලවීමය. එය බලහත්කාරයෙන් හෝ ව්‍යාජයක් ලෙස නිර්මාණය කරන ලද්දක් නොවේ. බෞද්ධ ජනතාවගේ හදවතින්ම පැන නැඟුණු වේදනාවක් බව සැබෑය.

බෞද්ධ ජන හදවත් තුළ ඇති වූ ඒ කම්පනයට හේතු රැසකි. 1987, 88, 89 භීෂණයෙන් පිරුණු මූසල කාල පරිච්ඡේදයන්හි නිමාවත් සමග මිනිසුන් මුහුවීම, එකිනෙකා අතර සන්නිවේදනය, රංචු ගැසීම ආදී ක්‍රියාකාරකම්වලට බිය වූ සහ පැකිළුණු, නිර්වින්ද සමාජයක් මෙරට නිර්මාණය වී තිබිණි. එම ආරාජිකත්වය තුළ බුදුදහමේ දාර්ශනික හරය යටපත් කරගෙන සීමාව ඉක්මවා ගිය දේව වාදී හැඟීම් සමාජය තුළ වේගයෙන් පැතිරීමට පටන්ගෙන තිබිණි. එකී නොපෙනෙන බලවේගවලට මිනිස්සු මං මුලා වෙමින් සිටියහ. අපේ සෝම හාමුදුරුවෝ බුද්ධ දේශනය මත පිහිටා සංවාදයක් නොමැතිව මං මුලා වී සිටි මිනිසුන්ගේ බුද්ධියට සහ හදවත්වලට ආමන්ත්‍රණය කළහ. ප්‍රශ්න කරමින්, පිළිතුරු ලබාදෙමින් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් බුද්ධ ධර්මය සරලව ජන මනසට කාවැද්දූහ.

19 වසරක් සැපිරිණු දැයක් පුබුදුවා ලූ යතිවර සමුගැනීම…

“හින්දු බලපෑම මත බුදුදහම යටපත් වී මිථ්‍යාව ඉස්මතු වන සැටිත් බුදු සසුනේ මුර දේවතාවන් වන භික්‍ෂූන්වහන්සේ පවා ගතානුගතික සම්ප්‍රදායනට හා චාරිත්‍ර විධිවලට ගැති වී වමතින් ගත් බණ පොත ජනතාවට පෙන්වමින්, දකුණතින් ගත් මිසදිටු දරුණු කෙටේරියෙන් බුදු සසුනේ මුල සිඳුලන ආකාරය දහමට හා විනයට අනුව සසඳද් දී ප්‍රකටව ම දිස්වන්නට විය. මේ හේතුවෙන් සිදුවෙමින් පවතින ජාතික සහ ශාසනික විනාශය ද පැහැදිලිවම ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භික්‍ෂු ප්‍රතිපදාවක් නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නඟන්නට විය…” සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විනාශය එදා සෝම හිමි දුටුවේ එසේය.

බෞද්ධ ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටලු කෙරෙහි බුද්ධිගෝචරව, ඍජු ලෙස සලකා බැලීමේ බලයක් සහ ශක්තියක් උන්වහන්සේට හිමිව තිබිණි. සෑම ගැටලුවකට පිළිතුරු සෙවීමේ දී උන්වහන්සේ මිනුම් දණ්ඩ ලෙස සලකන ලද්දේ බුද්ධ දේශනයයි. බුද්ධ ධර්මය මත පිහිටා ජීවන ගැටලු විසඳාගැනීමට උන්වහන්සේ ජනතාවට ද දේශනා කළහ. ඒ බොදු හඬ බෞද්ධ ජනතාවගේ හදවත්වල රැව්පිළිරැව් දෙමින් තිබිණි. මිථ්‍යාවට එරෙහිව සම්‍යයක් ඥාන දර්ශනය ඇති කරගැනීම, දේවවාදී ඇදහිලි පසුපස යෑම වෙනුවට තිසරණය තුළ පිහිටා ක්‍රියාකිරීම, බෞද්ධකම, සිංහලකම කතා කිරීමට ඇති බිය නැති කරගැනීම, එසේ කතා කිරීම කිසියම් ජාතියක් හෙළා නොදකින බව වැනි අව්‍යාජ නිදහස් අදහස් ජන මනසින් ඉස්මතුවීමට පටන්ගෙන තිබිණි. එහෙත් අන්‍ය ආගමික, අන්තවාදී කල්ලිවලට උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අමිහිරි විය. සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම අදට ද සැකයට තුඩු දී ඇත්තේ එහෙයිනි.

රුසියානු රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා එරටට වැඩම කළ සෝම හාමුදුරුවන්ට හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වය බෞද්ධ හඬ යටපත් කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස නොවිසිදෙන ගැටලුවක් බවට පත් වුවද, උන්වහන්සේගේ අපවත්වීම මෙරට බෞද්ධ සමාජයේ නව පිබිඳීමේ ආරම්භය බව පැවසීම අතිශෝක්තියක් නොවේ. එහෙත් බෞද්ධ ජනතාවගේ පියාගේ අපවත්වීම මිනිසුන්ට දරාගැනීමට නොහැකි විය. තම පවුලේ සමාජිකයකුගේ වෙන්ව යෑමක් සේ හදවත්වලට දැනිණි. එමෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ පියාගේ අපවත්වීමත් සමග ඇති වූ බෞද්ධ පිබිදීම තුළ සමාජයට ධර්මය දේශනා කරන අලුත් භික්‍ෂු පරම්පරාවක් නිර්මාණය වූහ. නූතනයේ යම් ප්‍රබුද්ධ ධර්ම සන්නිවේදකයන් පිරිසක් සිටී නම් ඒ අතළොස්ස සෝම හාමුදුරුවන්ගේ සෑය දැවී අළු මතින් පිපුණු මල් ලෙස හැඳින්වීම ද අතිශෝක්තියක් නොවේ. සෝම හිමියන්ගේ සෑයේ අළු මතින් පිපුණු මල් අතළොස්සෙන් මේ වෙනකොට ලොවට ම සුවඳ බෙදන, ජනතාවට අපේකමේ අරුත්බර දේ ධර්මයට ගළපමින් දේශනා කරන, සෝම හිමි මඟ යන බුද්ධ පුත්‍රයෙක් දැන් මා ඉදිරියේ වැඩ සිටිති. ඒ ආචාර්ය මාවරලේ භද්දිය හාමුදුරුවෝය.

ගංගොඩවිල සෝම හිමි අපවත්වීමෙන් පසු වසර දහඅටක් පුරාවට අඛණ්ඩව ‘සෝම හිමි ගුණ සමරු පින්කම්’ පවත්වන බුද්ධ පුත්‍රයෙකි. සිනා මුව පළල් කර උන්වහන්සේ හඬ අවදි කළහ.

“සෝම හාමුදුරුවෝ අපවත් වෙලා තුන් මාසෙ පින්කමට පෙර ‘සෝම හිමි ගුණ සමරු පදනම’ මම ආරම්භ කළා. දසදහසකට වැඩි බෞද්ධ ජනතාවකගේ සහභාගිත්වයෙන් සෝම හිමි ගුණ අනුස්මරණ පින්කම විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමට මට පුළුවන් වුණා. ඒ පින්කම පැවැත්වෙන දිනයේදී ම තමයි ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ෂාරුක් ඛාන් මහත්මයා ලංකාවේ ප්‍රසංගයකට පැමිණීයේ. ඔහුගේ පැමිණීමත් සමග සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වුණා. සමාජයේ ඇති වෙච්ච ඒ කැළඹීම එවකට පාලකයන් උපයාශීලීව බෞද්ධ ජනතාව මර්දනය කිරීමට පාවිච්චි කළා. අවසානයේ යම් සංවිධානාත්මක පිරිසක් විසින් එම ප්‍රසංගය තුළ බෝම්බයක් පුපුරුවා හැරියා. ඒ සිද්ධියෙන් මට පෞද්ගලිකව ගැටලු රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හතරවෙනි තට්ටුවට පාවා යන්න වුණා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ දවස් ගණන් රස්තියාදු වුණා. අවසානයේ රෝ ඔත්තු සේවයේ බුද්ධි නිලධාරීන් එම කඩපල්ලකාරී ක්‍රියාව සිදු කළ පාර්ශ්වයන් සොයාගෙන තිබුණා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න එම ගැටලුවෙන් මම නිදහස් වුණා…”

19 වසරක් සැපිරිණු දැයක් පුබුදුවා ලූ යතිවර සමුගැනීම…

“එවැනි ගැටලු මතු වුණ කියා සෝම හිමි ගුණසමරු පින්කම කඩාකප්පල් කරගත්තෙ නෑ. උන්වහන්සේ අපවත් වී වසර දහඅටක් පුරාවට දෙසැම්බර් 12 වැනිදා සෝම හිමි ගුණසමරු පින්කම පැවැත්වුවා. භික්‍ෂූන්වහන්සේ පන්හයසීය වඩම්මවලා වැඩසටහන් කළා. ඈත එපිට ගම්මානවලට වැඩම කර විවිධ පින්කම් පැවැත්වුවා. ඊට අමතරව සෑම වසරක ම සෝම හිමි ගුණසමරු පින්කමට සමගාමීව කොළඹ සීල භාවනා වැඩසටහනක් කරගෙන යනවා. රණවිරු ප්‍රජාසත්කාර වැඩසටහනක් කරගෙන යනවා. මම සෝම හිමි ගුණ සමරු පින්කම් පවත්වන්නේ උන්වහන්සේ කෙරෙහි අසීමිත භක්තියෙන්. එසේ නොවෙන්න උන්වන්සේ මගේ ගුරු හාමුදුරුවො, ගුරුවරයෙක්වත් නෙමෙයි. පැවිදි සහෝදරයෙක්වත් නෙමෙයි. සෝම හාමුදුරුවෝ සහ මා අතර කිසිදු අන්‍යොන්‍ය අවබෝධයක්, සම්බන්ධයක් නෑ. ඒත් ආධ්‍යාත්මිකව උන්වහන්සේ නිසා අපි හදාගත්ත දේවල් තියෙනවා. ඒ නිසා අපි ගුරුවරයෙක් විදිහට උන්වහන්සේට ගුරු කරනවා…” මාවරලේ භද්දිය හාමුදුරුවෝ, සෝම හිමි කෙරෙහි දක්වන අසීමාන්තික ගෞරවය වචනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන් ද ඔප්පු කළ තිබේ. අතුරුගිරිය ආර්ය නිකේතන භූමියේ ඉදි කර තිබෙන කාමර හැටකට අධික සිවුමහල් විශාල සංඝාවාසය නම් කර ඇත්තේ ‘සෝම හිමි ගුණ අනුස්මරණ සංඝා වාසය’ නමිනි. එම සංඝා වාසය සම්බුද්ධ ශාසනයට පූජා කර ඇත්තේ ද සෝම හිමි ගුණසමරු පින්කමකට සමගාමීවය. එමෙන්ම රට පුරා විහාරස්ථාන රාශියක තවත් එවැනි ගුණානුස්මරණ පින්කම් පවත්වා ඇති බව භද්දිය හාමුදුරුවෝ අපට පැවසූහ. මෙවර සෝම හිමි ගුණ සමරු පින්කම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ බෙලිහුල්ඔය ආර්ය නිකේතන මිගදාය විදසුන් සෙනසුනේදීය. එම පින්කම සංවිධානය කරනු ලබන්නේ මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ අනුශාසකත්වය යටතේ මිගදාය සේනාසනාධිකාරී බුදුන්වෙල අරණවිහාරී හාමුදුරුවෝය.

සිත නිවන වන අරණක පිහිටි ‘මිගදාය සෙනසුන’ සිත් සුවපත් කරන පුණ්‍ය භූමියක් බව සැබෑය. මනරම් කඳු පන්තියකින් වට වී තිබෙන ඒ පින්බිමේ දී දැනෙන අධ්‍යාත්මික සුවය වචනයෙන් විස්තර කිරීමට මම අකමැතිය. රත්නපුර දිස්ත්‍රික්කයේ, ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුන්වෙල ග්‍රාමසේවා වසමේ නාගහ රක්‍ෂිතය මැද පිහිටා ඇති මිගදාය සෙනසුනට ඔබත් පැමිණ ඒ අධ්‍යාත්මික සුවය විඳගන්නා ලෙස මම මතක් කර සිටිමි. භික්‍ෂූන්වහන්සේ පස්නමකට වැඩසිටිය හැකි, ගිහි පුද්ගලයන් විසිදෙනකුට නවාතැන් පහසුකම් සම්පූර්ණ කර ඇති මිගදාය සෙනසුනේ දී දින තුනේ, දින දහයේ සහ දෙසතියක භාවනා වැඩසටහන් දැනටත් පවත්වාගෙන යනු ලැබේ. තව, තවත් එම භාවනා වැඩමුළු වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු වෙමින් පවතී. එහෙයින් නාගහ වනපෙතේ අසිරියත් විඳගෙන මිගදාය සෙනසුනේ දිනක් නොව පැයක් ගත කිරීම ඔබේ ජීවිතයට නැවුම් අද්දැකීමක් වන බව මාගේ විශ්වාසයයි. එමෙන්ම මිගදාය සේනාසනාධිකාරී බුදුන්වෙල අරණවිහාරී හාමුදුරුවෝ සෝම හිමි දහනව වෙනි ගුණසමරු පින්කම පැවැත්වෙන ආකාරය ගැන විස්තර කිරීමට සූදානමින් සිටිති. දැන් අපි උන්වහන්සේට සවන් දී සිටිමු.

19 වසරක් සැපිරිණු දැයක් පුබුදුවා ලූ යතිවර සමුගැනීම…
මිගදාය සෙනසුන

“මගේ ගුරු හාමුදුරුවෝ මාවරලේ භද්දිය හාමුදුරුවෝ මිගදාය සෙනසුන නිර්මාණය කළේම පුළුල් ආධ්‍යාත්මික අරමුණු රාශියක් පෙරදැරි කරගෙන. විශේෂයෙන්ම භික්ෂූ, භික්‍ෂූණි, උපාසක, උපාසිකා සිවු පිරිසට ම තථාගත ධර්මය ප්‍රගුණ කරගැනීමට නිදහස් භූමියක් විදිහට තමයි දිවිසුන් මිගදාය සෙනසුන ආරම්භ කළේ. තාවකාලිකව පැවිදි ජීවිතයට ඇතුළු වීමට කැමැති පුද්ගලයන්ට සති තුනක්, මාසයක් පැවිදි ජීවිතයේ ආධ්‍යාත්මික හරය අත්විඳින්න ඉඩ සලසාදීම මේ සෙනසුන ආරම්භයේ දී ප්‍රධාන අරමුණක් වුණා. මෙවර සෝම හිමි ගුණ සමරු පින්කමට සමගාමීව ගිහි පුද්ගලයන් සත්දෙනෙක් තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වීමට නියමිතයි. මිගදාය දිවිසුන් සෙනසුන ආරම්භ කළ පසු කෙරෙන දෙවැනි තාවකාලික පැවිදි පින්කම. ඔවුන් දින දහහතරක් පැවිදි ජීවිතයේ වැඩ වාසය කිරීමට නියමිතයි. එම කාලය තුළදී ස්වාමීන්වහන්සේ නමකට අවශ්‍ය සියලුම ගුණ ධර්ම ඔවුන්ට පුරුදු පුහුණු කරනවා. ඊට අමතරව සෝම හිමි ගුණසමරු පින්කමට සමගාමීව හල්පෙ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ බලප්‍රදේශය තුළ අවුරුදු පහට අඩු දරුවන් එකසීය හැටපහෙන් මන්දපෝෂණ තත්ත්වයේ සිටින දරුවන් තිස්දෙනකුට සහ අප තෝරාගත් තවත් දරුවන් හත්දෙනකුට පෝෂණ මලු ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම හල්පෙ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ බලප්‍රදේශය තුළ ජීවත්වන ගැබිනි මාතාවන් දහහතර දෙනාගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූර්ණ කරදෙනවා. මිගදාය සෙනසුට ආසන්නම දහම් පාසලේ සහ පාසලේ දරුවන් එකසිය දහයක් තෝරාගෙන පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට සැලසුම් කර තියෙනවා. ඊට අමතරව මිගදාය දිවිසුන් සෙනසුනේ දී එදින දහවල් දානමය පින්කමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තියෙනවා. එම පින්කමට සහභාගිවන ගිහි පැවිදි සියලුම දෙනාට ඉරිදා දිවයින පුවත්පත බැගින් පරිත්‍යාග කිරීමටත් අපි සැලසුම් කර තියෙනවා. දිවයින පුවත්පත සම්බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් කරන මෙහෙවර අති විශාලයි. ඒ මාධ්‍ය මෙහෙවරට කරන උපහාරයක් පිණිස තමයි අපි ඒ කටයුත්ත සැලසුම් කර තියෙන්නේ. ඒ සියලු පින්කම් සමග එම ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන්ගේ සහ සතුන්ගේ ආහාර අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වෙමින්, ආහාර හිඟයක දී ප්‍රයෝජනවත් වන කොස් පැළ පන්සියයක් නාගහ රක්‍ෂිතය පුරා බුදුන්වෙල, නෙල්ලිවල, හල්පෙ, නිත්තමළුව, තුඹතැන්න, පුවක්ගහවෙල ආදී ප්‍රදේශවල සිටුවීමට සැලසුම් කර තියෙනවා. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ණ අනුග්‍රහ ඒ සඳහා ලැබිලා තියෙනවා. කාලයකට පෙර නාගහ රක්‍ෂිතය පුරා සිදු කර ඇති ෆයිනස් වගාව නිසා ප්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස් නිසරු පොළොවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසරු වනය පුරා සතුන්ට ආහාරයට ගතහැකි කිසිවක් නෑ. ඒ නිසා සතුන් අසල්වැසි ගම්වලට එනවා. සතුන්ගේ ගම්වැදීම එම ප්‍රදේශයේ දැවෙන ගැටලුවක්. මිනිසුන්ගේ වගාවට වගේම සතුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක්. ඒ ගැටලුවට පිළියමක් විදිහට තමයි අපි මේ කොස් වගාව කරන්නේ. ඒ වගේම මෙවර සෝම හිමි ගුණසමරු පින්කම සාර්ථකව පැවැත්වීමට අපගේ ගුරුදේව උත්තම මාවරලේ භද්දිය හාමුදුරුවෝ, අමරපුර නිකායේ සද්ධමවංශ රාස්සගල පාර්ශ්වයේ මහානායක හිමි මෛත්‍රි මූර්ති නායක හාමුදුරුවෝ, ශ්‍රී සිද්ධාර්ථ ජන්ම ජයන්ති බෞද්ධ මධ්‍යස්ථානාධිපති බදුලු මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ගලගම විනීතදේව නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වය නොවඩුව මට ලැබෙමින් තිබෙනවා. පින්කම සංවිධානයට උන්වහන්සේගේ අනුශාසකත්වය විශාල ශක්තියක්…”

19 වසරක් සැපිරිණු දැයක් පුබුදුවා ලූ යතිවර සමුගැනීම…
තාවකාලික පැවිදි පිංකමක අවස්ථාවක්

බුදුන්වෙල අරණවිහාරී හාමුදුරුවන්ගේ කතාව ඇසෙන විට කොළඹ විශාඛා බාලිකාව නිර්මාණය කිරීමට ඉඩකඩම් පරිත්‍යාග කළ ආතර් වී. දියෙස් මහතා අහස් යානයකින් ගමන් කරමින් මෙරට පුරා කොස්ඇට වැපුරූ ආකාරයත් අවසානයේ ඔහුට ‘කොස් මාමා’ වැනි ගෞරව නාමය පටබැඳුණු හැටිත් මට සිහිපත් විය. එදා ආතර් දියෙස් මහතා කළ ඒ මෙහෙවරෙන් රට පුරා ‘බත් ගස්’ බිහි විය. වේලක් කෑමට වත්කමක් නැති මිනිසුන් අදට ද කොස් තම්බාගෙන කා කුසගින්දර නිවාගන්න බව නන් දෙසින් අසන්න ලැබෙන බව සැබෑය. සෝම හාමුදුරුවන්ට පින් පමුණුවීමට නාගහ රක්‍ෂිතය පුරා පැළ කරන කොස් පැළ ඉදිරියේ දී පැමිණිය හැකි මහා සාගත, නියංගත කාලයක දී මිනිසුන්ගේ කුසගින්දර නිවාගැනීමට ආහරක් වන බව සැබෑය.

එමෙන්ම පරිහානියට පත්වෙමින් තිබෙන බෞද්ධ සමාජයක අඛණ්ඩව වසර දහනවයක් පුරාවට සෝම හාමුදුරුවන්ගේ ගුණ සමරු පින්කමක් පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාවරලේ භද්දිය හාමුදුරුවන්ට මෙන්ම මෙවර පින්කම සාර්ථක කරගැනීමට මහා ශක්තියක් එකතු කළ බුදුන්වෙල අරණවිහාරී හාමුදුරුවන්ට ජාතියක් වශයෙන් අප පින් අනුමෝදනය කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment