19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලත් කොවිඩ් 19 නිසා වසරකින් කල්යයි

230

මෙම වසරේ සැප්තැම්බර් මස චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල කොවිඩ් 19 තත්ත්වය යළි උත්සන්න වීම හේතුවෙන් ලබන වසර දක්වා කල් දැමීමට සංවිධායක මණ්ඩලය වන ආසියානු ඔලිම්පික් කවුන්සිලය තීරණය කර ඇත.

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල මෙම වසරේ සැප්තැම්බර් මස 10 වැනිදා සිට 25 වැනිදා දක්වා චීනයේ හැන්ජෝ හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.

තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන දින වකවානු පිළිබඳව තවම තීරණය කර නොමැති බවත් ඒ බව පසුව දැනුම් දෙන බවත් තරගාවලියට අදාළ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමට නිර්දේශ කර තිබුණි. එසේම තවත් ක්‍රීඩා ඉසව් ගණනාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වීමට නියමිතව සිටියහ. සහය දිවීමේ ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 10 දෙනෙක්ද ඒ අතර වෙති.

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චීනයේ නැගෙනහිර පළාතේ පිහිටි හැන්ජෝ හි තරග ස්ථාන පනස් හයක් සූදානම් කර තිබුණි.

කොවිඩ් 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වර්ධනය වීම හේතුවෙන් සංවිධායකවරු තරගාවලිය කල් දැමීමේ තීරණයට එළැඹ ඇත.

චීනයේ විශාලතම නගරය වන ෂැංහයි නගරයේ කොටසක් කොවිඩ් 19 හේතුවෙන් සති ගණනක් තිස්සේ ලොක් ඩවුන් කර ඇති අතර හැන්ජො, ෂැංහයි නගරය සමීපයේ පිහිටා ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment