1954 – 1981 දෙවරක් මෙහි සපැමිණි දෙවැනි එලිසබෙත් රැජන

872

බ්‍රිතාන්‍යයේ මහ රැජන වශයෙන් කිරුළු පලඳා වසරක් ගතවීමටත් පෙර එනම් මීට වසර 65කට පෙර දෙවන එලිසබෙත් මහ රැජන පළමුවරට මෙහි පැමිණියාය. එදා රැජන මෙහි ළඟා වූයේ කොළඹ වරායට සේන්දුවූ නෞකාවකිනි.

අධිරාජ්‍යවාදී පාලන යුගයේ අපේ රටේ එතුමිය ඇතැමෙකු හැඳින්වූයේ මහේසිකාවුන් වහන්සේගේ මිනිපිරිය ලෙසිනි. රැජන ලෙස පත්වූ පසු බොහෝ ගෙවල්වල ඇගේත් ඇගේ වල්ලභයාගේත් වර්ණ ඡායාරූප ද එල්ලා ගෙන සිටි අයුරු පැරැන්නන්ට මතකය. රැජනගේ මනබඳනා දින දර්ශනද එකල එළිදැක්විණි.

අප රට නිදහස ලබා වසර 6ක් ගිය තැන රැජන පළමු වරට මෙරටට සැපත්වූයේ 1954 අප්‍රේල් 10 වෙනි දිනය. එකල හැටියට එය අසිරිමත් මොහොතක් ලෙස හැඳින්වීමට ජනතාව මෙන්ම එකල මාධ්‍ය ද පෙලඹුණේය. “අගනුවර මඟුල් ගෙයකට පෙරළෙයි… මහ රැජනට මහ හරසර” යනාදී සිරස්තල ද එකල පුවත්පත්වල පළවී තිබිණි. රැජන රැගත් නෞකාව ලංකාවට පැමිණි මුල් ගමනේදී දෙවුන්දරතුඩුවේ නවතා රාජකීයයන්ගේ බෝට්ටුවක නැගී විවේක සුවය ගතකළ රාත්‍රියකදී අඩි 5ක් තරම් වූ මෝරකු පැන පීනා ගිය සිද්ධියක් දර්ශනයවීම එකල සමහර පුවත්පත් වාර්තා කර තිබුණේ “උත්තමාවිය අනූනවයෙන් බේරෙයි” යන සිරස්තලය ද සමගිනි.

ලංකාවට ඒමට පෙර මහ රැජන හා ඇගේ වල්ලභ පිලිප් කුමරු අපේ රටේ සිරිත් විරිත් ගැන තමන් ගමන් කරමින් සිටි නෞකාවේදීම තොරතුරු ලබා ගත්හ. අපේ ජාතික ගීයට නැගිට ගෞරව දැක්වීම, ආචාර සමාචාර දක්වන අන්දමද රාජකීය යුවළ පුරුදු වූ අතර නෞකාවේ කපිතාන් විවියන් ඩන් ඒ සඳහා රාජකීය යුවළට සහය වී තිබේ. රැජන මෙහි පැමිණි විට හැසිරිය යුතු අන්දම ගැන අවබෝධයක් ගැනීමට ලිපියක් එවකට ලංකා විශ්වවිiාලයේ උපකුලපතිවරයාව සිටි සර් අයිවර් ජෙනින් විසින් සරසවි සිසුනට යවා තිබිණි.

රාජකීය යුවළ රැගත් “ගොතික්” නෞකාව වරායට සේන්දු වූයේ පෙරවරු 6.30ට පමණය. 6.40ට ආචාර වෙඩි මුර පිරිනැමිණි. එවක අගමැති සර් ජෝන් කොතලාවල ඇතුළු ප්‍රභූවරු රාජකීය යුවළ පිළිගන්නට වරායට පැමිණ සිටියහ. පෙරවරු 9.00ට යුවළ ලංකාවට ගොඩබට වරායේ නැංගුරම්ලා තිබූ ලංකා නාවික හමුදාවට අයත් විජය නෞකාවට ද මොහොතක් ගොඩවීමට කටයුතු කළහ.

ඉනික්බිතිව වරායෙන් පිටවූ රාජකීය යුවළ පෙරවරු 10.11ට කොළඹ වික්ටෝරියා උයනේ යුද ස්මාරකයට මල්වඩමක් තැබූහ. පස්වරු 6.30ට ගුවන්විදුලිය මගින්
රැජන මෙරට ජනතාව ඇමතුවාය.

1954 - 1981 දෙවරක් මෙහි සපැමිණි දෙවැනි එලිසබෙත් රැජන
එළිසබත් රැජන 1981 දී අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණ කලාවැව කළ සංචාරය අතරතුරදී එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ රැජනගේ පරිවාර ඇමැතිවරයාව සිටි ගාමිණී දිසානායක ඇතුළු පිරිස සමග.

පසුදින අරලියගහ මන්දිරයේ අති විශාල භෝජන සංග්‍රහයක් පැවැත්වූයේ රාජකීය යුවළ වෙනුවෙනි. එතෙක් එහි පැවති විශාලතම ප්‍රිය සම්භාෂණය එය විය. අමුත්තන් දෙදහස් පන්සියයක් ඊට එක්ව තිබේ.

මහ රැජන පසුදින මහනුවරට ගියාය. එහිදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට එක්වූ ඇයට මල්වතු අස්ගිරි විහාරවලින් පිළිගැන්වූ ස්තුති පත්‍රයක් ද විය. පාලියෙන් ලියවුණ එහි මෙවන් සටහනක් ද විය.

සිරිමති සිරි ලංකාය
මජ්ජිම දිසා භාගෙස් මි
සුප් පට්ටිතං
දඨා ධාතු මංදිර මුපගතායං
එලිසබෙත් නාම මහා රාජනී
සකල රාජ සම්පත් තියා
සුචිරං ජීවතුනී පත්ථ යාමං

රැජන නිදහස් ශ්‍රී ලංකාවේ දෙවන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය විවෘත කිරීමටද එක් වූවාය. 1815 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් පහතට ඇද දැමූ ජාතික ධජය ඔවුන් ඉදිරියේදී යළි එසවිණි. රැජන නුවරඑළියට ගිය අවස්ථාවේ එහි සිටි තැනැත්තෙක් තමා සිංහල රජ පරපුරකින් පැවැත එන බව පවසමින් සන්දේශයක් අතැතිව රාජකීය යුවළ සිටි තැනට රැකවල් මැද කඩා වැදී තමාට නිවසක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. ‘පියසේන’ නම් වූ මෙම තැනැත්තා පසුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. අප්‍රේල් 19 වැනිදා
රැජන වෙනුවෙන් මහනුවර (සෙංකඩගලපුර) විශේෂ දළඳා පෙරහැරක් ද පැවැත්වීය. ඒ පිළිබඳ පුවත්පත්වල පසුදින පළවූ සටහනක මෙවැනි සටහනක් ද වූයේය.

“සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම නරදේවයන් විසින් පත්තිරිප්පුවේ සිට රජ පෙරහැර පැවැත්වීමට ආඥාව දුන් ස්ථානයේම සිටගෙන දෙවැනි එලිසබෙත් මහ රැජන ඊයේ රාත්‍රි කන්ද උඩරට පුර රජ පෙරහැර පැවැත්වීමේ අවසරය දුන්නාය.”

එදා එම පෙරහැර පැවැත්වීමට අවසර ලබා ගත්තේ එවක දළඳා මාලිගාවේ දියවඩන නිලමේව සිටි සී. බී. නුගවෙල මහතාගෙන් බව සඳහන් වේ. රැජන නිදහස් ශ්‍රී ලංකාවේ එම සංචාරයේදී අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ඇතුළු මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට ද ගියාය. ඇගේ සංචාරය පිළිබඳ අතීත කතා පුවතේ රසවත් සිද්ධි ද එමට තිබේ. වරෙක සීගිරිය නැරඹීමට රැජන ගිය අවස්ථාවේ එකවර හැමූ සුළඟකින් ඇගේ ඇඳ සිටි ඇඳුම මොහොතක් සුළගේ ලෙළදෙන්නට වූ විට එහි සිටි ඡායාරූප ශිල්පීන් දෙසට අත දිගු කළ අගමැතිව සිටි සර් ජෝන් “හොඳ දුර්ලභ පිංතූරයක්නේ පිංතූරයක් ගන්නවා.” යැයි කියමින්
රැස්ව සිටි සෙස්සන් සිනහ සයුරේ ගිල්වූ කතාවක්ද අප අසා තිබේ. රැජන මෙම සංචාරයේදී වැඩි ප්‍රමාණයක් දුම්රියෙන් ගමන්කිරීමද කැපී පෙනෙන්නකි. අද මෙන් රූපවාහිනි නොතිබූ යුගයක රටේ සතරදිග් භාගයේ ජනීජනයා එම සංචාරයේ විස්තර ප්‍රචාරයට සවන් දුන්නේ ලංකා ගුවන්විදුලියෙන් පමණි. ගුවන්විදුලි යන්ත්‍ර ද එකල ගමක තිබුණේ ඉතා සීමිත නිවෙස් ප්‍රමාණයක වීම නිසා ඇතැමුන් එකම තැනකට රැස්වී මහත් උනන්දුවකින් එම විස්තර ප්‍රචාරය ඇසූහ.

රැජන ගමන් කළ ස්ථානවලට ලක්ෂ සංඛ්‍යාත පිරිස ඇදී ආවේද ඇය නරඹන්නට වෙනත් මාධ්‍යයක් නොතිබූ හෙයිනි.

1954 අප්‍රේල් 20 වැනිදා කොළඹදී එවකට ලංකාවේ අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතාටත් ඔලිවර් ගුණතිලක මහතාටත් ගෞරව නාම දෙකක් පිරිනැමුවාය. සර් ජෝන් කොතලාවල මහතාට රාජ්‍යානුසාශක පදවිය පිරිනැමිණි. ‘මහාමාන්‍ය’ පදවිය ලැබූ දෙවැන්නා ඒ අනුව සර් ජෝන්ය. සර් ජෝන්ට පෙර එම ගෞරවය හිමිව ඇත්තේ නිදහස් ලංකාවේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායක මහතාට පමණි. අභිනව ලංකා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස සර් ඔලිවර් ගුණතිලක නම් කෙරුණේද එම සංචාරයේදී රැජන විසිනි. රැජින දින 12ක සංචාරය නිමාකර ගොතික් නෞකාවේ යළි නැගුණු පසු අපේ විජය නෞකාව ඇගේ නැව පෙනෙන මානයේ යාත්‍රා කරමින් තම ගෞරවය දැක්වූ බවද සඳහන් වේ.

දෙවන එලිසබෙත් රැජන මේ දක්වා දෙවතාවක් මෙහි පැමිණීම සුවිශේෂී වන්නකි. ඇගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ 1981 ඔක්තෝබර් 21 වැනිදාය. එම ගමන සිදුවී පසුගිය 21 වැනිදාට වසර 41ක් පිරුණි.

මහ රැජන හා වල්ලභ පිලිප් කුමරු දෙවන වරට මෙහි සැපත්වූයේ ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී පනස් වසරක් පිරීම නිමිත්තෙන් වූ මහෝත්සවයට සහභාගිවීම සඳහාය. එවක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇරයුමෙන් මෙහි පැමිණි රාජකීය යුවළ රාජ්‍ය ගෞරව සහිතව පිළිගැනීමට එවක රජය මනාසේ කටයුතු සංවිධානය කර තිබිණි. පළමු වරට මෙහි පැමිණ 27 වසරකට පසු රාජකීය යුවළ කරන මෙම සංචාරයේදී රාජකීය යුවළේ පරිවාර ඇමැතිවරයා ලෙස කටයුතු කළේ එවකට ඉඩම් හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා වූ ගාමිණි දිසානායක මහතාය. 1981 ඔක්තෝබර් 21 වැනිදා රාජකීය ගුවන්යානයකින් මෙහි සැපත්වූ මහරැජන කටුනායක ගුවන් තොටුපළේදී රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබීය. ත්‍රිවිධ හමුදා උත්තමාචර ද එහිදී පිළිගැන්විණි.

ජයවර්ධන ආර්යාව, අගමැති ආර්. ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය, ගාමිණී දිසානායක මහතා සහ එම මහත්මිය, විදේශ කටයුතු ඇමැති ඒ. සී. එස්. හමීඩ්, ස්වදේශ කටයුතු ඇමැති කේ. ඩබ්ලිව්. දේවනායගම්, මෙරට සිටි බි්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේ. ඩබ්ලිව්. නිකලොස් මහතා සහ එම මහත්මිය ද ගුවන්යානයේ පියගැටපෙළ අසලට ගොස් ආචාර කොට පිළිගැනීමෙන් පසු මගුල්බෙර හා ජයසංඛ නාද මැද රතුපලසට කැඳවාගෙන එන ලදහ. ළානිල් පැහැති මල් සහිත චාම් ඇඳුමකින් සැරසී සිටි

මහරැජන ඊට ගැළපෙන හිස්වැසුමක්ද පැලඳ සිටියාය. දැරියක් ඕකිඩ් මල් කලඹක්ද පිළිගැන්වූවාය. රාජකීය යුවළේ ප්‍රධාන නිල උත්සවය වූයේ 22 වැනිදා ගාලුමුවදොර පැවති අප රටට සර්වජන ඡන්දබලය ලැබීමේ ස්වර්ණ ජයන්ති උලෙළයි.

පාසල් සිසුන්ගේ ආචාර පෙළපාලිද ඇතුළත්වූ උලෙළට එක්වූ රාජකීය යුවළ අපේ ජනපති, අගමැති සහ එවක ඇමැතිවරුන් වූකේ. ඩබ්ලිව්. දේවනායගම් (ස්වදේශ කටයුතු) රනිල් වික්‍රමසිංහ (අධ්‍යාපන) විසින් පිළිගත්හ.

ජේ. ආර්. ජයවර්ධන මහතා සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම උළෙල ඇමතූ අතර රැජනගේ ඉංග්‍රීසි කතාව පරිවර්තනය කරමින් ඒ මොහොතේම ඉදිරිපත් කෙරිණි. පාසල් සිසුන් 50,000ක් උළෙලට එක්වූ අතර ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් ගාලුමුවදොරට එක් රොක්ව සිටියහ. එදින රජය විශේෂ නිවාඩු දිනයක් කර තිබිණි. රාජකීය යුවළ එදිනම පුස්තකාල

ගොඩනැගිල්ල විවෘත කිරීමේ හා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයකට හා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට ද කොළඹ මහ නගර සභාවේ විශේෂ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගි වූහ. රාජකීය යුවළගේ රජරට සංචාරය සිදුවූයේ ඉන් අනතුරුවය. රාජකීය යුවළ රැගත් විශේෂ දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟාවූයේ 1981 ඔක්තෝබර් 23 වැනිදාය. ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එම මහත්මියත් ඊ. එල්. බී. හුරුල්ලේ (සංස්කෘතික ඇමැති), චන්ද්‍රා බණ්ඩාර (කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ ඇමැති), අනුරාධපුර දිසා ඇමැති එච්. බී. අබේරත්න, අනුරාධපුර, නැගෙනහිර මන්ත්‍රී යසපාල හේරත් යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුද රැජන හා ආදිපාදවරයා

පිළිගැනීමට පැමිණ සිටියහ. දුම්රිය ස්ථානයේ සිට සිංහ කුලුන නව මාවත ඔස්සේ රාජකීය යුවළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ළඟාවූයේ කුඩා බස්රථ දෙකකිනි. දහස් සංඛ්‍යාත පාසල් දරුවන්, මහාජනකාය ශ්‍රී ලංකා හා බි්‍රතාන්‍ය ධජ අතැතිව රාජකීය යුවළට ගෞරවාචාර දැක්වූහ. අපයෙහි වූ පාවහන් ඉවත් කර ජය ශ්‍රීමහා බෝසමිඳුන් වැඳ පුදා ගැනීමට රාජකීය යුවළ කටයුතු කිරීමද දක්නට ලැබිණි. මකර තොරණ අබියසදී එවක බෞද්ධ කටයුතු කොමසාරිස්ව සිටි අර්ඩ්ලි රත්වත්තේ, අටමස්ථාන කමිටුවේ සභාපතිව සිටි මහින්ද බුලත්කුලම ඇතුළු පිරිස රාජකීය අමුත්තන් පිළිගත්හ. අනතුරුව අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සඳකඩපහන, කුට්ටම් පොකුණ හා අවුකන බුද්ධ ප්‍රතිමාවද ඇතුළු ඓතිහාසික ස්ථාන නැරඹීමට ද එක්වූහ.

එවක පුරාවිiා කොමසාරිස්වරයාව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතාට අනුරාධපුර පුද බිමේදී රැජන හා පිලිප් කුමරු මතුකළ ඉතිහාසයේ පුරාවිiා ස්ථානවල යටගියාව ගැනත් හෙළ කලාකරුවන්ගේ දස්කම් හා අප රට සතුව අතීතයේ තිබූ සුවිශේෂ වාරි කර්මාන්ත ගැනත් විමසීම් රැසකට පිළිතුරු දෙන්නට සිදුවිය. රැජනගේ අනුරාධපුර ගමනේදී එතුමිය තඹුත්තේගමට පැමිණියාය. අද රැජින හන්දිය වශයෙන් ප්‍රකටව ඇත්තේ එතුමියගේ එම සැපවැත්වීම නිසාය. එවක කලාවැව මහජන මන්ත්‍රීව සිටි ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි ඒ. එම්. එස්. අධිකාරි මහතා සහ එම මහත්මිය හා සංස්කෘතික ඇමැතිව සිටි ඊ. එල්. බී. හුරුල්ලේ මහතා ඇතුළු පිරිස රාජකීය යුවළ පිළිගත්හ.

තඹුත්තේගම මහවැලි ‘එච්’ කලාපයේ එලිසබෙත් රැජන ජයමාවත ජනතා අයිතියට රැජන විසින් විවෘත කිරීමෙන් පසු මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සාර්ථකත්වයට උරදුන් පිරිස පරිවාර ඇමැති ගාමිණි දිසානායක මහතා විසින් රාජකීය යුවළට හඳුන්වා දෙනු ලැබීමද සිදුවිය. ජය මාවත විවෘත වීමෙන් පසු අවුකන බුදුරුව නැරඹීමට ද ගියාය. ඉක්බිතිව රාජකීය යුවළ කලාවැව තානායමටද පැමිණි අතර ඉක්බිතිව ඔවුන් රිය පෙරහැරකින් මාතලේ හරහා මහනුවර දක්වා වූ සංචාරය ඇරඹීය. කටුගස්තොට කුඩා පාලම අසලදී මහනුවර මන්ත්‍රීව සිටි එවක ඇමැතිවරයකු වූ ඊ. එල්. සේනානායක මහතා සහ එම මහත්මිය නුවර නගරාධිපතිව සිටි තිලක් රත්නායක සහ එම මහතාගේ

බිරිඳ රාජකීය යුවළ පිළිගත්හ. රැජන වෙනුවෙන් රාත්‍රී රජ පෙරහැර පැවැත්වූ අවස්ථාවේ මහනුවර මද්දුමබණ්ඩාර උiානයේ වැවට මුහුණලා ඉදිකර තිබූ අති විශේෂ පත්තිරිප්පුවේ සිට පෙරහැර නැරඹුවේ ඉමහත් ආශාවෙනි. පෙරහැර නැරඹීමෙන් පසු රාජකීය යුවළ මහනුවර ජනාධිපති මන්දිරයේ රාත්‍රිය ගත කළහ. තම රටේ ආධාර ඇතිව සිය මී මිත්තනියන්ගේ නමින් ඉදිවෙමින් පැවති වික්ටෝරියා ජලාශය නැරඹීමට යාම එම සංචාරයේ තවත් සුවිශේෂ සිද්ධියක් විය. එලිසබෙත් රැජන වික්ටෝරියා ජලාශය නැරඹීමට ගිය අවස්ථාවේ එහි වැඩබිමේ සේවය කළ සුදු ජාතික කාර්මිකයකු වෙත මාධ්‍යවේදී ඇස් යොමුව තිබිණි. හෙතෙම රැජන ලන්ඩන් නුවර අසු පිටින් යද්දී වරෙක පුස්වෙඩි තබා තිබුණු ‘සාජන්ට්’ නමැති එම කාර්මිකයාගේ

පුතාය. ඔහුද රැජින හමුවීමට අවස්ථාවක් ලැබෙනතුරු බලා සිටි අයෙකි. වික්ටෝරියා වැඩ බිමට සපැමිණි රැජන අත පුංචි කැමරාවක්ද පිලිප් කුමරු අත රූපවාහිනි කැමරාවක්ද විය. වික්ටෝරියා සංචාරයේදී දුම්බර මිටියාවතේ මනස්කාන්ත සුන්දරත්වයෙන් වශීකෘත වූ රාජකීය යුවළ වික්ටෝරියා වැඩ බිමේ කටයුතු ගැන ඡායාරූප වාර්තාවක් හය මසකට වරක් බකිංහැම් මාලිගාවට එවන්නැයි පරිවාර ඇමැතිව සිටි එවක ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමැති ගාමිණි දිසානායක මහතාට දැන්වී යැයි ද පසුව අනාවරණය විය. වික්ටෝරියා වැඩ බිමේදී එහි ඉදිකිරීම් උපදේශක හෝග් මහතාගෙන්ද රැජන එහි තොරතුරු විමසුවාය. වික්ටෝරියා නැරඹීමෙන් පසුව ආපසු එන ගමනේදී පේරාදෙණිය උද්දිත උiානයේදී උඩවැඩියා මලක්ද නම් කළාය. පේරාදෙණියට අනන්‍ය වූ මල් අතර විකසිතව තිබූ එම උඩවැඩියා මල මෙන්ම ඇය මෙහි සපැමිණීමත් සමගම විකසිතවූ වෙන් ඩ්‍රොබීනා එලිසබෙත් රැජන – 2 යන මලද ආශාවෙන් රැජන නැරඹුවාය. අඟල් 3 1/2ක් පමණ විශාල වූ එම මල උද්දිත උiානයේ විiාඥයන් විසින් වසර තුනක් තිස්සේ කරන ලද පරීක්‍ෂණවලින් පසුව මල් වර්ග එකිනෙක බද්ධ කරමින් කළ පර්යේෂණයකින් බිහිවූවක් බව එවක උiාන අධිකාරිව සිටි ඒකනායක මහතා පළ කර තිබිණි.

තම පරිවාර ඇමැතිවරයාව සිටි ගාමිණි දිසානායක මහතාට හා එම මහත්මියට ද විශේෂයෙන් ස්තුති කළ රාජකීය යුවළ ජනාධිපතිතුමන්ට ද එම සත්කාරය ගැන තුති පුද කිරීමට තරම් නිහතමානී වූහ. 1981 ඔක්තෝබර් 25 වැනිදා රැජන ආපසු නික්ම යෑමට රාජකීය රථ පෙරහැර ගෞරවාචාර පරිවාර රථ ත්‍රිකෝණයක හැඩයට පැදවූ භට පිරිසගේ ගෞරවය මැද කටුනායක ගුවන්තොටුපළ බලා ගමන් ඇරඹීය. ගුවන් තොටුපළ මග දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් රාජකීය යුවළ නැරඹීමට එක්ව සිටියහ. ඔවුන් ප්‍රීති ඝෝෂා ද නගමින් තම සතුට සුහද සත්කාරකව රාජකීය අමුත්තන්ට පළ කරනු දක්නට ලැබිණි. ගුවන් තොටුපළට පැමිණි රාජකීය යුවළට සුබ පැතීමට එවක ජනාධිපති, අගමැති ඇතුළු අමුත්තන් ද එක්රොක්ව සිටියහ.

ආපසු නික්ම යන යුවළට ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැණික් එබ්බවූ ඇත් දළින් කළ අලිපැටවකුද පිරිනැමුවේ මෙරට ගෞරවය පුද කර සිටිමිනි. ගුවන් තොටුපළේ රතු පලස ඔස්සේ ඉදිරියට ගිය රැජන හා එඩින්බරෝ ආදිපාදවරයා ගුවන්යානයේ පියගැටපෙළ මත්තේදී නැවතත් ආපසු හැරී හසරැල්ලෙන් පිරි වතින් සිනාසී ආචාර අප මාතෘ භූමියට එක්කොට සමුදුන්හ.

‘සුහද මිත්‍රත්වයෙන් බැඳුණු දෙරටක එම මිතුදම අචල ශක්තියෙන් තහවුරු කරමින් ඉන්දියන් සාගරයේ මුතුඇටය යැයි විරුදාවලිය ලද සිරිලක් බිමේ දින පහක රාජ්‍ය සංචාරය නිමවා දෙවන එලිසබෙත් මහා රාජනිය හා එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු ආදර ගෞරවය හා සුහදතාවේ රමණීය මතක සටහන්ද රැගෙන සිය රට බලා යෑමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ලක්මවගෙන් සමුගත්හ’. පසුදින ඇතැම් පුවත්පතක රාජකීය යුවළේ නික්ම යාම එවන් අලංකෘත්‍යයකින් යුතුව වාර්තා කර තිබිණි. එම සංචාරයෙන් පසු මේ දක්වා රැජින අප දිවයිනට සැපත්වී නැත. මෙහි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව විවෘත කිරීමටද රැජන පැමිණෙතැයි අපේක්‍ෂා කළ නමුත් සෞඛ්‍ය හේතු මත එතුමිය වෙනුවට චාල්ස් කුමරු මෙහි පැමිණියේය. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී පනස් වසරක් පිරුණ දින ගාලුමුවදොර පැවති උළෙල ඇමතූ එලිසබෙත් මහ රැජන කළ සඳහනකින් හා 1954 දී කළ සඳහනකින් මෙම සටහනට තිත තබමු. “පනස් වසරක් ශ්‍රී ලංකාවේ ජනතාව භුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය රැක ගැනීමට ඉදිරියට ද ක්‍රියා කරන ලෙස තරුණ තරුණියන් හා අනාගත පරපුරෙන් ඉල්ලා සිටිනවා. එය ඔබට භාරයි”.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment