1958 – 2022 බස් ජනසතුවට අදට වසර 64 යි

541

1956 බලයට පත් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ රජය ගත් වැදගත් පියවරක් ඉතිහාසයේ සටහන් කරමින් එක් දහස් නවසිය පනස් අටේ නව වසර උදාවත්ම මෙරට බස් සේවාව ජනසතු කිරීම සිදු වූවේය. එම වසරේ දෙසැම්බර් 31 මධ්‍යම රාති‍්‍රයේ සිට බලපැවැත්වූ ආඥා පනතක් මගින් බස් සේවාව ජනසතු කෙරිණි.

පෞද්ගලික සමාගම් හා ව්‍යාපාරිකයන් සතුව තිබූ බස් රථ 3,300 ක් හා සේවකයන් 12,000 ක් ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලනය ගැනීම තුළින් බස් ජනසතුව සිදු විය.

1958 - 2022 බස් ජනසතුවට අදට වසර 64 යි
එදා අගමැතිවරයා ගමන් කළ නිට්ටඹුව ඩිපෝවේ පළමු ජනසතු බස්රථය අද

බස් රථ සේවය ජනසතු කෙරෙන ආඥා පනත බස් හිමියන් ඉදිරියේ ගමනාගමන මණ්ඩලයේ කියවනු ලැබීය.

1958 ට පෙර මෙරට සමස්ත ම`ගී ප‍්‍රවාහනය යටතේ තිබුණේ බස් හිමියන් සතුව තිබූ සමාගම් 70 ක්ය. මාර්ග රාශියකම බස් සේවා පවත්වා ඇත්තේ උදේ, සවස හා බස් හිමියන්ට රිසි කාලවේලාවල පමණි. තවද ඔවුන්ගේ බස් අධිරාජ්‍ය තුළ ඇතැම් සමාගම් හිමියන් තම සේවකයන් හා සේව්‍ය ගැටුම්වලදී බාරම තැන ‘චන්ඩි’ පවා යොදා වැඩ පෙන්වූ අවස්ථා ද ඉතිහාසයේ සටහන්ව තිබේ.

1958 - 2022 බස් ජනසතුවට අදට වසර 64 යි
බස් ජනසතුව පිළිබඳ නිල උත්සවය ගාලූ මුවදොර පැරැණි පාර්ලිමේන්තුව අසලපැවැති අවස්ථාවේ එවක අගමැතිවරයා කතා කළ අයුරු

බස් සේවාව ජනසතු කිරීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත 1957 සැප්තැම්ර් 20 වැනිදා එවක නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය ඉදිරිපත් කළේ එවක ගමනාගමන ඇමැතිවරයා වූ මෛති‍්‍රපාල සේනානායක මහතා විසිනි. 1957 ඔක්තෝබර් 17 වැනිදා එම පනත සංශෝධන ද එක්කොට සම්මත වී තිබේ.

බස් ජනසතුව නතර කරලීමට බස් සමාගම් දැරූ ප‍්‍රයත්නවලින් නොසැළී අගමැති බණ්ඩාරනායක මහතා හා ගමනාගමන ඇමැතිවරයා ඇතුළු එම රජය කටයුතු කරනු ලැබීය.

1958 - 2022 බස් ජනසතුවට අදට වසර 64 යි
පළමු ජනසතු බස්ගමනට අගමැති බණ්ඩාරනායක මහතාට නිකුත් කළ මුල්ම ප‍්‍රවේශ පත‍්‍රය

බස් ජනසතුව පිළිබඳව ප‍්‍රධාන උත්සවය පැවතියේ කොළඹ ගාලූ මුවදොර පැරණි පාර්ලිමේන්තුව අබියසදීය. ඊට ප‍්‍රථම අගමැතිවරයා තම ඡුන්ද කොට්ඨාසය වූ අත්තනගල්ලේ වේයන්ගොඩදී පැවති උත්සවයකට ද සහභාගි විය. ඊට අදාළ පුවත ඊට පසු දින පුවත්පතක පළවී තිබුණි.

‘‘ආසියාවේ විශාලම ජනසතු කිරීම මෙරටේ’’ අගමැති යන සිරස්තලයෙන් පළවී තිබූ අගමැතිවරයාගේ කතාවේ මෙසේ ද සඳහන් විය.

මේ රට සමාජවාදය කර ගමන් කරවීම සඳහා පළමුවෙන්ම නැගූ පියවර නම් බස් ව්‍යාපාරය ජනසතු කිරීමයි. බස් ජනසතු කිරීමේ ව්‍යාපාරය මහජන සේවයක් හැටියට සැලකිය හැකි වේ. ලාභ ලබා ගැනීම එහි මූලික අදහස නොවෙයි. මේ ජනසතු කිරීම ආසියාවේ විශාලම ජනසතු කිරීම ලෙස සඳහන් කළ හැකියි යනුවෙන් ද කීවේය. විශාල ජන සමුහයක් ද එම අසිරිමත් අවස්ථාවට එක්ව සිටියහ. ඉන් අනතුරුව කොළඹ ගාලූ මුවදොර නිල උත්සවය පැවැත්වූයේ ද විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. අගමැති ගමනාගමන ඇමැති 22 ශී‍්‍ර 1087 දරණ බස් රථයෙන් ජනසතු පළමු බස් ගමන සටහන් කළේ අගමැති වෙත පිරිනැමුණු ප‍්‍රවේශ පත‍්‍රයක් ද සමග ගමන අරඹමිනි. රට පුරාම අගමැතිවරයා දීර්ඝ කතාවක් ද එහිදී පැවැත්වීය. එදා මංගල ජනසතු බස් ගමන නිසා බස් රථය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ ඇති කෞතුකාගාරය යටතේ ආරක්ෂා වෙයි.

1958 - 2022 බස් ජනසතුවට අදට වසර 64 යි

එදා බස් ජනසතුව සමග බස් සමාගම්වල සේවකයන් ද ගමනාගමන මණ්ඩලය යටතට ගැනුණි. එවක ලේක්හවුසිය එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම සතුව තිබූ බස් රථවල සේවකයන් ද තම ආයතනයේ හාම්පුතුන්ට ආයුබෝවන් කියමින් ගමනාගමන මණ්ඩලයේ සේවයට එක්වුණේ බස් රථ ද සමගිනි. ජනසතු කෙරුණු හැම බස් සමාගමකම සේවකයන් ද එසේ තම හාම්පුතුන්ට සමුදී ගමනාගමන මණ්ඩල සේවයට එක්වූයේ ඒ පරිදිම තම හාමුපුතුන්ට සමු දෙමිනි. ‘‘ඊයේ රෑ 12 සිට බස් රථ මහජනයාගේ බස් ජනසතුවට’’ පසු දින ජාතික පුවත්පතක ප‍්‍රධාන සිරස්තලය එලෙස සටහන් වී තිබිණි.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment