20 න් අහෝසි කළ ප්‍රසම්පාදන සහ විගණන කොමිසම් 21 න් යළි ඇති කරනවා – ඇමැති විජයදාස අමරපුර මහනාහිමි හමුවේ පවසයි

89

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන කොමිෂන් සභා බලගැන්වීම මෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරන ලද ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන කොමිෂන් සභාව යළි ඇති කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) පෙරවරුවේ රාජගිරිය  කලපළුවාව ගෝතම තපෝවන විහාරස්ථානයේදී මහනාහිමියන් බැහැදුටු අතර රටේ ආර්ථිකය ගොඩනැංවීමට දේශපාලනික ස්ථාවරත්වය අත්‍යවශ්‍ය නිසා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කළ බව එහිදී සඳහන් කළේය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයේ සංශෝධනයක් 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවත් ඉදිරි දින කිහිපය තුළදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අති පූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, සර්ව ආගමික නායකයන්, දේශපාලන පක්‍ෂ නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී කීය.

ජනමත විචාරණයකට නොයන පරිදි යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර එය සිදුකළ යුතු බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේ සඳහන් කළේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සඳහා උගතුන්ගේ හා විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම සුදුසු බවත්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රසාදය යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ලබාදෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ පාර්ශ්ව 22 ක් පවතින බැවින් එම පාර්ශ්ව නියෝජනය කරනු ලබන මහා සංඝ රත්නය මේ පිළිබඳව දැනුවත් කරන බවද උන්වහන්සේ පැවසූහ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය පල්ලේකනදේ රතනසාර ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් පළ කළහ.

වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment