2001 ප‍්‍රහාරයට සවුදි අරාබි රජය සම්බන්ධ නැති බවට වාර්තාවක්

119

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන නිවුන් කුලූනු ගොඩනැගිල්ලට ඉකුත් 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ විසි වැනි සැමරුම යෙදුණු පෙරේදා (11දා* දිනයේ එම ප‍්‍රහාරයෙන් මිය ගිය 2977 දෙනකුගේ ඥාතීන් විසින් මියගිය අයගේ නම් කියමින් කඳුළු පිරි දෙනෙතින් එම අවස්ථාව සැමරූ බව විදෙස් මාධ්‍ය පවසයි. ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වීමෙන් විනාශ වූ නිවුන් කුලූනු ගොඩනැගිල්ල පිහිටා තිබූ ‘ග‍්‍රවුන්ඞ් සීරෝ’ අනුස්මරණ මධ්‍යස්ථානයේ පැවති ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ විසි වැනි ගුණ සැමරුම් උත්සවයට සහභාගි වූ මිය ගිය අයගේ ඥාතීන් මිය ගිය අය වෙනුවෙන් ඉදි කර ඇති අනුස්මරණ ස්මාරක ඉදිරිපිට රෝස මල් තබා ඔවුනට උපහාර දැක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ නම් පවසමින් සිය ශෝකය පළ කර තිබේ.

2001 ප‍්‍රහාරයට සවුදි අරාබි රජය සම්බන්ධ නැති බවට වාර්තාවක්

අල් ක්වයිඩා ත‍්‍රස්ත සංවිධානය විසින් එල්ල කරන ලද ලොව මෙතෙක් සිදු වූ බියකරුම ත‍්‍රස්ත ප‍්‍රහාරය සේ සැලකෙන ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ මෙම ප‍්‍රහාරය තමන්ට දැනෙනුයේ ඊයේ සිදු වූ සිදුවීමක් ලෙස යැයි ප‍්‍රහාරයෙන් මිය ගිය සිය සැමියාට උපහාර පිදීම සඳහා පැමිණ සිටි ලීසා රයිනා හඬමින් මාධ්‍යට පවසා තිබේ. ඇමරිකාවේ වේලාවෙන් පෙරේදා උදෑසන 8.46ට සැමරුමට සහභාගි වූ සියලූ දෙනා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වමින් මෙම සැමරුම අරඹා ඇති අතර ප‍්‍රහාරය එල්ල වන විට ඇමරිකාවේ ජනාධිපතිවරායව සිටි ජෝජ් බුෂ් විසින් එම අවස්ථාවේ පෙන්සිල්වේනියා ප‍්‍රාන්තයේ සිට විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ අත් විඳි හැඟීම වචනයෙන් විග‍්‍රහ කිරීම අසීරු කාර්යයක් බවයි.

ඇමරිකානුවන් විසින් 2001 ත‍්‍රස්ත ප‍්‍රහාරයේ විසිවැනි ගුණ සැමරුම සමරන මොහොතේ ඇමරිකානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප‍්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් මගී ගුවන් යානා දෙකේ කොල්ලකරුවන් හා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින සවුදි අරාබි ජාතිකයන් අතර සම්බන්ධතාවක් පැවතියේද යන්න පිළිබඳව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව එළි දක්වා තිබේ. එම වාර්තාවට අනුව ගුවන් යානා කොල්ලකරුවන් හා අදාළ සවුදි අරාබි ජාතිකයන් අතර කිසිදු සබඳතාවයක් තිබී නොමැත.

මෙම වාර්තාව එළිදක්වන ලෙස ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන් විසින් දිගු කලක් මුළුල්ලේ ඉල්ලා සිටි අතර 2001 ප‍්‍රහාරයට යොදා ගත් ගුවන් යානා දෙකේ කොල්ලකරුවන් වූ සවුදි අරාබි ජාතිකයන් හා එම ප‍්‍රහාරය පිළිබඳව සවුදි රජය දැන සිටියද එම ප‍්‍රහාරය වැළැක්වීමට ඔවුන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා එල්ල වී තිබිණි. කෙසේ වුවද අදාළ විමර්ශන වාර්තාවට අනුව සවුදි රජය හා ගුවන් යානා කොල්ලකරුවන් අතරද සබඳතාවක් තිබූ බවට හෝ සවුදි රජය එම ප‍්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත. ප‍්‍රහාරයට යොදාගත් ගුවන් යානා දෙක කොල්ල කෑ කොල්ලකරුවන් 19 දෙනාගෙන් 15 දෙනකුම සවුදි ජාතිකයන් බව අනාවරණය වී තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment