2009 ශූර ගොවියාට  මොරන්තුඩුව පොලිසිය  ඇතුළේදී මැර ප්‍රහාරයක්

510

පැමිණිල්ලක් කිරීමට මොරන්තුඩුව පොලිසියට ගිය කලපුගම හා මොරන්තුඩුව පරිසරය සුරැකීමේ කැඳවුම්කරු මෙන්ම ශූර ගොවියාට පොලිසිය තුළදී කලාකිරිඤ්ඤක් අතදරා ගත් පුද්ගලයකුගෙන් මැර ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 2009 වසරේ බස්නාහිර පළාතේ ශූර ගොවියා ලෙස විරුදාවලිය ලත් මංතුඩුව කලපුගම ප්‍රදේශයේ පදිංචි දිනේශ් සංජීව (45) නැමැති සිව් දරු පියෙකි.

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ දී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හය දෙනකු පමණ එම ස්ථානයේ රැඳී සිට ඇත.

ප්‍රහාරයෙන් දිනේෂ් මහතාගේ ඇස හා කන අතර ප්‍රදේශයේ දරුණු කැපුම් තුවාලයක් ඇතැයි රෝහල් ප්‍රකාශකයා කීය.

පහරකෑමට ලක්වූ එම පුද්ගලයා ඉකුත් 30 වෙනි දින මිතුරකු සමඟ මොරන්තුඩුව තරුණ සේවා මාවතේ මෝලකට වී රැගෙන ගොස් කොටා ගැනීමෙන් අනතුරුව දෙදෙනාම ශාරීරික අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා වී මෝල පිටුපස තිබෙන කැලෑ පෙදෙසට ගොස් තිබූ බව දැනගන්නට ඇත.

පසුදින පෙරේදා (1දා) මෝලේ හිමිකරුගේ පුතා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී උඹ මෝල පිටුපස්සේ කොච්චි කැඩුවා නේද යැයි පවසමින් බැනවැදී ඇති අතර තමන් එම ස්ථානයට ගියේ කොච්චි කැඩීමට නොවේ යැයි ඔහු පවසා ඇත.

එයින් නොනැවතී තිබූ පුද්ගලයා එහෙනම් වරෙන් සීසීටීවී බලන්න යැයි පවසා දිනේෂ් මහතාව එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහුට බැන වැදී සවලෙන් පහරදීමට උත්සාහ දරා ඇති අතර එහිදී දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇත.

අනතුරුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට පැමිණ පොලිස් නිලධාරිනියක් අපරාධ අංශය තුළ පැමිණිල්ල ලියා ගනිමින් සිටියදී තමන් සමග ගැටුම් ඇති කරගත් පුද්ගලයාගේ පියා වන මෝලේ හිමිකරු තමන් සිටින ස්ථානයට කඩා වැදී තමන්ගේ දකුණු කම්බුලට වැරෙන් ප්‍රහාරයක් එල්ල කළ බවත් කලපුගම හා මොරන්තුඩුව පරිසරය සුරැකීමේ කැඳවුම්කරු දිනේෂ් සංජීව මහතා පැවසීය.

එම අවස්ථාවේදී තමන්ට ක්ලන්තය සැදී බිම වැටුණු බවත් පොලිස් නිලධාරිනියන් තමන්ට වතුර ලබාදීමෙන් අනතුරුව ප්‍රකෘති තත්ත්වයට පැමිණි බවත් ඒ මහතා කීය.

අනතුරුව පොලිසියෙන් අධිකරණ වෛද්‍ය පෝරමයක් ලබා දී තමන්ට රෝහල්ගත වන ලෙස උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව මිතුරකු සමඟ ගෝනදූව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් වීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තමන්ව පානදුර මූලික රෝහල වෙත යොමු කළ බවත් දිනේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

තමන්ට පහර දුන් වී මෝලේ හිමිකරු සහ පුතු එක්ව වී මෝල පිටුපස ආසන්නයේ අනවසරයෙන් කුඹුරු ඉඩමක් ගොඩ කරන බැවින් තමන් සහ මිතුරා එහි ඡායාරූප ගැනීමට ගිය බවට සැකකර තමන්ට මෙලෙස පහර දෙන්නට ඇතැයි සැක කරන බව ඒ මහතා කීය.

පහර දුන් පුද්ගලයා ඒ මොහොතේම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත්තද පැය කීපයක දී ඔහුව පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මොරන්තුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment