තවත් ඛේදනීය ක්‍රිකට් තරග සංචාරයක නිමාව අබියස සිටිමු. පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මහත් බලාපොරොත්තු පොදි බැඳගෙන ගිය ගමනේ නිමාව සිතු පැතූ සේ සුන්දර වූයේ නැත. 2014 වසරේ පන්දු වාර 20-20 ලෝක ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානය ද මේ තරගාවලියේදී ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ සුනු විසුණු වී ගියේය. ඒ අභිමානය අවමානයක් වී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියේදී නොපෙනෙන මානයකට විසිවී ගියේය.

ඒ නිසා දැන් ආපසු හැරෙන්නට සිදුවී ඇත. පසු විපරමක් කරන්නට තරම්වත් නොවටිනා ලෙස ආපසු හැරෙන්නට සිදු වී ඇත. එහෙත් එවැනි පසු විපරම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සිදු කරන්නේ දැයි ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය පැන නගින්නේ ප්‍රගතියක් නැති තැනය. පසුගිය වසරේ පැවති එක් දින ලෝක කුසලාන තරගාවලියේ ද නින්දිත පරාජයන් වැළකට මුහුණ දුන්නේය. වතාවක් ලෝක ශූරයන් වූ කණ්ඩායමක් ලෝක ක්‍රිකට් සිටියේ මෙසේ ලැජ්ජාසහගත පරාජයන්ට ලක්වීම ක්‍රීඩකයෝ කෙසේ වෙතත් ප්‍රේක්ෂකයෝ තවත් නොඋසුලති.

එහෙත් ශ්‍රී ලංකාවට මෙවර වැරදුණේත් පැරදුණේත් තරග දෙකකි. එතනින්ම ගමන නිමා විය. ඉන් පළමු වැන්න කවදාවත් අවබෝධයක් නොතිබූ තණතීරුවක මෝඩ තකතීරු තීරණයක් ගෙන දකුණු අප්‍රිකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමය. විනාශයේ ඇරඹුම එතනය. කවදාවත් නොලැබූ තරම් අඩු ලකුණු ගණනකට ලෝක කුසලාන තරගයක දී ශ්‍රී ලංකාව එදා දැවී ගියේය. ඒ ලකුණු 77 දකුණු අප්‍රිකාවට කජු කනවා වැනිය.

2014 ලෝක කුසලාන අභිමානය අවමානයට පත් කළ 2024 ලෝක කුසලාන ගමන

ඊළඟට බංගලි සමග ගැටුමය. ඉන් පෙර ශ්‍රී ලංකාව මෙවැනි ලෝක කුසලාන තරගයකදී බංගලින්ට පරාජය වී තිබුණේ නැත. එසේම එම තරගයේ ජයග්‍රහණයද ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වී තිබුණි. එහෙත් සිදුවූයේ කුමක්ද? එදා බංගලියෝ කාසියේ වාසිය දිනූහ. නැවතත් මුලින් පිතිහරඹය ශ්‍රී ලංකාවට උරුම විය. එදා ආරම්භය නරක නැත. පැතුම් පන්දු 28 කින් ලකුණු 47 ක් ලැබීය. පළමු පන්දු වාර 5 නිමාවන විට ලකුණු 48 ක් තිබුණේ ය. දැවී තිබුණේ එක් කඩුල්ලකි. පන්දු වාර 14 නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 100 කි. එනම් තවත් පන්දු වාර 6 ක් ඇතුළත කඩුලු හතක් තිබේ.

ඒ අනුව අවම වශයෙන් ලකුණු 150 සීමාව ඉක්මවීමට හෝ ඒ ආසන්නයට යෑමට ඕනෑ තරම් හැකියාව තිබුණි. එහෙත් සිදුවූයේ කුමක්ද? එම පන්දු වාර හය තුළ තවත් කඩුලු හයක් දැවී ලකුණු 24 ක් පමණක් ශ්‍රී ලංකා ඉනිමට එක්වීමයි. එය කෙතරම් අභාග්‍යයක්ද? ඒ අභාග්‍යයේ තරම වැඩි වී පෙනෙන්නේ බංග්ලාදේශයටත් එම ඉලක්කය පසුකර යෑමට කඩුලු 8 ක් වැය කිරීමට හේතු වීමෙනි. එමතුද නොව තරගය අවසන් පන්දු වාර දෙක තුළ ඉතා තියුණු මුහුණුවරක් ගැනිණි. අවසන් පන්දු වාර දෙකට කඩුලු දෙකක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 11 ක් බංග්ලාදේශය ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබිණි. එහෙත් හිටපු නායක දසුන් ශානක ක්‍රියාත්මක කළ 19 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේදීම බංගලියෝ ජය පැන් බීම ඇරඹූහ.

දසුන් එහිදී මහමුදුල්ලා ට යොමු කළ පළමු පන්දුවෙන්ම පන්දුව ක්‍රීඩකයන්ගේ දසුනෙන් මිදී ප්‍රේක්ෂකයන් අතරට යද්දී ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු මෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි බලාපොරොත්තු ද සුනු විසුණු වී ගියේය.

අනතුරුව ඉතා සියුම් අපේක්ෂාවන් ශ්‍රී ලංකාව ඉදිරියේ ඉතිරි විණි. ඒවා නම් මෙසේය.

බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් හෝ මොනයම් හේතුවකින් අත්හැර දමා කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමි වීමය. එසේම බංග්ලාදේශය නේපාලය හමුවේ පරාජයට පත්විය යුතු අතර දකුණු අප්‍රිකාව නේපාලය පරාජය කළ යුතුය. එමතුද නොව ශ්‍රී ලංකාව ඉතා ඉහළ ලකුණු වේගයක් රඳවාගෙන නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය ලැබිය යුතුය.

එසේ වුවහොත් පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන “ඩී” කාණ්ඩයේ දකුණු අප්‍රිකාව හැරෙන්නට අනෙක් සියලුම කණ්ඩායම්වල ප්‍රසාද ලකුණ සංඛ්‍යාව 3 ක් ලෙස සටහන් වීමට නියමිතව තිබුණි. එවැන්නක් සිදුවීමේ සම්භාවිතාව ඉතා අල්ප වූ අතර එසේ වුවද ඒ වන විට ශුද්ධ ලකුණු වේගය -0.777 ක් ලබා සිය කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාවට ඉහළ ශුද්ධ ලකුණු වේගයක් ලබා එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වීමද ඉතා අසීරු කරුණක් ලෙස කියැවිණි.

එහෙත් ඒ සියල්ල වෙනස් කරමින් නෙදර්ලන්ත බංග්ලාදේශය තරගයට විසඳුමක් ලැබුණි. බංගලි එම තරගයෙන් ජය ගත් අතර ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 ක් විය. ඒ අනුව ශ්‍රී ලංකාවට කොහොමටවත් ප්‍රසාද ලකුණු හතරක් ලබා බංග්ලාදේශය ඉක්මවා යෑමට නොහැක.

ඒ නිසා මෙවර ලෝක කුසලාන ගමනටද එදින නිල වශයෙන් තිත වැටුණි. එහෙත් අයි.සී.සී. 2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන කාල සටහනට අනුව ශ්‍රී ලංකාවට මූලික වටයේ තවත් එක් තරගයක් ඉතිරිව තිබේ. ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (17 වැනිදා) පාන්දර 6.00 ට ශාන්ත ලුසියාහිදී නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයයි. ඒ අනුව එම තරගය ශ්‍රී ලංකාවට අභිමානය පිළිබඳව තරගයකි. එහිදී නෙදර්ලන්තය පරාජයට කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් එය හුදෙක් සැනසුම්සහගත ජයක් පමණක් මෙන්ම යම්තම් අවමානයෙන් ගැලවෙන ජයග්‍රහණයක් වනු ඇත. යම් හෙයකින් එම තරගයද ශ්‍රී ලංකාව පරාජය වුවහොත් විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අසාර්ථකම තරගාවලිය මෙය බවට පත්වනු ඇත.

එහෙත් සුපිරි 8 වටය සඳහා යෑමට නම් නෙදර්ලන්තයට එම තරගය අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතු තරගයකි. එම අවස්ථාව නෙදර්ලන්තය ට උදා වන්නේ බංග්ලාදේශය අද නේපාලය හමුවේ පරාජයට පත් වුවහොත් පමණි. එසේ වුවහොත් බංග්ලාදේශයේ ද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 කින් නතර වේ. ශ්‍රී ලංකාව පරදවා නෙදර්ලන්තය ජය ගතහොත් නෙදර්ලන්තයේද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද හතරක් වේ. ඒ අනුව නෙදර්ලන්තය සහ බංග්ලාදේශය අතර ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය පිළිබඳ සටනින් ජය ගත්තෝ ශ්‍රී ලංකාව ගෙදර යවා “ඩී” කාණ්ඩයෙන් සුපිරි 8 වටයට පිවිසෙති. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නිසි සූදානමක් සහ සැලැස්මක් සහිතව තරග වැදුණේ දැයි මේ වනවිට ප්‍රශ්නය ක් වී ඇත. ඒ බව පිළිබිඹු වන තැන් එකක් දෙකක් නොව බොහෝ විය. දැන් ඒ පාඩම්වලින් උගතයුතු දේ බොහෝය. ඒත් ඒ පාඩම් ඉගෙන ගැනීමට ද විනයක් නායකයා ඇතුළු කණ්ඩායමට තිබිය යුතුය.

කුෂාන් සුබසිංහ
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සිට

advertistmentadvertistment
advertistmentadvertistment