2014 දී බසයට ගිනි තැබූ පුද්ගලයා වසර 3 ක් හිරේ – ලක්ෂ 63 ක දඩයකුත් ගහයි

303

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් රුපියල් විසි එක් ලක්ෂයක් පමණ වටිනා බස් රථයකට 2014 වසරේදී ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීරණය කළ අනුරාධපුර අංක 02 මහාධිකරණයේ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ඔහුට ඊයේ (26 දා) වසර තුනක සිර දඬුවමක් නියම කළේය.

එම දඬුවමට අමතරව එවකට බස් රථයේ මුළු වටිනාකම මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් ලෙස (රුපියල් හැටතුන් ලක්ෂයක මුදලක්) ගෙවන ලෙස ද නියෝග කළ විනිසුරුවරයා විත්තිකරු විසින් එකී දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ඔහුට තවත් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරු අදාළ චෝදනාවට වසර හයකට අධික කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගතව සිටීම සැලකිල්ලට ගෙන ඔහුට එම දඬුවම නියම කරන බව මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් දිනේෂ් කුමාර් නමැති අයකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.

වර්ෂ 2014 පෙබරවාරි මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනක ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් ඩබ්ලිව්. පී. එන්. එච්. 1136 අංකය දරන බස් රථයට අනුරාධපුර නගරයේදී ගිනි තබා විනාශ කළ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 410 (අනර්ථය) සහ පොදු දේපළ පනත යටතේ අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරමින් මෙම නඩුව පවරා තිබිණි.

නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දමිත සූරසේන මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමිල කොළොන්නආරච්චි මහතා පෙනී සිටියේය.

මෙකී නඩුවේ ලඝු නොවන නඩු විභාගය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා පසුව අනුරාධපුර මහාධිකරණය වෙත යොමු කර තිබිණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment