2017 දී රාජ්‍ය අංශයේ හොඳම තොරතුරු සන්නිවේදන ව්‍යාපෘතිය ලෙස සම්මාන ලැබූ විදේශ අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය විනාශ වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

64

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය මේ වන විට විනාශවී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව සමයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ තම නායකත්වයෙන් මෙම පරිගණක පද්ධතිය ගොඩනැගූ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

එහි නවීකරණ කටයුතුවලට පෙර එක් සහතික කිරීමක් සඳහා පැය 06 ක පමණ කාලයක් ගතවුණා. අප හඳුන්වා දුන් නවීකරණය නිසා විනාඩි 10 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි සහතික කිරීමක් කළ හැකි තත්ත්වයට අප විසින් කන්සියුලර් අංශයේ කාර්යක්ෂමතාව වැඩි කළා. මේ නිසාම 2017 වසරේ රාජ්‍ය අංශයේ හොඳම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ මෙම ව්‍යාපෘතියයි. එදා මෙම සහතික කිරීම් සඳහා පැවති දිගු පෝලිම් මෙම ව්‍යාපෘතිය නිසා නැතිවුණා. මේ පිළිබඳව එදා ඒ අත්දැකීම් විඳගත් අයට සාක්ෂි සැපයිය හැකියි. නමුත්, අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ රජය මෙම ව්‍යාපෘතිය විනාශ කළා.

ඒ සඳහා දැක්වූ නොසැලකිල්ල හේතුවෙන් එහි පරිගණක පද්ධතිය නිසි ලෙස නඩත්තුවකට ලක්වුණේ නෑ. එපා වාහෙට හොදි බෙදන්නා වාගේ ඔහේ කරගෙන ගියා. මේ නිසා යළිත් පෝලිම් යුගයක් ඇතිවුණා. මාධ්‍ය සහ ජනතාව නගන චෝදනාවල සත්‍යතාවයක් නැතැයි ප්‍රතික්ෂේප කළ නොහැකියි. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට රාජ්‍ය අංශයේ වැදගත්ම ආයතනයක්. එම ආයතනය නැවතත් යුග ගණනාවක් ආපස්සට තල්ලු කර තිබෙනවා.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment