2018 හරක් වැඩක්; කෘෂි අමාත්‍යංශය කෝටි 17496 ක් අවභාවිත කරලා!

620

අසාර්ථක ව්‍යාපෘතියක් බවට විගණන වාර්තා මගින් සඳහන් කර තිබියදී එය නොසලකා කිරි ගවයින් 15000දෙනා ආනයනය කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 17,496.7 ක මුදලක් (මිලියන 174,967) 2018 වර්ෂයේ මැයි 08 වැනිදා කොන්ත‍්‍රාත්කරුවකු වෙත මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය විසින් ගෙවා රජයේ මුදල් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි. එසේම 2020 අගෝස්තු 31 දා වන විටත් කිසිදු කිරි ගවයකු ආනයනය කර නොතිබූ බව ද එම වාර්තාවේ දැක්වෙයි.

කොන්ත‍්‍රාත්කරුට අත්තිකාරම් ගෙවීම් විදේශීය බැංකුවකින් ලබාගත් ණය මුදලකින් ගෙවා තිබූ බැවින් ඒ සඳහා වන පොලිය හා විදේශ විනිමය අවප‍්‍රමාණය වීමේ අලාභය ද ශ‍්‍රී ලංකා රජයට දැරීමට සිදුවී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත. මෙම ව්‍යාපෘතියේ අසාර්ථක භාවය පැහැදිලි වී තිබියදී අත්තිකාරම් ගෙවීම නිසා රජයේ මුදල් වෙනත් පාර්ශ්වයක් විසින් අවභාවිතා වීමක් සිදුව තිබූ බව ද විගණන වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

ගොවිපොළ මගින් ලබාගත් වාර්තා අනුව මීට පෙර ගෙනා සතුන් අසාර්ථක බව විගණනය විසින් පෙන්වා දී තිබුණි. ඒ පිළිබඳ අවධානය යොමු නොකොට 2018 වර්ෂය තුළ මීට පාර්ලිමේන්තු ප‍්‍රතිපාදන නොතිබියදී ඉතිරි සතුන් 15000 ක් ආනයනය කිරීම සඳහා වූ මුදලින් සියයට 20ක අත්තිකාරම් මුදලක් වූ රුපියල් මිලියන 1,749,67 ක් කොන්ත‍්‍රාත්කරුට ගෙවා තිබේ.

මෙම සතුන් ආනයනය කිරීම සඳහා එළඹ තිබූ ගිවිසුම අවලංගු කිරීම සඳහා නීතිපතිගෙන් උපදෙස් විමසා තිබූ අතර අත්තිකාරම් ගෙවා තිබීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කළ නොහැකි බව 2019 මැයි මස 03 දා නීතිපතිවරයා විසින් දන්වා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය විසින් කිරි ගවයින් 20000ක් ආනයනය කිරීමට සංශෝධිත ගිවිසුම අනුව අධියර දෙකකින් කටයුතු කර තිබුණි. පළමු අධියර යටතේ සතුන් 5000ක් ආනයනය කිරීම මාස 07ක් තුළ නිම කිරීමටත් ඒ අනුව පළමු අධියර සාර්ථක නම් දෙවැනි අධියර යටතේ අත්තිකාරම් ලබාදී මාස 12ක් තුළ සතුන් 15000ක් ආනයනය කිරීමට එකඟ වී තිබුණි. ජාතික අයවැය අධ්‍යක්ෂක ජෙනරාල් ලබාදෙන ප‍්‍රතිපාදන අනුව 2018 වර්ෂයේ දී සතුන් 2500ක්, 2019 වර්ෂයේ දී සතුන් 7500ක් සහ 2020 වර්ෂයේ දී සතුන් 5000ක් ආනයනය කිරීමට සැලසුම්කොට තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment